කඩුලු 800 මහ රජු – මුරලි

839
Getty Images

මුරලේ.. මුරලේ… මුරලේ…

ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය පුරාවටම එකම ජය ඝෝෂා හඬකි. වසර 18ක කාලසීමාවක් තුළ ටෙස්ට් පිටියේ කඩුලු 799ක් දවාගෙන, ලොව පුරා නම් දැරූ පිතිකරුවන් හට යන එන මං නැති කළ, ලොව එදා මෙදාතුර පහළ වූ විශිෂ්ටතම පන්දු යවන්නා තම 800 වැනි ගොදුරට ඉව අල්ලමින් සිටියි. ප්‍රබල ඉන්දීය පිතිකරණ ලැයිස්තුව එකා පිට එකා ඇද වැටී දැන් ඉතිරි වී ඇත්තේ අවසන් පිතිකරු යුගලය පමණි.

ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටිය තුළ පන්දු 44,038ක් යවා ඇති මුරලි ටෙස්ට් දිවියේ 44,039 වැනි පන්දුව යැවීම සඳහා සීමා ඉර වෙත සෙමින් පිය මනියි. පන්දුවට පහර දෙමින් සිටින්නේ අවසන් ඉන්දීය පිතිකරු ප්‍රග්යාන් ඕජා ය.  ඔහුගේ බැල්ම තියුණුය.. නොඉවසිලිමත් ය.. කෙසේ හෝ මුරලිට කඩුල්ල ලබා නොදෙමි යන අධිෂ්ඨානයෙන් ඔහු ක්‍රීඩා කරන බව පැහැදිලිය.

තම දිවිය පුරාවට ලක්ෂ වාරයකට වඩා සිදු කර ඇති පරිද්දෙන් වම් අතේ පන්දුව රඳවා ගත් මුරලි දකුණතින් එය කරකවමින් විනිසුරු පසුකර පැමිණ දෑස් විශාල කර පිතිකරු දෙස බලන අතරේ ඔහුටම ආවේණික ලෙස සුවිශේෂී අයුරින් පිහිටා තිබුණු දකුණු අතෙහි මැණික් කටුව කරකවා ඇඟිලි අතරින් පන්දුව ගුවනට මුදා හැරියේ ය.

මුරලිගේ සුරතින් නික්මී ගුවනට මුසු වූ පන්දුව “රූං” නාදයෙන් භ්‍රමණය වෙමින් පිට ඉන්නට ඉවතින් ගුඩ් ලෙන්ත් කලාපයේ පතිත වී පිතිකරුගේ පිත්තේ පිටත කෙළවරේ ගෑවීගෙන ස්ලිප් කලාපයේ පන්දු රකිමින් සිටි මහේල ජයවර්ධනගේ දෑතෙහි සුරක්ෂිතව තැන්පත් වූයේ මුළු ක්‍රීඩාංගණයම ඔල්වරසන් හඬින් පිරී ඉතිරී යන අතරේ ය.

බිඳ හෙළීමට තබා ආසන්නයට හෝ පැමිණීමට හැකි වෙතැයි කිසිවෙකුත් නොසිතන වාර්තාවක් වාර්තා පොත් අතර සටහන් කරමින් ටෙස්ට් කඩුලු 800ක් දවා ගත් ලොව පළමු මෙන්ම එකම පන්දු යවන්නා බවට මුරලි පත් වූයේ ඒ අයුරිනි. 

එලෙසින් තම ටෙස්ට් දිවියේ අටසිය වැනි කඩුල්ල වාර්තා කළ මුත්තයියා මුරලිදරන් නම් ඒ විශිෂ්ටයා එදින හැඟුම්බර ලෙස අවසන් වතාවට ගාලු ජාත්‍යන්තර පිටියේ හතරේ සීමාවෙන් ඉවතට පැමිණියේ තම කණ්ඩායම් සගයින්ගේ කර මතිනි.

බටහිර ලෝකයේ විචාරකයන්, විනිසුරුවන් මෙන්ම ඇතැම් ක්‍රීඩකයන් ද ඔහුගේ ක්‍රීඩා දිවිය දවා අළු කර දමන්නට උත්සාහ කළ ද ඔහු ඒ අළු මතින්  නැඟී සිටියේ එදා මෙදාතුර ක්‍රිකට් ඉතිහාසයේ පහළ වූ විශිෂ්ටතම පන්දු යවන්නා බවට පත්වෙමිනි.

