ප්‍රධාන තුරුම්පුවක් නොමැතිව පාකිස්තානය ලෝක කුසලානයට

ICC Cricket World Cup 2023

3277

එළඹෙන එක්දින ලෝක කුසලානය වෙනුවෙන් සහභාගී වීමට නියමිත ක්‍රීඩකයින් පහළොස් දෙනෙකුගෙන් සමන්විත පාකිස්තාන සංචිතය අද (22) ප්‍රකාශයට පත් කළා.

නමුත් සිය දෙවැනි ලෝක ශූරතාව දිනා ගැනීමේ අරමුණින් නම් කළ මෙම සංචිතයට ඔවුන්ගේ ප්‍රබලතම වේගපන්දු තුරුම්පුවක් වන Naseem Shah ඇතුළත් වී නැහැ.

පසුගිය දා නිමා වූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර තරග වටයේ ඉන්දියාව සමඟ පැවැත්වුණු තරගය අතරතුර Naseem ආබාධයකට ලක් වූ අතර, මේ නිසා ඔහු වෙනුවට Hasan Ali ලෝක කුසලානය සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

මෙතෙක් ක්‍රීඩා කළ තරගවල දී 16.96ක විශිෂ්ට පන්දු යැවීමේ සාමාන්‍යයක් සහිතව එක්දින ජාත්‍යන්තර කඩුලු 32ක් දවා ගැනීමට සමත් වී ඇති Naseemගේ අහිමි වීම එළඹෙන ලෝක කුසලානයේ දී පාකිස්තානයට විශාල වශයෙන් බලපෑම් කරනු ඇත.

කෙසේ වෙතත් Haris Rauf, Shaheen Shah Afridi සහ Mohammad Wasim වැනි වේගවත් පන්දු යවන්නන් මෙම සංචිතය සමඟින් සුපුරුදු ලෙස ම රැඳී සිටිනවා.

මේ අතර නායක Babar Azamගේ සහයට Fakhar Zaman, Imam-ul-haq, Mohammed Rizwan, Iftikhar Ahmed සහ Salman Agha වැනි පළපුරුදු පිතිකරුවන් මෙන්ම Saud Shakeel යන යොවුන් පිතිකරුවා ද මෙවර ලෝක කුසලානය වෙනුවෙන් නම් කළ පාකිස්තාන සංචිතයට එක් වී තිබෙනවා.

එමෙන්ම ඔවුන්ගේ දඟපන්දුව ශක්තිමත් කිරීම වෙනුවෙන් Shadab Khan සහ Mohommed Nawaz දෙදෙනා සංචිතයට ඇතුළත් කර ඇති අතර, ඔවුන් දෙදෙනා ම පිතිකරුවන් ලෙස ද සාර්ථක ඉනිම් දියත් කිරීමේ ශක්‍යතාව සහිත අය වීම අමතර වාසියක් ලෙස සඳහන් කළ හැකි.

එමෙන්ම අවශ්‍ය වුව හොත් තවත් පා දඟපන්දු යවන්නකු ලෙස Usma Mir ද මෙම සංචිතයට එක් කර තිබීම විශේෂත්වයක්.

ලෝක කුසලානය වෙනුවෙන් නම් කළ පාකිස්තාන සංචිතය මෙසේයි; Babar Azam (නායක), Shadab Khan, Fakhar Zaman, Imam-ul-Haq, Abdullah Shafique, Mohammad Rizwan, Saud Shakeel, Iftikhar Ahmed, Salman Ali Agha, Mohammad Nawaz, Usama Mir, Haris Rauf, Hasan Ali, Shaheen Afridi, Mohammad Wasim

තරගාවලිය ආරම්භ වීමට පෙර පාකිස්තානය විසින් නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව සමඟ පුහුණු තරග දෙකක් ක්‍රීඩා කිරීමට නියමිත අතර, තරගාවලියේ ඔවුන් ක්‍රීඩා කරන පළමු තරගය ඔක්තෝබර් මස 06 වැනි දා නෙදර්ලන්තය සමඟ පැවැත්වීමට නියමිතයි.

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<