පිතිකරණය නැවතත් අසාර්ථකයි; විස්සයි විස්ස පළමු ජය පාකිස්තානුවන්ට!

1301

අසාර්ථක එක්දින තරගාවලියෙන් පසුව ඊයේ (26) අබුඩාබි නුවර දී ඇරඹුණු විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගයෙන් ද ශ්‍රී ලංකාවට උරුම වූයේ දරුණු පරාජයකි. මේ වන විට බරපතළ ගැටලුවක් බවට පත්වී ඇති පිතිකරුවන්ගේ අසමත් වීම ඊයේත් මෙවන් පරාජයක් කරා කණ්ඩායම යොමු කළ ප්‍රධාන හේතුව බවට පත්විය.

පසුගිය තරග රැසක් පුරාවටම ශ්‍රී ලංකා පිතිකරුවන් කිසිදු ධනාත්මක ලක්ෂණයක් පෙන්නුම් නොකිරීම නිසා මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රපාතයකට ඇදී යාම නතර කිරීම ඉතාමත් අපහසු වී තිබේ.

ශ්‍රී ලංකා – පාකිස්තාන විස්සයි විස්සට පෙර

විකුම් සංජය පාකිස්තානු කණ්ඩායම සමඟින් ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කිරීමට මෙම යොවුන් වේගපන්දු යවන්නා හට මීට පෙර අවස්ථාවක් ලැබී නැත…

ශ්‍රී ලංකාව සතු නම ගිය විස්සයි විස්ස ක්‍රීඩකයින් වන අසේල ගුණරත්න, කුසල් පෙරේරා සහ ඇන්ජෙලෝ මැතිව්ස් ආබාධවලට ලක්ව සිටීම නිසා ඊයේ කණ්ඩායමට එම පුරප්පාඩු පිරවීමට සිදුවුනේ නවක ක්‍රීඩකයින් රැසක් මඟිනි. ඒ අනුව දකුණත් පිතිකරු සදීර සමරවික්‍රම ඊයේ විස්සයි විස්ස වරම් දිනාගත් අතර දසුන් ශානක ද කලකට පසු නැවතත් ජාතික කණ්ඩායම හා එක්වී තිබුණි. මීට අමතරව වසර 8ක පමණ දීර්ඝ විරාමයකින් අනතුරුව මහේල උඩවත්ත ඊයේ නැවතත් ජාත්‍යන්තර පිටියට පිවිස තිබුණි.

මැදපෙළ පිතිකරුවෙකු ලෙස අශාන් ප්‍රියන්ජන් ඊයේ කණ්ඩායමට ඇතුළත් වූ අතර ශ්‍රී ලංකා පන්දු යැවීමේ බල ඇණිය යොවුන් ක්‍රීඩක විකුම් සංජය සහ ඉසුරු උදානගෙන් සමන්විත විය. ඊයේ කණ්ඩායමට තුන් ඉරියව් ක්‍රීඩකයින් ලෙස තිසර පෙරේරා, සීක්කුගේ ප්‍රසන්න, සචිත්‍ පතිරණ සහ දසුන් ශානක වැනි ක්‍රීඩකයින් රැසක් ඇතුළත් වීම ද කැපී පෙනුණි. මීට වඩා ප්‍රවේසමෙන් කණ්ඩායම තෝරාගෙන තිබූ පාකිස්තානය එක්දින තරගාවලියේ දස්කම් දැක්වූ ක්‍රීඩකයින් වෙතම තවදුරටත් විශ්වාසය තබා තිබුණි.