මහා සාගරය දෝතට ගත නොහැකි වන සේම මුරලිදරන් වැනි දැවැන්තයෙකු ගැන ලිපියකින් ලියා නිමා කළ නොහැක. එම නිසා ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ ඇතැම් අවස්ථා ගැන පමණක් මෙහි සටහන් වනු ඇත.

මුරලි තම ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය ආරම්භ කළේ වයස අවුරුදු 20 දී ය. ඒ 1992 වසරේ අගෝස්තු මස 28 වැනිදා කෙත්තාරාම ක්‍රීඩාංගණයේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව යි. එහි දී ලකුණු 142කට කඩුලු 3ක් දවා ගත් ඔහුගේ මංගල ජාත්‍යන්තර කඩුල්ල වූයේ ක්‍රෙග් මැක්ඩමට් ය. 

එම තරගයේ ඕස්ට්‍රේලියා කණ්ඩායමේ නායකත්වය දැරූ ඇලන් බෝඩර් පසු කලෙක කියා තිබුණේ මුරලිගේ පන්දු යැවීමේ ඉරියව්ව දෙස බලා සිටින විට ඔහුට සිතුණේ මුරලි පා දඟපන්දු යවන්නෙකු බව කියා ය. නමුත් පන්දුව පතිත වූ පසුව ඉවතට කැපී යාම නිසා මුරලි පිට දඟපන්දු යවන්නෙකු බව හඳුනා ගත් නමුත් ඔහුගේ ඉරියව්වත්, පන්දුවේ සැබෑ දඟ කැවීමත් අතර වූ වෙනස නිසා තමන් බොහෝ සෙයින් අපහසුතාවයට පත් වූ බව ඔහු තවදුරටත් කියා තිබුණි. 

එයට හරියටම වසරකට පසු 1993 වසරේ අගෝස්තු මස 28 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව තම පළමු කඩුලු පහ වාර්තා කිරීමට මුරලි සමත් විය. හැන්සි ක්‍රොන්යේ, ජොන්ටි රෝඩ්ස්, කෙප්ලර් වෙස්ල්ස් වැනි ප්‍රබලයන් එවර මුරලිගේ කඩුලු දඩයමේ ගොදුරු බවට පත් විය. 

ඉන්පසුව 1995 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායමක් විදෙස් සංචාරයක දී වාර්තා කළ පළමු ටෙස්ට් තරග ජයග්‍රහණය වාර්තා කිරීම සඳහා තම දායකත්වය සැපයීමට මුරලිට හැකි විය. ඒ නවසීලන්ත කණ්ඩායමට එරෙහිව නේපියර් හී දී ලකුණු 64ට කඩුලු 5ක් දවා ගනිමින් ලකුණු 241ක වාර්තාගත ජයග්‍රහණයක් සටහන් කිරීමට අඩිතාලම සපයමිනි. එම තරගාවලිය 1-0ක් වශයෙන් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම විදෙස් රටක දී ටෙස්ට් තරගාවලි ජයක් ලබා ගත් පළමු අවස්ථාව ද එය ලෙස සටහන් වීම සුවිශේෂී සිදුවීමකි.

1995 වසරේ දෙසැම්බර් මාසයට යෙදී තිබුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියා සංචාරය මුරලිට මෙන්ම සමස්ත ශ්‍රී ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන් හට ද අමතක නොවන තරගාවලියකි. එසේම එය නීති පොත් අලුතින් ලියන්නට අඩිතාලම සැපයූ තරගාවලියක් බවට පත්විය.

දෙසැම්බර් මස 26 වැනිදා ඇරඹි බොක්සිං දිනයේ ටෙස්ට් තරගය අතරතුර දී ඩැරල් හෙයා විනිසුරුවා විසින් හත් වතාවක් මුරලිගේ පන්දු නිපන්දු ලෙස වාර්තා කරන ලදි. ඒ මුරලි පන්දුව දමා ගසන බවට චෝදනා එල්ල කරමිනි. ඒ වන විටත් ටෙස්ට් තරග 21ක් ක්‍රීඩා කර තිබූ මුරලිට කිසි දා එවැනි චෝදනාවක් එල්ල වී තිබුණේ නැත. එම තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 10කින් පරාජයට පත් වූ අතර තරගයෙන් පසුවත් ඕස්ට්‍රේලියානු මධ්‍ය විසින් දිගින් දිගටම මුරලි වෙත විවේචන එල්ල කරන්නට ගත්තේ ඔහුට යළිත් පන්දු යැවීමට ඉඩ නොදිය යුතුය යන්න ප්‍රකාශ කරමිනි.

