මා මිය ගිය බවට යන කටකතා අසත්‍යක් – ඉර්ෆාන්

279
Mohammad-Irfan

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැතිර යන අසත්‍ය කටකතා හට නොරැවටෙන ලෙසත්, තමන් ඉතාමත් හොඳ සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවත් ප්‍රකාශ කර සිටි පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ඉර්ෆාන්, ඊයේ (21) සිදු වූ රිය අනතුරකින් තමන් මිය ගියා යැයි ප්‍රචාරය වූ සාවද්‍ය පුවත තවදුරටත් විශ්වාස නොකරන මෙන් එරට ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

>> “තාම ක්‍රිකට් ගහන්න අවසර දෙන්න බැහැ!”

38 හැවිරිදි ඉර්ෆාන් පාකිස්තානය තුල පමණක් නොව ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුල දී ද කවුරුත් දන්නා හඳුනන, කාගේත් අවධානය දිනා ගත් චරිතයක් බවට පත්වී තිබෙන්නේ ඔහු පන්දුවෙන් දක්වන දක්ෂතාවන්ට අමතරව අනෙක් ක්‍රීඩකයින්ට වඩා කැපී පෙනෙන උසක් ඔහු සතුව ඇති නිසාවෙනි. 

අඩි හතයි අඟල් එකක් උසැති උත්තුංග දේහධාරී පුද්ගලයෙකු වන ඉර්ෆාන් එය තම පන්දු යැවීම සඳහා ද අමතර වාසියක් බවට පරිවර්තනය කරගෙන තිබෙන්නේ සෙසු වේගපන්දු යවන්නන්ට සාපෙක්ෂව තණතීරුවෙන් වැඩි ඉපිලීමක් ලබාගැනීමේ අවස්ථාව ද තමන් සතු කරගනිමිනි.

හදිසියේම සිදු වූ මෙම අකරතැබ්බය සම්බන්ධයෙන් ක්‍රීඩාලෝලීන් දැනුවත් කිරීමට කටයුතු කළ යුතු යැයි සිතූ ඉර්ෆාන් ඔහුගේ පෞද්ගලික Twitter ගිණුම හරහා පණිවිඩ කිහිපයක් නිකුත් කරමින් සඳහන් කොට සිටියේ ලැව් ගින්නක් මෙන් වේගයෙන් පැතිර යන කටකතා සියල්ලන්ම පදනම් විරහිත ඒවා බවයි.

>> සචින්ගේ පිත්තෙන් පන්නරය ලැබූ නවක ඉන්දීය තරුව

“මේ වැඩෙන් මගේ පවුලේ අය වගේම සමීපතම නෑදෑ හිතමිත්‍රයෝ ගොඩක් දෙනෙක් සෑහෙන අපහසුතාවට පත්වෙලා ඉන්නේ. මේක ප්‍රචාරණය වුන වෙලාවේ ඉඳන් මම කවදාවත් දැකලවත් නැති දුරකථන අංකවලින් පවා මට ඇමතුම් ගලාගෙන එනවා. මෙහෙම තවත් කෙනෙක් අමාරුවේ දාන, තේරුමක් නැති දේවල් ආයෙත් කරන්න එපා කියලා මම කාරුණිකව ඉල්ලා සිටිනවා. මම වෙනදා වගේම ඉතාමත් හොඳින් ඉන්නවා. හොයල බලපු අයට ස්තූතියි.”

ඕස්ට්‍රේලියාවට එරෙහිව පසුගිය වසරේ පැවති විස්සයි විස්ස තරගාවලියෙන් අනතුරුව මේ දක්වා කිසිදු ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් සඳහා ක්‍රීඩා කර නොමැති ඉර්ෆාන් තරග ආකෘතීන් ත්‍රිත්වයේ දී ම බිඳ හෙළා ඇති මුළු කඩුලු සංඛ්‍යාව ලෙස දැක්වෙන්නේ 109ක් ලෙසයි.

පාකිස්තාන ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වන මොහොමඩ් ඉර්ෆාන් ඊයේ (21) දිනයේ දී උදරයේ ඇති වූ ආසාදනයක් නිසාවෙන් හදිසියේම ජීවිතක්ෂයට පත්ව ඇති බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත් කිරීමත් සමඟම බොහෝ දෙනෙකු ඒ පිළිබඳව වැරදි වැටහීමකින් යුතුව කටයුතු කරන්නට ඇති බව එරට ආරංචි මාර්ග රැසක් සඳහන් කර සිටිති.

AFP ඇසුරෙනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<