ඊයේ තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තානු නායක සෆ්රාස් අහමඩ් අබුඩාබි තණතිල්ලේ මුලින් පන්දු යැවීම තෝරා ගත්තේ සැලැස්මේ පළමු පියවර සාර්ථක ගනිමිනි. මේ වන විට පිතිකරණයේ අගක් මුලක් වටහා ගත නොහැකිව අතරමංව සිටින ශ්‍රී ලංකාවේ එම දුර්වලතාව මතින් තම ජය මාවත පාදා ගැනීම සෆ්රාස් ඇතුළු පාකිස්තානු ක්‍රීඩකයින්ගේ බලාපොරොත්තුව වන්නට ඇත. එම තීරණයට වටිනාකමක් එක් කරමින් ඩිල්ශාන් මුණවීර ලකුණු නොලබාම දැවී ගියේ ඉමාඩ් වසීම් එවූ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙනි.

ගොඩබිමක් සොයන බිඳී ගිය ක්‍රිකට් නෞකාව

අතිශය තීරණාත්මක ගමනකින් පසු ලෝක කුසලාන එක්දින තරගාවලිය නම් සාගරයෙන් නෙරපා සුදුසුකම් ලැබීමේ වටය නම් තටාකයට දමනු ලැබීමෙන් යන්තමින් ගැලවුණු…

ශ්‍රී ලංකාව වෙනුවෙන් මුල්පෙළ පිතිකරුවන් ලෙස ධනුෂ්ක ගුණතිලක ලකුණු 18ක් සහ සදීර සමරවික්‍රම ලකුණු 23ක් රැස් කළ ද ඔවුන්ගෙන් කණ්ඩායමට ඊට වඩා සේවයක් ඉටුවිය යුතුව තිබුණි. පිටියේ ස්ථාවර වෙමින් සිටි ඔවුන් දෙදෙනා එක් ක්ෂණයකින් පිටිය හැර යාමේ ප්‍රතිඵල දැක ගැනීමට ලැබුණේ ඉන් අනතුරුවයි. ඒ මහත් බලාපොරොත්තු තබාගෙන කණ්ඩායමට එක්කළ මහේල උඩවත්ත, දසුන් ශානක සහ සචිත්  පතිරණ තනි ඉලක්කමේ ලකුණු වලට දැවී ගිය බැවිනි.

අභිනවයෙන් විස්සයි විස්ස නායකත්වයට පත්වූ තිසර පෙරේරාටත් ඊයේ වගකීම් සහගත ඉනිමක් ක්‍රීඩා කිරීමට හැකි නොවීය. ඒ ලකුණු 6ක් පමණක් ලබා සිටි ඔහු නවක ක්‍රීඩක උස්මාන් කාන්ගේ වේගපන්දුවකට ගොදුරු වූ බැවිනි. ඊයේ දිනය පුරාවට ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ පහරවල් තෝරා ගැනීම සහ කල් මැනීම හොඳ තත්ත්වයක නොතිබූ බව නම් නොකියාම බැරිය. එබැවින් ශ්‍රී ලංකාවට පන්දුවාර 19ක් ගතවීමටත් පෙර දැවී යාමට සිදුවුනේ ලකුණු 102කටයි. පන්දු යැවීමේ දී හසන් අලි කඩුලු 3ක් බිඳ හෙලද්දී, මොහොමඩ් හෆීස් සහ උස්මාන් කාන් කඩුලු 2 බැගින් දවා ගත්හ.

ඒ අනුව ජයග්‍රහණය වෙනුවෙන් ඉතාමත් කුඩා ඉලක්කයක් හිමිවුණු පාකිස්තානු කණ්ඩායම පහසු ජයක් අපේක්ෂාවෙන් පිටියට පිවිසිය ද ඔවුන්ගේ මුල් කඩුලු 2ම බිඳ වැටුණේ ලකුණු 18ක් තුලදීයි. එහි දී හොඳින් දෝලනය වුනු පන්දුවක් මඟින් ෆකාර් සමාන්ගේ පා ඉන්න බිඳ දැමීමට විකුම් සංජයට හැකි විය. ඒ වන විට සමාන් ලබා සිටියේ ලකුණු 6ක් පමණි. ඉන් අනතුරුව බාබර් අසාම් එක් ලකුණකට දැවී ගියේ සචිත් පතිරණගේ පන්දුවකට සදීර සමරවික්‍රම සිදු කළ ස්ටම්ප් කිරීමක් මඟිනි.