මාධ්‍යවලින් මෙන්ම ඕස්ට්‍රේලියානු ප්‍රේක්ෂකයන්ගෙන් ද  එල්ල වූ දැඩි විවේචන හා දෝෂාරෝපණ මධ්‍යයේ බෙන්සන් ඇන්ඩ් හෙජස් කුසලානය වෙනුවෙන් තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායමට මුරලි ඇතුළත් වූයේ ශ්‍රි ලංකා නායක අර්ජුන රණතුංග හා කළමනාකාරිත්වය ගන්නා ලද තීරණයකට අනුවය. 

එහි දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති තරගය අතරතුර යළිත් වරක් පන්දුව දමා ගැසීමේ චෝදනාවට ලක්වීමට මුරලිට සිදු විය. මෙවර මුරලි යැවූ පන්දු නිපන්දු ලෙස වාර්තා කළේ රොස් එමර්සන් නම් විනිසුරුවා වෙනුවෙනි. 

බයිලා, ලී බඩු සහ කලූ

මොරටුව යන නම ඇසූ සැණින් සිහිපත් වන්නේ බයිලා ය. නැතිනම් ලී බඩු ය. එසේත් නැතිනම් ක්‍රිකට් ය…

එම තරගය අතරතුර චෝදනාවට ලක්වීමෙන් පසුව මුරලි විසින් පා දඟපන්දු කිහිපයක් යැවූ අතර එම පන්දු ද නිපන්දු ලෙස වාර්තා කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ මෙන්ම ජාත්‍යන්තර විචාරකයන්ගේ ද විමතියට තුඩු දෙන කාරණයක් බවට පත් විය.

පා දඟපන්දු යවන්නෙකුට පන්දුව දමා ගැසිය හැකිය යන්න විශ්වාස කිරීමට අපහසු බව විචාරකයන් ඉස්මතු කළ අතර කෙසේ හෝ තරගයෙන් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මඟින් මුරලිගේ පන්දු යැවීමේ ඉරියව්වේ සැක සහිත බව පිළිබඳව පරීක්ෂණයක් කිරීමට තීරණය කරන ලදි. ඒ අනුව පැවැත්වූ පරීක්ෂණයෙන් මුරලිගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි බවට තහවුරු වූ අතර එල්ල වූ අභියෝග හමුවේ නොසැලෙමින් ඔහු දිගින් දිගටම කඩුලු දඩයමේ නිරත විය. 

1997 වසරේ මාර්තු මස 16 වැනිදා නවසීලන්තයේ හැමිල්ටන් හී දී නවසීලන්තය සමඟ පැවති ටෙස්ට් තරගය අතරතුර දී ස්ටීවන් ෆ්ලෙමින්ගේ කඩුල්ල ලබා ගත් මුරලි තම සියවැනි ටෙස්ට් කඩුල්ල වාර්තා කිරීමට සමත් විය. ඒ ශ්‍රී ලාංකික පන්දු යවන්නෙකු කඩුලු 100ක් දවා ගත් පළමු අවස්ථාවයි.

1998 වසරේ ජනවාරි මස හත් වැනිදා මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේ දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 117කට කඩුලු 12ක් දවා ගත් මුරලි එහි දී පළමු වරට එක් තරගයක දී කඩුලු 10ක් වාර්තා කරන්නට සමත් විය. 

අනතුරුව 1998 වසරේ අගෝස්තු මාසයේ එංගලන්ත සංචාරය අතරතුර තම ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කළ ඔහු පිළිවෙළින් පළමු ඉනිමේ ලකුණු 155ට කඩුලු 7ක් සහ දෙවැනි ඉනිමේ ලකුණු 65ට කඩුලු 9ක් දවා ගැනීමට සමත් විය. එම තරඟයේ දී ම තම 200 වැනි ටෙස්ට් කඩුල්ල ලෙස බෙන් හොලියොක් දවා ගැනීමට මුරලි සමත් විය.

