ලොව වයස්ගතම ක්‍රිකට් ක්‍රීඩකයා නොඑන ගමන් යයි

335

පළමු පෙළ තරග ක්‍රීඩා කළ ජීවත්ව සිටි ලොව වයස්ගතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සැලකූ ඉන්දීය ක්‍රීඩක වසන්ත් රයිජි (Vasant Raiji) ඊයේ (13) මෙලොවින් සමුගත් බව ඔහුගේ බෑණා වූ සුදර්ශන් නන්වාටා විසින් ඉන්දීය මාධ්‍ය වෙත දැනුම් දෙන ලදි.

ඉන්දු – ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටුම කල් යයි

මියයන විට 100 වැනි වියේ පසු වූ දකුණත් පිතිකරුවෙකු වූ රයිජි වර්ෂ 1938 සිට 1950 අතර කාලයේ දී පළමු පෙළ තරග නවයක් ක්‍රීඩා කරමින් අර්ධ ශතක දෙකක් සමඟ ලකුණු 277ක් ලබා ගනිමින් 23.08ක පිතිකරණ සාමාන්‍යයක් පවත්වා ගැනීමට සමත්ව තිබුණි.

1941/42 රංජි කුසලාන තරගාවලියේ දී බොම්බේ කණ්ඩායමේ ආරම්භ පිතිකරුවා ලෙස කටයුතු කළ ඔහු පසුව බාරෝඩා කණ්ඩායම නියෝජනය කළ අතර එම කණ්ඩායමේ සිටිය දී පිළිවෙළින් ලකුණු 68ක් සහ 53ක් රැස් කළ ඔහු 1944/45 රංජි කුසලානයේ දී මහාරාස්ත්‍ර කණ්ඩායම පරාජය කිරීමට සිය දායකත්වය සැපයීය.

සිය අවසාන කාලයේ මුබ්බායි හී විසූ ඔහුගේ ජනවාරි මස පැවති 100 වැනි ජන්ම දිනය සැමරීමේ උත්සවය සඳහා සුපිරි ක්‍රීඩකයන් වන සචින් ටෙන්ඩුල්කාර්, ස්ටීව් වෝ සහ සුනිල් ගවස්කාර් සහභාගි වී තිබුණි.

රයිජිගේ මරණය පිළිබඳව සටහනක් තබමින් සුපිරි ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර් සඳහන් කර තිබුණේ ක්‍රිකට් තරග නැරඹීමට සහ ක්‍රීඩා කිරීමට ඔහුගේ පැවති උනන්දුව සහ ආශාව සිත් ඇදගන්නා බවයි.

රයිජිගේ මියයාමත් සමඟ මැයි මස 01 වැනිදා තම සියවැනි ජන්ම දින සැමරූ නවසීලන්ත ක්‍රීඩක මොහන්දාස් මිනොන් දැනට ජීවත්ව සිටින වයස්ගතම පළමුපෙළ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සැලකේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<