PSL ආරම්භයට දින නියම වෙයි

පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය 2023

207

2023 වසරේ පාකිස්තාන සුපර් ලීග් විස්සයි විස්ස තරගාවලිය පෙබරවාරි 13 වැනිදා ආරම්භ වන බව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තහවුරු කර සිටියා.

තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය, පසුගිය වසරේ අවසන් මහා තරගය ක්‍රීඩා කළ, Lahore Qalandars සහ Multan Sultans අතර පැවැත්වීමට නියමිතයි.

Qalandars විසින් අවසන් තරගයේ දී Sultans ලකුණු 34කින් පරාජය කරමින් පසුගිය වසරේ ශූරතාවය දිනා ගැනීමට සමත් වූ අතර මෙම වසරේ තරගාවලිය සඳහා තරග 34ක් ඇතුළත්.

අදියර දෙකක් යටතේ පැවැත්වීමට නියමිත මෙම තරගාවලියේ පළමු අදියර පෙබරවාරි 13 සිට 26 දක්වා Multan සහ Peshawar කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන අතර අනෙක් අදියරේ තරග Karachi සහ Lahore කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙනු ඇත.

තරගාවලියේ අවසන් වටයේ තරග සහ අවසන් මහා තරගය පැවැත්වෙන්නේ සුප්‍රකට Lahore නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේ දීයි.

මෙවර තරගාවලිය සඳහා වනිඳු හසරංග, භානුක රාජපක්ෂ, Adil Rashid, Matthew Wade, Jimmy Neesham සහ Tabraiz Shamsi යන ක්‍රීඩකයින් පළමු වරට සහභාගී වීමට නියමිතයි.

එමෙන්ම පාකිස්තානය කාන්තා ලීග් තරගාවලියක් ද පැවැත්වීමට සැලසුම් කරමින් ඇති අතර එයට සමගාමීව ප්‍රදර්ශන තරගාවලියක් දේශීය සහ විදේශීය ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් මාර්තු 08, 09 සහ 10 යන තෙදින තුළ පැවැත්වීමට නියමිතයි.

“පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයට දැවැන්ත තරගාවලියක්. එය ලොව ප්‍රබල විස්සයි විස්ස ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් ප්‍රසිද්ධ ස්ථාන හතරක මෙවර පැවැත්වෙන්නේ. අපි මෙම තරගාවලිය ක්‍රීඩකයින්ගේ පළමු තේරීම බවට පත් කරමින් වෙනදාට වඩා හොඳින් ශක්තිමත්ව පැවැත්වීමට සැලසුම් කරමින් ඉන්නවා,” යැයි පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කළා.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<