තම ක්‍රීඩා දිවියේ තීරණාත්මකම සංචාරයට මුරලි එළඹෙන්නේ 1999 වසරේ ජනවාරි මාසයේ දී ය. ඒ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියා සංචාරය වෙනුවෙනි. මෙවර ද විනිසුරු වශයෙන් පත්වීම ලබා තිබුණේ පෙර වතාවේ මුරලිට දමා ගැසීමේ චෝදනා එල්ල කළ රොස් එමර්සන් ම වීම නිසා ඔහු යළිත් වරක් මුරලිව අපහසුතාවයට පත් කරාවි යැයි යන බලාපොරොත්තුව ශ්‍රී ලංකා කළමණාකාරීත්වය සතුව තිබුණා විය හැකිය. 

කෙසේ නමුත් නායක අර්ජුන රණතුංග මුරලිගේ වගකීම තමා වෙත පවරා ගෙන මුරලිව තම කණ්ඩායමට අවශ්‍ය බවත්, එහි වගකීම තමන් දරන බවටත් ප්‍රකාශ කිරීම නිසා මුරලි ඕස්ට්‍රේලියා සංචාරය වෙනුවෙන් නම් කිරීමට තේරීම් කමිටුවත්, කළමනාකාරිත්වයත් තීරණය කරන ලදි.

බලාපොරොත්තු වූ අයුරින්ම මුරලි යැවූ එක් පන්දුවක් නිපන්දුවක් වශයෙන් සනිටුහන් කරන්නට රොස් එමර්සන් පියවර ගත් අතර ඒ සැණින් ක්‍රියාත්මක වූ නායක අර්ජුන වහාම විනිසුරු වෙත ගොස් ඒ පිළිබඳව විමසීමත් සමඟ තත්ත්වය වඩාත් උණුසුම් අතට හැරෙන්නට විය. 

අදහස් හුවමාරු කරගැනීම බහින්බස් වීමක් දක්වා දුරදිග ගිය අතර විනිසුරුගේ එම තීරණයට විරෝධය දැක්වීම සඳහා අර්ජුන තම ක්‍රීඩකයන් සමඟ පිටියෙන් ඉවත් වීමට තීරණය කරන ලදි. පසුව තරග තීරකවරයා සහ කළමණාකාරීත්වයන් එක්ව සාකච්ඡා කිරීමෙන් පසු යළිත් වරක් කණ්ඩායම පිටියට පැමිණියේ මිනිත්තු 14ක ප්‍රමාදයකින් අනතුරුවය. එදා අර්ජුන කෙනෙක් නොසිටින්නට මුත්තයියා මුරලිදරන් නම් පන්දු යවන්නා අපට අහිමි වීමට බොහෝ සෙයින් ඉඩ තිබුණි.

මුරලි භීතිකාව නැවතත් හිස ඔසවන්නේ ඔහුගේ දූස් රා පන්දුව කරළියට පැමිණීමත් සමඟය. මුරලි දූස්රාව ප්‍රගුණ කිරීමත් සමඟ ඔහුගේ අවි ගබඩාව වඩාත් පුළුල් වූ අතර ඒ නිසාම ලොව ප්‍රබලතම පිතිකරුවන් හා මුරලි අතරේ පිත්තත් පන්දුවත් අතර සිදු වූ සටන තව තවත් තියුණු විය. 

මුරලිට දූස්රාව මඟින් පිතිකරුවා රවටා ගැනීමේ හැකියාව වැඩි වූ අතර පන්දුව දඟ කැවෙන්නේ කුමන දිශාවට දැයි අනුමාන කරමින් ක්‍රීඩා කළ පිතිකරුවන්ට එමඟින් එල්ල වූයේ මරු පහරකි. යම් පිතිකරුවෙකුට මුරලිගේ අතින් පන්දුව ගිලිහෙන විට පන්දුව කුමක් දැයි හඳුනාගත නොහැකි වූවා නම් බොහෝ විට ඒ පිතිකරුවන්ගේ ඉනිම ඉතා කෙටි ඒවා බවට පත්වුනේ ඔවුන් මුරලිගේ පහසු දඩයම් බවට පත්වීම නිසාය.

