ලසිත් සහ කවිෂ්කගෙන් සුපිරි පන්දු යැවීමක්

ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය 2023

1235
SLC

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් තරග දෙකක් අද (19) පැවැත්වුනා.

තරගාවලියේ පළමු තරග ද්විත්වය වන මෙම තරග කොළඹ නගරයේ ක්‍රීඩාංගණ කේන්ද්‍රකර ගනිමින් පැවැත්වෙන අතර අද ආරම්භ වූ මෙම තරගාවලිය මාර්තු 05 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

දඹුල්ල සහ ගාල්ල

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මෙම තරගයේ පළමු දිනය අවසන් වන විට ගාල්ල ක්‍රීඩකයින් සිය පළමු ඉනිම සඳහා කඩුලු 3ක් දැවී ලකුණු 90ක් ලබා සිටියා.

කාසියේ වාසිය දිනා ගනිමින් දඹුල්ල ක්‍රීඩකයින් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන්ට පන්දුවාර 48.5ක් අවසානයේ සියල්ලන් දැවී රැස් කිරීමට හැකි වුනේ ලකුණු 155ක් පමණයි.

දඹුල්ල කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ නිමේෂ් ගුරුසිංහ ලකුණු 31ක් ලබා ගැනීමට සමත් වෙද්දී, ඩිලාන් ජයලත් ලකුණු 27ක්, ලක්ෂාන් සඳකැන් නොදැවී ලකුණු 26ක් සහ ලසිත් අබේරත්න ලකුණු 24ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ගාල්ල කණ්ඩායම වෙනුවෙන් ඉහළ දස්කම් දැක්වූ කවිෂ්ක අංජුල ලකුණු 23කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් වූ අතර ඔහුට අනගි සහයක් ලබා දුන් අසංක මනෝජ් සහ රමේෂ් මෙන්ඩිස් අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා.

ගාල්ල කණ්ඩායම වෙනුවෙන් හෂාන් දුමිඳු ලබා ගත් ලකුණු 37 සහ ඇන්ජලෝ මැතිව්ස් සහ පසිඳු සූරියබණ්ඩාර නොදැවී පිළිවෙළින් ලබා ගත් ලකුණු 22 සහ 16 නිසා දිනය අවසානයේ ලකුණු 90ක් ලබා ගනිමින් තරගයේ පෙරමුණ ගැනීමට ගාල්ල ක්‍රීඩකයින්ට හැකි වුනා.

දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු සහ චලන ද සිල්වා එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

ඹුල්ල: 155/10 (48.5) – නිමේෂ් ගුරුසිංහ 31, ඩිලාන් ජයලත් 27, ලක්ෂාන් සඳකැන් 26*, කවිෂ්ක අංජුල 5/23, රමේෂ් මෙන්ඩිස් 2/11, අසංක මනෝජ් 2/35

ගාල්ල: 90/3 (29) – හෂාන් දුමිඳු 37, ඇන්ජලෝ මැතිව්ස් 22*, පසිඳු සූරියබණ්ඩාර 16*

මහනුවර සහ කොළඹ

කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන මහනුවර ක්‍රීඩකයින් කඩුලු දෙකක් දැවී ලකුණු 96ක් ලබා සිටියා.

තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ කොළඹ ක්‍රීඩකයින්ට පන්දුවාර 64.5ක් අවසානයේ සියල්ලන් දැවී ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 214ක් පමණයි.

කොළඹ කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වෙමින් අගනා අර්ධ ශතකයක් රැස් කිරීමට (51) දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරියට හැකි වූ අතර නිසල තාරක ලකුණු 38ක් සහ ‍රොෂේන් සිල්වා ලකුණු 21ක් කොළඹ කණ්ඩායම වෙනුවෙන් ලබා ගත්තා.

මහනුවර කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් ඉහළ දස්කම් දැක්වූ ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 60කට කඩුලු පහක් දවා ගැනීමට සමත් වූ අතර ඔහුට අගනා සහයක් ලබා දෙමින් නිම්සර අතරගල්ල ලකුණු 62කට කඩුලු 4ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන මහනුවර කණ්ඩායම වෙනුවෙන්  ඕෂධ ප්‍රනාන්දු නොදැවී ලකුණු 32ක් සහ සඳුන් වීරක්කොඩි නොදැවී ලකුණු 30ක් ලබා සිටි අතර ලසිත් කෲස්පුල්ලේ ලකුණු 29ක් රැස් කළා.

කලන පෙරේරා සහ නිසල තාරක කොළඹ කණ්ඩායම වෙනුවෙන් එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුනා.

  • කොළඹ: 214/10 (64.5) – ප්‍රබාත් ජයසූරිය 51, නිසල තාරක 38, රොෂේන් සිල්වා 21, ලසිත් ඇඹුල්දෙණිය 5/60, නිම්සර අතරගල්ල 4/62
  • මහනුවර: 96/2 (20) – ඕෂධ ප්‍රනාන්දු 32*, සඳුන් වීරක්කොඩි 30*, ලසිත් කෲස්පුල්ලේ 29, නිසල තාරක 1/18

මෙම තරගවල දෙවැනි දිනයේ තොරතුරු සහ තරගාවලියේ තවත් පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<