ලෝක කුසලානයෙන් ඉවත් වීම සිහිනවල අවසානය නොවේ!

Women's T20 World Cup 2023

330

දකුණු අප්‍රිකාවට එරෙහිව විශිෂ්ට ජයග්‍රහණයක් ලබමින් මෙවර කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානයට බලාපොරොත්තු සහගත ආරම්භයක් ලබා ගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ලෝක කුසලාන අවසන් පූර්ව වටය පිළිබඳ සියලු බලාපොරොත්තු ඊයේ (19) දිනයෙන් පසුව අවලංගු වී ගියා.

බොහෝ දෙනෙකු බලාපොරොත්තු නොවූ අන්දමේ දස්කම් පෙන්වමින් මෙවර ලෝක කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ආරම්භ කළ ගමනේ නිමාව ඊයේ දිනයෙන් අවසන් වූ නමුත් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තුගේ බලාපොරොත්තු නම් තවමත් නිමා වී නැහැ.

“ලෝකාවසානය සිදු වෙලා නැහැ. හෙට දිනයේ නැවත හිරු නැගේවී. මට අනාගතය වෙනුවෙන් හොඳ කණ්ඩායම ගොඩ නැගීමට අවශ්‍යයි. අද දැනෙන හැඟීම හොඳ එකක් නෙවෙයි, නමුත් මගේ අවධානය තියෙන්නේ ඊළඟ සංචාරය ගැනයි.”

ශ්‍රී ලංකාවට ඉදිරියේ දී බංග්ලාදේශය සමඟ මෙන්ම නවසීලන්තය සමඟත් ක්‍රිකට් තරගාවලි පැවැත්වීමට නියමිතව තිබෙන අතර මෙම වසර අග දී ඔවුන් තවත් තරග කිහිපයක් සඳහා එංගලන්තය බලා පිටත් වීමට ද නියමිතයි.

2020 වසරේ මාර්තු මාසයේ සිට 2022 වසරේ ජනවාරි මාසය වන තෙක් වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ එක දු ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් හෝ ක්‍රීඩා කිරීමට වරම් නොලද ශ්‍රී ලාංකික කණ්ඩායමකට නායකත්වය දුන් චමරිට දැන් මීළඟ සංචාරයක් පිළිබඳ කතා කළ හැකි වීම ම එක්තරා අන්දමක ජයග්‍රහණය බව සලකන්න පුළුවන්.

“තරුණියන්ට අත්දැකීම් අවශ්‍යයි. ඔවුන් අනාගතයේ දී තවත් ක්‍රිකට් ක්‍රීඩා කළ යුතුයි. ඉහළම පෙළේ කණ්ඩායම් හතර සමඟ අපි තවත් ක්‍රිකට් ක්‍රීඩා කළ යුතුයි.”

චමරිගේ අනාගත බලාපොරොත්තු එළි දැල්වීම සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් නවක අත්දැකීම් සොයමින් සිටින ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුම සිටින බව මෙම තරගාවලිය තුල දී මෙන්ම මීට පෙර ද දැක ගැනීමට ලැබුණා. ඒ අතර වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට නායකත්වය දුන් විශ්මි ගුණරත්න මෙන්ම කවීෂා දිල්හාරි සහ හර්ශිතා සමරවික්‍රම වැනි අයගේ නම් කැපී පෙනුණා.

තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ක්‍රීඩා කළ තෙවැනි තරගයෙන් ඕස්ට්‍රේලියාව හමුවේ ලද පරාජයෙන් පසුවත් අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු (නවසීලන්තය පරාජය කරමින්) ඔවුන් සතුව තිබුණ ද, ඊයේ ඒ සියල්ල බොඳ ව ගියා. තමන් ඕස්ට්‍රේලියාව හමුවේ ලද පරාජයටත් වඩා ඊයේ නවසීලන්තය හමුවේ ලද පරාජය පිළිබඳ කනගාටු වන බව චමරි පවසනවා.

“මම ඕස්ට්‍රේලියාව සමඟ තරගය ගැන කනගාටු වෙන්නේ නැහැ, නමුත් අද තරගය ගැන පොඩි කනගාටුවක් තියෙනවා. ඒක අපිට ඉතාම වැදගත් තරගයක් වුනා, ඒ වගේම අපේ සමහර ක්‍රීඩිකාවන් තරමක් වැඩි පීඩනයක් තමන්ගේ උරහිස් මත පටවා ගෙන හිටි බව මට දැනුණා. මම හිතන්නේ ඔවුන් ඒ පීඩනය හරි හැටි පාලනය කර ගත්තේ නැහැ.”

ඊයේ තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත ඉනිමේ දී Bernadine Bezuidenhout සහ Suzie Bates යන පිතිකාරිණියන් දෙදෙනාම දවා ගන්න ශ්‍රී ලංකාවට ලැබුණු පහසු අවස්ථා ඔවුන් විසින් මග හැර ගත්තා.

එහි අවසන් ප්‍රතිඵලය වුනේ මීට පෙර තරගවල දී ඕස්ට්‍රේලියාව හමුවේ ලකුණු 76කට මෙන්ම, දකුණු අප්‍රිකාව හමුවේ ලකුණු 67කට දැවී ගිය නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 160 සීමා පසු කරන්න සමත් වීමයි.

වත්මන් කාන්තා ක්‍රිකට් ලෝකය තුල ඉහළ පෙළේ දස්කම් දක්වන රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ ද කාන්තා ක්‍රිකට් වෙනුවෙන් ඇති දේශීය ව්‍යුහය ශක්තිමත් විය යුතු බව අතපත්තු පවසනවා.

“ඉන්දියාවේ හොඳ ව්‍යුහයක් තියෙනවා, නමුත් පාකිස්තානයේ, බංග්ලාදේශයේ සහ ශ්‍රී ලංකාවේ ව්‍යුහයන් ශක්තිමත් විය යුතුයි.”

ඇයගේ බලාපොරොත්තු අනුව බොහෝ විට ඔහු ලබන වසරේ සැප්තැම්බර්/ ඔක්තෝබර් මාසවල බංග්ලාදේශයේ පැවැත්වීමට නියමිත මීළඟ විස්සයි විස්ස ලෝක කුසලානය මෙන්ම, තවත් එක් දින ලෝක කුසලානයකට ද ක්‍රීඩා කරනු ඇත.

“මට අවශ්‍ය අනාගතය වෙනුවෙන් හොඳ කණ්ඩායමක් ගොඩ නැගීමයි. එයයි මගේ ඉලක්කය. මට අවශ්‍ය තරුණියන්ව දිරිමත් කරවමින් ඔවුන්ට ආදර්ශයක් වීමයි. මම නිතරම උත්සාහ කරන්නේ ඉදිරියෙන් සිටිමින් ඔවුන්ව මෙහෙයවීමටයි. ඒ නිසා මගේ ඉලක්කය වෙන්නෙ තවත් අවුරුද්දක් දෙකක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමයි.”

ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය වෙනුවෙන් තමන්ට ඇති වගකීම නිවැරදි ලෙස තේරුම් ගෙන ඇති චමරි අතපත්තු ඊයේ තරගයෙන් අනතුරුව එසේ පැවසුවා.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPN Cricinfo ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<