ඉන්දියාව ඇඟිල්ලෙන් නැටවූ අජන්ත මෙන්ඩිස්ගේ අභිෂේක රැය

මාධ්‍ය සාකච්ඡාවල දී සාමාන්‍යයෙන් නිතරම සිනහවෙන් මුව සරසාගෙන සිටින මහේන්ද්‍ර සිං…

2000 වසරේ දෙසැම්බර මස 300 වැනි කඩුල්ලත්, 2002 වසරේ ජනවාරි මස 400 වැනි කඩුල්ලත් දවා ගත් මුරලි 2004 මාර්තු මාසයේ දී තමාට කෙනෙහිලිකම් කළ ඕස්ට්‍රේලියාවටම එරෙහිව මහනුවර දී පැවති දෙවන ටෙස්ට් තරගයේ දී සිය 500 වැනි කඩුල්ල දවා ගැනීමට සමත් විය. නමුත් නැවත වතාවක් මුරලිගේ ගමනට බාධා එල්ල කරමින් තරගාවලිය අවසානයේදී ඔහුගේ දූස්රා පන්දුවෙහි නීත්‍යානුකූලභාවය නිල වශයෙන් ප්‍රශ්න කරනු ලැබුවේ තරග තීරක ක්‍රිස් බ්‍රෝඩ් විසිනි

පසුව එම ප්‍රශ්න කිරීම වෙනුවෙන් පිළිතුරු ලබා දීමට මුරලි බටහිර ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයේ මානව චලන හා ව්‍යායාම විද්‍යා දෙපාර්තමේන්තුවේ දී පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධ පරීක්ෂණයකට මුහුණ දුනි. එහි දී මුරලිගේ පන්දු යැවීමේ හස්තයේ ත්‍රිමාන චාලක මිනුම් ලබා ගත් අතර එම පරීක්ෂණය අතරතුර ඒ සඳහා දෘශ්‍ය චලිත ග්‍රහණ පද්ධතියක් භාවිතා කරන ලදි. එසේ සිදු කළ පුළුල් පරීක්ෂණයකින් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මඟින් ඔහුව නැවත නිදහස් කරන ලදි. මේ කිසිවකින් නොසැලුණ මුරලි තමාට සුපුරුදු ලෙස දිගින් දිගටම කඩුළු දඩයමේ යෙදුණි.

2004 වසරේ මැයි මස 8 වැනිදා සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති තරගයේ දී කර්ට්නි වොල්ශ් විසින් පිහිටුවා තිබූ ටෙස්ට් කඩුලු 519 වාර්තාව බිඳ දැමීමට සමත් වූයේ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා බවට පත් වෙමිනි. ඉන්පසුව සුපිරි දඟපන්දු යවන ශේන් වෝන් සමඟ වැඩිම කඩුලු ලාභියා බවට පත් වීමට කරට කර තරගයකට නියැලුණ මුරලි, 2007 දෙසැම්බරයේ එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගයක් අතරතුර තම 709 වැනි ටෙස්ට් කඩුල්ල ලෙස පෝල් කොලින්වුඩ්ට දවා ගනිමින් ඒ වන විට ශේන් වෝන් පිහිටුවා තිබූ කඩුලු 708 හි වාර්තාව බිඳ දමා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නා බවට පත් වන්නට සමත් විය. ඒ තම උපන් ගම වන මහනුවර දී ය.

වසර 18ක කාලයක් පුරාවට විවිධ හැල හැප්පීම් මැද ගෙවී ගිය මුරලිගේ ටෙස්ට් දිවිය 2010 ජූලි මාසයේ දී නිමාවට පත්වන්නට නියමිතව තිබුණි. ඔහුගේ සමුගැනීම ගැන විමසූ මාධ්‍යවේදීන් හමුවේ මුරලි ප්‍රකාශ කළේ ඉන්දියාවට එරෙහිව ගාල්ලේ දී පැවති පළමු ටෙස්ට් තරගය ඔහුගේ අවසන් ටෙස්ට් තරගය වන බවයි. තම අවසාන ටෙස්ට් තරගයට පිවිසෙන විට මුරලි කඩුලු 792ක් දවාගෙන තිබුනි.

