රංජි කුසලානයේ හොඳම පන්දු යවන්නා දිවි ගමනින් සමුගනී

1545
freepressjournal.in

රංජි කුසලාන ක්‍රිකට් තරගාවලිය තුල දී වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවා ගත් පන්දු යවන්නා වූ Rajinder Goel ඊයේ (21) කොල්කටා හී පිහිටි සිය නිවසේ දී අභාවප්‍රාප්ත වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටී.

ලොව වයස්ගතම ක්‍රිකට් ක්‍රීඩකයා නොඑන ගමන් යයි

දිගු කාලයක් මුළුල්ලේ රෝගී තත්වයකින් පීඩා විඳි ඔහු මිය යන විට 77 වැනි වියෙහි පසු වූ අතර ඔහුගේ මරණය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා වන සෞරව් ගංගුලි සඳහන් කර සිටියේ ඉන්දීය දේශීය ක්‍රිකට් පිටියේ දැවැන්තයෙකු ඔවුන්ට අහිමි වූ බවයි.

“ඔහුගේ පුදුමාකාර වාර්තාවන්, ඔහුගේ ශිල්පය ඔහු පාලනය කළ ආකාරය ගැන මනාව පෙන්නුම් කරයි. වසර 25කට අධික කාලයක් පැවති ඔහුගේ ක්‍රීඩා දිවිය තුළින් ඔහුගේ කැපවීම උනන්දුව පිළිබඳව නිරන්තරයෙන් කතා කළ හැකියි. පළමු පෙළ කඩුලු 750ක් ලබා ගැනීමට වසර ගණනාවක් ඉතාම වෙහෙස වී වැඩ කළ යුතුයි. ඔහුගේ පවුලේ සැමට මගේ හෘදයාංගම ශෝකය ප්‍රකාශ කර සිටිමි” යැයි ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබුණි.

පාසල් කාලය තුළ දී දැක්වූ දස්කම් නිසාවෙන් වයස අවුරුදු 16 දී ම “Patiala” කණ්ඩායමට තේරී පත් වූ ඔහු රංජි කුසලාන ක්‍රිකට් තරගාවලිය තුළදී  කඩුලු 637ක් ලබා ගැනීමට සමත්ව ඇති අතර එම කඩුලු අතරට එක් තරගාවලියක් තුළ දී කඩුලු 25 බැගින් ලබා ගත් අවස්ථා 15ක් ද ඇතුළත් වේ.

අයර්ලන්ත ආරම්භක පිතිකරුවාට උසස් වීමක්

පළමුපෙළ තරග පිටිය තුළ දී Patiala කණ්ඩායමට අමතරව Delhi, Haryana සහ Southern Punjab කණ්ඩායම් නියෝජනය කරමින් ඉතා සාර්ථක දස්කම් දැක්වීමට සමත් වීම නිසාවෙන් 1974/75 බටහිර ඉන්දිය කොදෙව්වන් සමඟ පැවති බැංගලෝර් ටෙස්ට් සංචිතයට පවා ඇතුළත් වීමට ඔහු සමත් වූවත් තරගය ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නොලැබිණි.

පළමු පෙළ තරග 157ක් නියෝජනය කරමින් කඩුලු 750ක් ලබා ගැනීමට සමත් වූ ඔහු 1985 වසරේ දී ක්‍රීඩා පිටියෙන් සමුගැනීමට තීරණය කළ අතර ඉන් පසුව ඔහු හරියානා ප්‍රාන්ත කණ්ඩායමේ සහ 2000 වසරේ වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානය සඳහා සහභාගි වූ ඉන්දියානු කණ්ඩායමේ තේරීම් කමිටු සාමාජිකයෙකු ලෙස ද කටයුතු කළේය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<