​මැංගුස් සටන් ඉතිහාසය වෙනස් කරන්නට සූදානම් වන 61 වැනි හටන

613

කළුතර විද්‍යාලය සහ කළුතර තිස්ස විද්‍යාලය අතර පැවැත්වෙන මැංගුස් හටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස 29 සහ 30 දෙදින මග්ගොන සරේ විලේජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. කළුතර දිස්ත්‍රික්කයේ පැරණිතම වාර්ෂික මහා ක්‍රිකට් තරගය වන මෙය මෙවර පැවැත්වෙන්නේ 61 වැනි වරට ය.

කොළඹ 7 ක්‍රීඩකයන්ගේ අභියෝගය හමුවේ කොළඹ 3 ක්‍රීඩකයෝ

කොළඹ 3, මහානාම විද්‍යාලය හා කොළඹ 7…..

මෙවර තිස්ස විද්‍යාලය රොහාන් සංජය මෙහෙයවන අතර කළුතර විද්‍යාලය කවිඳු ජයවික්‍රම විසින් මෙහෙයවමින් මැංගුස් සටනට එක් වේ.

මෙවර තිස්ස විද්‍යාලය මැංගුස් හටනට සහභාගී වෙන්නේ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටස නියෝජනය කළ දක්ෂතම කණ්ඩායමක් ලෙසිනි.

කණ්ඩායමේ වඩාත්ම දක්ෂතා දක්වා ඇති ක්‍රීඩකයා ලෙසින් හැදින්වෙන්නේ වමතින් දඟපන්දු යවන නායක රොහාන් සංජය ය. ඊට සමගාමීව කියැවෙන තවත් නමක් වන්නේ කෝසල රවිඳු ය. ඒ පිතිකරු අංශයෙනි.

කළුතර විද්‍යාලය මෙවර තරගයට සහභාගී වෙන්නේ නිමා වූ වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ දී පූර්ණ ජයග්‍රහණ 8ක් ලබා ගනිමින් වඩාත් යහපත් මානසිකත්වයක සිට ය.

කණ්ඩායමේ වඩාත් දක්ෂතා දැක්වූ තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙසින් හැඳින්වෙන්නේ අවිශ්ක ලක්ෂාන් ය. ඔහු පිතිකරුවෙක් ලෙසින් ලකුණු 547ක් ලබා ගනිමින් පන්දු යවන්නෙක් ලෙසින් කඩුලු 70ක් ලබා ගනිමින් දක්ෂතා දක්වා සිටී.

කණ්ඩායමේ නායක කවිඳු ගයාෂාන් ද තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් කණ්ඩායමේ වගකීමක් දරයි. ඔහු මෙවර තරගාවලියේ දී කඩුලු 73ක් ලබා සිටින අතර ලකුණු 373ක් ලබා සිටී. කණ්ඩායමේ උප නායක ප්‍රබෝත් තමූෂ ලකුණු 646ක් ලබා ගනිමින් නායකයාට සහයෝගය දක්වන අතර කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා ලෙස ඉදිරියෙන්ම සිටින්නේ විශාර සස්මිත ය. ඔහු ලකුණු 685ක් ලබා සිටී.

තිස්ස මධ්‍ය මහා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් සංචිතය

රොහාන් සංජය (නායක), කෝසල රවිඳු (උපනායක), රසාංජන අරවිඳු, හර්ෂ මධුසංක, දනුක නිශාද්, අශේන් ජයතිලක, අන්ජන සංකල්ප, චමත් චමුපති, අවිශ්ක දේවින්ද, නිකිල් සහස්මික, සුරේෂ් නිශ්ශංක, ප්‍රමුත් ප්‍රසංග, ඔශේන් නිම්රෝද්, නිමේෂ් සාලින්ද, ජනිත් ලක්රුවන්, ලහිරු තාරක, පසිඳු මල්ශාන්, චමල් සාරංග, අශේන් චනුල, ඉරන්ද දේව්මිත්

රිශාන් සිල්වා (ප්‍රධාන පුහුණුකරු) හේෂාන් ලක්ෂිත (සහාය පුහුණුකරු) දිමුතු ද සිල්වා (සහාය පුහුණුකරු)

කළුතර විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් සංචිතය

කවිඳු ජයවික්‍රම (නායක), ප්‍රමෝද් තමූෂ (උපනායක), අවිශ්ක ලක්ෂාන්, හිරුණ මධුශාන්, සුනෙර අගතිස, දිලිප් අරුණෝද්‍ය, විශාර සස්මිත, විශ්මික කොස්තා, ෂචින් අනුක, මිහිඳු පැහැසර, ගිහාන් සංජන, අශේන් මන්තක, ක්‍රිශාන් විරංග, සදීප් ප්‍රනාන්දු, හංසක අනුපම, දිනුක තිසර, චමිඳු පියමාල්, නිපුන් හංසක, පවන් සංදීප, යුනික දිල්රුක්, විශ්ව දනංජය

නිල් කොළ සටනේ දී හේනේගම – වේයන්ගොඩට පරාජය වේ

හේනේගම මධ්‍ය මහා විද්‍යාලය සහ වේයන්ගොඩ ……..