පහසුවෙන්ම තවත් තරග කිහිපයක් ක්‍රීඩා කර කඩුලු 800 සීමාවට පිවිසෙන්නට ඉඩ තිබුණ ද තමා වෙතම අභියෝගයක් එල්ල කර ගනිමින් අවසන් ටෙස්ට් තරගයේ ප්‍රබල ඉන්දීය පිතිකරණ බලඇණියට එරෙහිව කඩුලු 8ක් දවා ගැනීමේ අභියෝගය භාර ගැනීමට මුරලි තීරණය කළේ ඔහු සතුව පැවති ආත්ම විශ්වාසය මැනවින් විදහා දක්වමිනි. එම අවසන් ටෙස්ට් තරගය අවසානයේ දී සිදු වූයේ කුමක් දැයි ඉහත සඳහන් කර ඇත.

සමුගැනීමෙන් පසුව ලොව පුරා විවිධ පාර්ශවයන්ගෙන් මුරලි වෙත ආරාධනා ගලා එන්නට වුනේ ඔහුගේ දඟපන්දු ඥානය තම කණ්ඩායම් හා ක්‍රීඩකයන් වෙනුවෙන් ලබා දෙන ලෙස ඉල්ලීම් කරමිනි. කලක් තිස්සේ ඔහුව ප්‍රතික්ෂේප කළ ඕස්ට්‍රේලියානුවන් පවා මුරලි ඉදිරියේ දණින් නැවී ඔහුගේ සේවය ලබා ගන්නට ඔහු පසු පසින් පැමිණියේ ඔහුගේ විශිෂ්ටත්වය ලොවටම කියාපාමිනි.

මුරලිගේ අසාමාන්‍ය වැලමිට, අසාමාන්‍ය උරහිස, අසාමාන්‍ය මැණික් කටුව සේම ඔහු පිහිටුවා ඇති වාර්තා ද අසාමාන්‍ය ය. මුරලිගේ මුහුණේ තිබුණේ සදාකාලික සිනහවකි. ඔහු පන්දු යැවීමේ දී හා පිටියෙන් ඉවත්ව යන විට එය ඔහුගේ මුහුණේ ස්ථිරව පැවතුනි. ඔහුට එල්ල වූ නිර්දය විවේචන වලට පවා එම සිනහව ඔහුගේ මුහුණෙන් ඉවත් කිරීමට නොහැකි විය.

වසර 30කට වැඩි කාලයක් පුරාවට සිවිල් නොසන්සුන්තාවයෙන් හා ජනවාර්ගික බෙදීම්වලින් ඉරා දැමූ රටක් ලෝකය ඉදිරියේ නඟා සිටුවීම වෙනුවෙන් මෙම දඟපන්දු යවන්නා සටන් වැදුණි. 

ඒකීයව පැවති රටක් දමිළ – සිංහල ලෙස බෙදා වෙන් කරන්නට ඇතැම් කූට පිරිස් උත්සාහ කරන අවස්ථාවල දී ඒ සියල්ල පරදා සාමයත් එකමුතු බවත් නියෝජනය කරමින් ඔහු පන්දුවෙන් සටන් වැදුණි. අවාසනාවන්ත සුනාමි ඛේදවාචකයෙන් ශ්‍රී ලංකා වෙරළ තීරය විනාශ වූ විට, විනාශයට පත්වූවන් වෙනුවෙන් ඔහු සටන් වැදුණි. උතුරු නැගෙනහිර පළාත් වල අන්ත අසරණ දුගී දුප්පත් ක්‍රීඩකයන් වෙනුවෙන් ඔහු සටන් වැදුණි. ක්‍රිකට් පිටිය තුළ මෙන්ම ඉන් පිටත සටන් වලටත් මුරලි තම දායකත්වය සක්‍රීය ලෙස නිහඬවම ලබා දුනි.

මුරලි සුවිශේෂී පුද්ගලයෙකු වන්නේ ඔහු කඩුලු 800ක් දවා ගත් නිසාම නොවේ. ඔහු සුවිශේෂී වන්නේ එක් කලෙක දී තමාට කෙනෙහිලිකම් කළ ඕස්ට්‍රේලියානු මාධ්‍ය මෙන්ම ප්‍රේක්ෂකයන් ද තමාව දඟපන්දු යැවීමේ පුහුණුකරුවා ලෙස ඉල්ලා සිටින තත්ත්වයට පත්කර ඔවුන් දණින් වැට්ට වූ නිසාය.. මුරලි පුරාවෘතයක් වන්නේ එබැවිනි..

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<