Can Captain Thisara Perera revive Sri Lanka in T20Is? – Pitiye Katha

Danushka Lakmal and Kosala Sureshchandra discusses the recent 5-0 defeat for Sri Lanka against Pakistan and the upcoming…

කෙසේ වෙතත් ඉන් අනතුරුව පාකිස්තානය වඩාත් සුපරික්ෂාකාරී ලෙස ලකුණු රැස්කළ නිසා දිගින් දිගටම කඩුලු දවා ගැනීමට ශ්‍රී ලංකාවට ඉඩක් ලැබුනේ නැත. විකුම් සංජය විසින් ලකුණු 22ක් ලබාගත් අහමඩ් ශෙෂාඩ්ව පිටියෙන් ඉවත් කරන විටත් ඔවුන් ජයග්‍රහණය සඳහා අවශ්‍ය අඩිතාලම දමා තිබුණි. එය යථාර්ථයක් බවට පත්කළේ ශොයිබ් මලික් සහ මොහොමඩ් හෆීස් අතරේ ගොඩ නැගුණු ලකුණු 39ක නොබිඳුණු සබඳතාවයයි. කවදත් පාකිස්තානු ප්‍රේක්ෂකයින්ගේ බලාපොරොත්තු ඉටු කරන ශොයිබ් මලික් ඊයේ ලකුණු 42ක් රැස්කර ගත්තේ හතරේ පහර 4ක් සමඟයි.

ඔහුට අනගි සහයක් ලබාදුන් මොහොමඩ් හෆීස් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 25ක් රැස්කළේය. ඒ අනුව පාකිස්තානු කණ්ඩායමට පළමු විස්සයි විස්ස තරගය ජය ගැනීම සඳහා වැයවූයේ පන්දුවාර 17යි පන්දු 2ක් පමණි. පන්දු යැවීමේ දී විකුම් සංජයට කඩුලු 2ක් සහ සචිත් පතිරණට එක් කඩුල්ලක් හිමිවිය. ඊයේ තරගයේ වීරයා වශයෙන් සම්මාන හිමිවූයේ ධනුෂ්ක ගුණතිලක සහ තිසර පෙරේරා පිටියෙන් ඉවත් කළ උස්මාන් කාන්ටයි. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දෙවැනි විස්සයි විස්ස තරගය හෙට (27) අබුඩාබි නුවරදීම පැවැත්වීමට නියමිතව ඇත.

සුපිරි පන්දු වාරයේ දී ජයගත් LB ෆිනෑන්ස් අවසන් තරගයට

ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රිකට් තරගවලට පවා ඇල්මක් දක්වන සැබෑම ක්‍රීඩාලෝලීන්ගේ ඇස් අද දිනයේ (25) යොමු වී තිබුණේ 25 වැනි වරටත් සංවිධානය වූ වෙළඳසේවා ක්‍රිකට්…

ශ්‍රී ලංකාව – සියල්ලන්ම දැවී ලකුණු 102 (පන්දුවාර 18.3): සීක්කුගේ ප්‍රසන්න 23*, සදීර සමරවික්‍රම 23, ධනුෂ්ක ගුණතිලක 18, අශාන් ප්‍රියන්ජන් 12, හසන් අලි 3/23, මොහොමඩ් හෆීස් 2/10, උස්මාන් කාන් 2/20.

පාකිස්තානය – කඩුලු 3ක් දැවී ලකුණු 103 (පන්දුවාර 17.2): ශොයිබ් මලික් 42*, මොහොමඩ් හෆීස් 25*, අහමඩ් ශෙෂාඩ් 22, විකුම් සංජය 2/20, සචිත් පතිරණ 1/25.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<