වත්මන් ලෝක ශූරයින්ව මෙල්ල කිරීමට අපේ කොල්ලෝ සූදානම්

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

477

2021 ලෝක කුසලාන T20 ක්‍රිකට් තරගාවලිය තුල ඉතාමත් හොඳින් ක්‍රීඩා කරමින් ප්‍රතිවාදීන්ට හොඳ අභියෝගයක් ලබා දුන් තරුණ ශ්‍රී ලංකා කණ්ඩායම අද (4) බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මුණගැසීමට නියමිතයි.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට යාමට ශ්‍රී ලංකාවට කිසිදු අවස්ථාවක් නොමැති නමුත්, කොදෙව් කණ්ඩායමට අවසන් පූර්ව වටයට ඉතාමත් කුඩා අවස්ථාවක් තිබෙනවා.

නමුත් ඒ සඳහා ඔවුන් නිසැක ලෙස මේ තරගය ජය ගත යුතු වන අතර අනෙක් තරගවල ප්‍රතිඵල ද ඔවුන්ගේ දෙසට පැමිණිය යුතු වෙනවා. අනෙක් පසින් ශ්‍රී ලංකාව ඉතාමත් හොඳින් තරගාවලිය අවසන් කිරීමේ අරමුණ ඇතිව මේ තරගයට පිවිසෙන්නේ හොඳ මානසිකත්වයක් ඇතිවයි.

කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව බංග්ලාදේශය හමුවේ පමණක් ජයග්‍රහණ ලබාගෙන තිබෙන නමුත් කොදෙව්වන්ට ශ්‍රී ලංකා තරගයට අමතරව තවත් තරගයක් ඉතිරිව තිබෙනවා.

වැඩි අවධානයට

ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලානය තුල තරග 4කට සහභාගී වී තරග තුනක් පරාජය වූ බව සැබෑවක්. නමුත් ඒ තරග ජය ගැනීම සඳහා ලබා දුන් සටන ඉතාමත් වටිනවා. ක්‍රීඩාව තුල ජය පරාජය යනු පොදු කරුණක් වුනත් ප්‍රතිවාදීන්ට හොඳ අභියෝගයක් එල්ල කිරීම ඕනෑම දක්ෂ කණ්ඩායමකින් පෙනෙන හොඳ ලක්ෂණයක්.

විශේෂයෙන් දකුණු අප්‍රිකාව සහ එංගලන්තය සමඟ පැවති තරගවල දී ඒ බව හොඳින්ම දැක ගැනීමට හැකි වූ අතර දැනට පළමු කාණ්ඩයේ අපරාජිතව සිටින එංගලන්ත නායකයා පවා, ශ්‍රී ලංකා – එංගලන්ත තරගය අවසන් වූ පසුව පවසා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම අනෙක් කණ්ඩායම්වලට වඩා හොඳ අභියෝගයක් ඔවුන්ට ලබා දුන් බවයි.

කණ්ඩායමේ සංයුතිය,

ශ්‍රී ලංකාව කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගය සඳහා ද එංගලන්තයට ක්‍රීඩා කළ කණ්ඩායම ක්‍රීඩා කිරීමට ඉඩක් තිබෙනවා.

කොදෙව් කණ්ඩායම යම් වෙනසක් කිරීමට ඉඩක් තිබෙන අතර Lendle Simmons වෙනුවට Roston Chase කණ්ඩායමට කැඳවීමට වැඩි ඉඩක් තිබෙනවා.

තරගයට අපේක්ෂිත කණ්ඩායම්,

Sri Lanka – Pathum Nissanka, Kusal Perera (wk), Charith Asalanka, Avishka Fernando, Bhanuka Rajapaksa, Dasun Shanaka (capt), Chamika Karunaratne, Wanindu Hasaranga, Dushmantha Chameera, Maheesh Theekshana, Binura Fernando

West Indies: Chris Gayle, Evin Lewis, Roston Chase, Shimron Hetmyer, Kieron Pollard (capt), Andre Russell, Nicholas Pooran, Jason Holder, Dwayne Bravo, Akeal Hosein, Ravi Rampaul

කොදෙව් කණ්ඩායම සතුව අත්දැකීම් බහුල ක්‍රීඩකයින් රැසක් සිටින නමුත්, ඔවුන් කිසිවෙක් මේ  තරගාවලිය තුල ඔවුන්ගේ නිසි රිද්මයට පැමිණ දස්කම් දැක්වීමට සමත් නොවීම ඔවුන්ට විශාල ගැටලුවක් වී තිබෙනවා. තවද, Obed McCoyගේ ආබාධය නිසා කණ්ඩායමට පැමිණි Jason Holder මේ තරගය ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් තිබෙනවා.

තීරණාත්මක ක්‍රීඩකයින්,

භානුක රාජපක්ෂ සහ චරිත් අසලංක මේ වන විට ඉතාමත් හොඳ රිද්මයකින් ලකුණු අතර සිටින අතර ඔහු මේ තාරගාවලිය පුරාම හොඳ ප්‍රහාරාත්මක වේගයක් රඳවාගෙන පන්දුවට පහර දුන්නා.

දැනට ලොව අංක එකේ විස්සයි විස්ස පන්දු යවන්නා සහ ලොව සිව්වැනි හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා වන වනිඳුගේ තුන් ඉරියව් දස්කම් ශ්‍රී ලංකාවට තිබෙන වැදගත් සාධකයක් වන අතර ඔහු නිමා වූ කොදෙව් – ශ්‍රී ලංකා තරගාවලිය තුල ද පන්දු යැවීමෙන් ඉතාමත් හොඳින් දස්කම් අතරට පැමිණියා. මහීෂ් තීක්ෂණ කොදෙව්වන්ට මින් පෙර මුණගැසී නොමැති නිසා එය ද ඔවුන්ට විශාල අභියෝගයක් වනු නිසැකයි.

කොදෙව් පිතිකරණ ලැයිස්තුවේ දෙස බැලීමේ දී ඔවුන්ගේ අංක 9 පිතිකරු දක්වාම ඉතාමත් හොඳින් පිතිකරණයේ නිරත වීමට හැකියි. තවද,  Evin Lewis ආරම්භක පිතිකරු ලෙස ශ්‍රී ලංකාවට වැඩි අභියෝගයක් ලබා දීමට හැකි පිතිකරුවෙක් ලෙස සැලකීමට පුළුවන්.

තණතීරුව සහ ස්වභාවය,

කණ්ඩායම් දෙකම අවසන් තරගය ක්‍රීඩා කළේ සාජා තණතීරුවෙයි. එහි එතරම් හොඳින් පන්දුව ඉපිලිම සිදු නොවුණු නමුත් අබුඩාබි තණතීරුව මත සාජා තණතීරුවට සාපේක්ෂව හොඳ ඉපිලුමක් දැකගැනීමට හැකියාව ලැබෙනු ඇත.

මේ තරගය රාත්‍රී තරගයක් වන නිසා පින්න යන සාධකය මත කාසියේ වාසිය ජය ගන්නා කණ්ඩායම පළමුව පන්දු යැවීමට ඉඩක් තිබෙනවා.

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<