මැංගුස් හටන තරග ඉතිහාසය

1949 වසරේ ඇරඹි මේ වාර්ෂික මහා ක්‍රිකට් තරග අතුරින් මේ වෙද්දී කළුතර විද්‍යාලය තරග 22ක දී ද ජයග්‍රහණය වාර්තා කරගෙන ඇති අතර තිස්ස විද්‍යාලය ජයග්‍රහණය කර ඇත්තේ තරග 6ක් පමණි. තරග 31ක් ජය පරාජයෙන් තොරව නිමා වී ඇත. වසර 10ක් නොයෙකුත් හේතූන් මත තරග පවත්වා නැත.

කළුතර විද්‍යාලය වෙනුවෙන් හර්බට් ද සිල්වා සහ තිස්ස විද්‍යාලය වෙනුවෙන් ගාමිණී කරුණාරත්න මැංගුස් හටනේ මංගල තරගයේ නායකයන් ලෙසින් ඉතිහාස ගතව ඇත. එම තරගයේ දී ජයග්‍රහණය වාර්තා කිරීමට කළුතර විද්‍යාලය සමත් වීමත් සමඟින් හර්බට් ද සිල්වාගේ නම පළමු ජයග්‍රාහී නායකයා ලෙසින් ලියැවෙන අතර පළමු ජයග්‍රාහී කණ්ඩයම ලෙසින් කළුතර විද්‍යාලයේ නම ලියැවී ඇත.

මැංගුස් හටන් ඉතිහාසයේ තිස්ස විද්‍යාලය තරගය ජයග්‍රහණය කළ පළමු අවස්ථාව ලෙසින් සටහන් වෙන්නේ 1958 වසරේ දී ඒ කේ. ඩී. ජයවීරගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමයි.

තරග සටන් ඉතිහාසයේ අවසන් වරට ජයග්‍රහණය හිමි කර ගත් කණ්ඩායම ලෙසින් වාර්තා වෙන්නේ 2011 වසරේ දී සඳුන් චාමරගේ නායකත්වය යටතේ වූ කළුතර විද්‍යාලයයි ජයග්‍රහණයයි. තිස්ස විද්‍යාලය අවසන් වරට මැංගුස් හටනක් ජය ගෙන ඇත්තේ 1983 වසරේ  අජිත් ද සිල්වාගේ නායකත්වය යටතේ ය.

මැංගුස් හටන වාර්ෂික මහා ක්‍රිකට් තරග ඉතිහාසය පිරිස්සන්නෙක්ට ඉතා ලෙහෙසියෙන් හමුවෙන නම් අතර තිලකරත්න ඩිල්ශාන්, මාලිංග බණ්ඩාර සහ මිලින්ද සිරිවර්ධන හමුවේ. ඔවුන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට වරම් හිමි කර ගත් අතර මිලින්ද සිරිවර්ධන 2005 වසරේ කළුතර විද්‍යාලයීය කණ්ඩායමේ නායකත්වය ද උසුලා ඇත. එමෙන්ම මෙරට පළමු පෙළ ක්‍රීඩා කළ සහ කරන ටී. එම්. සම්පත්,  නදීර නාවල, තාමර අබේරත්න, අලංකාර අසංක, අමිල වෙත්තසිංහ, පැතුම් නිශ්ශංක වැන්නෝ ද මැංගුස් හටනේ දක්ෂතා දැක්වූවෝ ය.

මේ මැංගුස් සටන් ඉතිහාසයත් සමඟින් වඩා තියුණු තරගයක් නැරඹීමට මෙවර අවස්ථාව උදා වී ඇත. එම තරගය කවුරුන් ජයග්‍රහණය කළ ද තරගයේ ක්‍රීඩාශීලීත්වය සහ උණුසුම ලබා දෙන විද්‍යාල දෙකේ ක්‍රීඩකයන්ට Thepapare.com හී සුබ පැතුම්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<