ඉන්දියාවට අලුත් පුහුණුකරුවෙක්

497
Rahul Dravid

ඉන්දීය කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක Rahul Dravid පත්කර තිබෙනවා. වත්මන් ඉන්දීය පුහුණුකරු වන Ravi Shastri විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව පුහුණුකාරීත්වයෙන් සමුගැනීමට නියමිතයි.

Rahul Dravid ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව පැවැත්වෙන නවසීලන්ත තරගාවලියේ සිට නව පුහුණුකරු ලෙස කටයුතු ආරම්භ කරන බව ඉන්දීය ක්‍රිකට් ආයතනය නිවේදනය කළා. ඉන්දීය නවසීලන්ත තරගාවලිය සඳහා විස්සයි විස්ස තරග 3ක් සහ ටෙස්ට් තරග දෙකක් ඇතුළත් වනවා.

Rahul Dravid ඉන්දීය පුහුණුකරු ලෙස නම් කිරීම ඉන්දීය ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර උපදේශක කමිටුව විසින් සිදු කර තිබෙනවා. මෙම කමිටුවට Sulakshana Naik සහ RP Singh ඇතුළත් වෙනවා. මෙම කමිටුව නිර්නාමික බව ඉන්දීය ක්‍රිකට් ආයතනය නිවේදනය කළා. කෙසේ වෙතත් ඉන්දීය පුහුණුකරු වීමට අයැදුම් කළ සෙසු පුද්ගලයන් පිළිබඳව ඉන්දීය ක්‍රිකට් ආයතනය හෙළි කර තිබුණේ නැහැ.

“ඉන්දීය ජ්‍යේෂ්ඨ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස අපි Rahul Dravid සාදරයෙන් පිළිගන්නවා. Rahul ක්‍රීඩකයෙක් විදිහට ප්‍රබල දස්කම් දැක්වූ ක්‍රීඩකයෙක්. ඒ වගේම ඔහු ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ටතම කෙනෙක්. ඒ වගේම ඔහු ජාතික ක්‍රිකට් ඇකඩමියේ ප්‍රධානියා ලෙසත් කටයුතු කළා”, ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ප්‍රධානී Saurav Ganguly පවසා සිටියා.

“ජාතික ක්‍රිකට් ඇකඩමිය තුළ Rahul කරපු සේවය නිසා තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් බොහෝ ප්‍රමාණයක් ජාතික මට්ටමේ දක්ෂතාවලට ආවා. මම බලාපොරොත්තු වෙනවා Rahul ඉන්දීය කණ්ඩායම නව මානයකට රැගෙන යාවි කියලා.”

Rahul Dravid  මීට පෙර 2016 සහ 2018 ලෝක කුසලාන තරගාවලියේ දී ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ අතර එහි දී ඔවුන් පිළිවෙලින් අනුශූරයන් සහ ශූරයින් බවට පත් වුනා.

Dravid 2019 වසර වන තෙක් ඉන්දීය A කණ්ඩායමේ ප්‍රගතිය අධීක්‍ෂණය කර ඇති අතර ඉන් අනතුරුව ඔහු බැංගලෝරයේ පිහිටා ඇති ජාතික ක්‍රිකට් ඇකඩමියේ (NCA) ප්‍රධානියා ලෙස පත් කර තිබුණා.

Shikher Dhawanගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායමක් මේ වසර මුල දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අවස්ථාවේ දී ද පුහුණුකරු ලෙස කටයුතු කළේ Rahul Dravid වීම විශේෂත්වයක්.

“ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වීමට ලැබීම විශාල ගෞරවයක්. මම ඇත්තටම මේ කාර්ය හොඳින් ඉටුකරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. Ravi Shastri යටතේ කණ්ඩායම ඉතා හොඳින් ක්‍රීඩා කරලා තියනවා. කණ්ඩායම සමඟ සමීපව කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙනවා”, සිය නව ධූරය පිළිබඳව අදහස් දක්වමින් Dravid පවසා සිටියා.

“ජාතික ක්‍රිකට් ඇකඩමිය, 19න් පහළ සහ A කණ්ඩායම් එක්ක මම සමීපව කටයුතු කරලා තියෙනවා. ඔවුන්ට දියුණු වෙන්න ලොකු ආසාවක් තියනවා. මම ඒ ගැන හොඳින් දන්නවා. ඉදිරි වසර දෙකක කාලය තුළ අපිට ජාත්‍යන්තර තරගාවලි කීපයක් තියනවා. මේ කාලය තුල කණ්ඩායමේ උපරිමය ලබා ගන්න මම බලාපොරොත්තු වෙනවා. අපගේ හැකියාවන් දියුණු කරගන්න සහ බලාපොරොත්තු සාක්ෂාත් කර ගන්න ක්‍රීඩකයින් සහ සහායක කාර්ය මණ්ඩලය සමඟ සමීපව වැඩ කරන්න මම බලාගෙන ඉන්නවා.”

ඉන්දීය කණ්ඩායමේ වත්මන් පුහුණුකරු වන Ravi Shastri ද හිටපු ඉන්දීය ක්‍රීඩකයෙකු වනවා. ඔහු පුහුණුකරු ලෙස කටයුතු කළ කාලය තුළ ඉන්දියාව ඕස්ට්‍රේලියාවේ (2018-19) ටෙස්ට් තරගාවලියක් ජයග්‍රහණය කළ පළමු ආසියානු කණ්ඩායම බවට පත් වූ අතර 2020-21 සංචාරයේ දී එම දස්කම නැවතත් දැක්වීමට ඔවුන් සමත්වුනා.

එම කාලය තුල ඉන්දියාව ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ඉහළටම පැමිණි අතර ඔවුන්ගේ මව්බිමේ දී කිසිදු තරගාවලියක් පරාජය වී තිබුණේ නැහැ. මීට අමතරව ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයටද ඉන්දීය කණ්ඩායම සුදුසුකම් ලබා ගත්තා.

ඉන්දීය කණ්ඩායමේ වත්මන් පිතිකරණ පුහුණුකරු Vikram Rathour එම තනතුර සඳහා නැවත ඉල්ලුම් කර ඇති බවට වාර්තා වනවා. කෙසේ වෙතත් ඉන්දීය පුහුණු කාර්‍යමණ්ඩලයේ සෙසු වෙනස්කම් පිළිබඳව මෙතෙක් නිවේදනය කර නැහැ.

Cricbuzz ඇසුරිනි  

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<