හංස ගීතය ගයන ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාවේ දේව්දාස්!

3478

ක්‍රිෂ්ණ කුමාර් කුවේට් රටේ ගුරුවරයෙකු ලෙස සේවය කරමින් සිටි අයෙක්. ඔහුගේ එකම සිහිනය වුනේ තමන්ගේ පුත්‍රයා ජාත්‍යන්තර මට්ටමෙන් ක්‍රිකට් ක්‍රීඩා කරනවා දැකීම.

ක්‍රිෂ්ණ කුමාර් ඉන්දියානු ජාතිකයෙක්. එමෙන්ම ඔහු තමා උපන් චෙන්නායි නුවර දී ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදුණ අයෙක්. පවුලේ වැඩිහිටියන්ගේ බලපෑම නිසා තමන් දැඩි ලෙස ආදරය කළ ක්‍රිකට් ක්‍රීඩාව අතහැර අධ්‍යාපනයට මුල් තැන දෙන්නට ඔහුට සිදු වුනා. නමුත් සිය පුත්‍රයාට තමාට අත්වූ ඉරණමම අත්වෙනවා දකින්නට ඔහුට උවමනා වුනේ නැහැ.

කුවේට් රටේ සිට සිය පුත්‍රයාගේ ක්‍රිකට් සිහිනය සැබෑවක් කරගැනීමට හැකියාවක් නොමැති බව ක්‍රිෂ්ණ කුමාර් හොඳින්ම දැනගෙන හිටියා.

ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න නම් ක්‍රිකට් ක්‍රීඩාව යහමින් සිදු කෙරෙන රටකට යන්න උවමනා බව ඔහු  අවබෝධ කරගෙන හිටියේ. ක්‍රිෂ්ණ කුමාර් ඒ වෙනුවෙන් තෝරගන්නේ තමන්ගේ මව්රට. ඒ කියන්නේ ඉන්දියාව.

තමන්ගේ දොළොස් හැවිරිදි කුඩා පුත්‍රයා රැගෙන ඔහු 90 දශකයේ අග දවසක ඉන්දියාවේ චෙන්නායි නුවරට එන්නේ විශාල බලාපොරොත්තු ඇතිව.

ඒ ආකාරයෙන් ඉන්දියාවට ආපු ක්‍රිෂ්ණ කුමාර්ට කිසිම අදහසක් තිබුණේ නැහැ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යෑමට නම් තමන්ගේ පුත්‍රයාව යොමු කළ යුත්තේ කුමන පාසලට ද, යැවිය යුත්තේ කුමන පුහුණුකරුවා ළඟට ද කියලා.

ඔහු තමන්ගේ පුත්‍රයාව අරන් යනවා චෙන්නායි නගරයේ ක්‍රීඩා පිටි ගණනාවකට. එහෙම අරන් ගිහින් ඔහු වෙත පන්දු විසි කරමින් පන්දුවට පහර දෙන්න සලස්වනවා. ක්‍රිෂ්ණ කුමාර්ගේ මූලික අරමුණ වුනේ ක්‍රිකට් පුහුණුකරුවෙකුගේ ඇස තමාගේ පුත්‍රයා වෙත යොමු කර ගැනීම සහ එමගින් මාවතක් විවර කර ගැනීම.

එය ක්‍රිෂ්ණ කුමාර් හිතාගෙන හිටපු තරම් පහසු වුනේ නැහැ. කොයිතරම් හොඳින් පන්දුවට පහර දුන්නත් සති ගානක් යනකල් කිසිම කෙනෙකුගේ අවධානය තමන් වෙත යොමු කරගන්න ක්‍රිෂ්ණ කුමාර්ට සහ ඔහුගේ පුත්‍රයාට හැකි වුනේ නැහැ. නමුත් එක්තරා දවසක සුරේෂ් කුමාර් නම් ක්‍රිකට් පුහුණුකරුවාගේ අවධානය දිනා ගන්න මේ දෙදෙනා සමත් වෙනවා.

සුරේෂ් කුමාර්ගේ මග පෙන්වීම යටතේ සිය පුත්‍රයා ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙන චෙන්නායි නුවර පාසලකට ඇතුළත් කිරීමට ක්‍රිෂ්ණ කුමාර් සමත් වෙනවා.

දිනේෂ් කාර්තික් නම් දොළොස් හැවිරිදි දරුවාගේ ක්‍රිකට් මූලාරම්භය සැකසෙන්නේ ඒ ආකාරයෙන්.

නව පාසලට ඇතුළත් කළ වහාම, ගමන් පහසුව සඳහා චෙන්නායි නුවර වාසය කළ තමන්ගේ නෑනාගේ නිවසේ සිය පුත්‍රයා නැවැත්වීමට ක්‍රිෂ්ණ කුමාර්ට සිදු වුනා.

එය දිනේෂ් කාර්තික් නම් කුඩා දරුවාගේ ජීවිතයේ නව ආරම්භයක් වුනා. නව පාසලක්. දෙමාපියන්ගෙන් වෙන්වී ගත කරන අලුත් ජීවිතයක්.

අවාසනාවකට පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස ඔහු ක්‍රීඩා කළ පළමු තරග වාර කිහිපය තුල දක්ෂතා අතර රැඳෙන්නට කුඩා කාර්තික් සමත් වුනේ නැහැ.

සිය පුත්‍රයාගේ දස්කම් හීන වීමට හේතුව කුමක්ද කියා කුවේට් රටේ සිටින ක්‍රිෂ්ණ කුමාර් හොඳින්ම දැන සිටියා. තමාගේ නෑනා ක්‍රීඩාවට වැඩියෙන් අධ්‍යාපනය දෙසට කුඩා කාර්තික් යොමු කරවන බව තේරුම් ගන්නට ඔහුට එතරම් අපහසු වුනේ නෑ.

තමා දිගටම කුවේට් රටේ රැඳෙන්නටත් සිය බිරිඳ චෙන්නායි නුවරට එවන්නටත් ක්‍රිෂ්ණ කුමාර් තීරණය කරන්නේ ඒ අවස්ථාවේ දී.

කුවේට් රටේ සිට කාර්තික්ගේ මව නැවත ඉන්දියාවට පැමිණියේ ඔහු තම ක්‍රීඩා අනාගතය පිළිබඳව විශාල අවිනිශ්චිත බවකින් සිටි කාල සීමාවක. ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩාව නවත්වන්නට පවා අදහස් කරගෙන සිටි සමයක.

කොහොම වුනත් තමන්ගේ මවගේ ආදරය සහ රැකවරණය ලැබීමත් සමග කාර්තික්ගේ සැබෑ දක්ෂතා ඉස්මතු වුනා. ඉන්දියාව තුළ සිටින දක්ෂතම යොවුන් ක්‍රිකට් තරුවක් බවට පත් වීමට ඔහුට වැඩි කාලයක් ගත වුනේ නැහැ.

පාසල් ක්‍රිකට් පිටියේ කාර්තික් දැක්වූ දස්කම්වල උච්චතම අවස්ථාවක් වුනේ 2004 වසරේ බංග්ලාදේශයේ පැවති යොවුන් ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියානු කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩකයා බවට පත්වීම.

වැඩිකල් නොයාම ඉන්දියානු ජාතික කණ්ඩායමේ දොරටු විවර කර ගන්නත් කාර්තික් සමත් වුනා. ඒ වෙද්දී ඔහුගේ වයස අවුරුදු 19ක්. කලක් තිස්සේ ඉන්දියානුවන් බලාපොරොත්තුව සිටි කඩුලු රකින පිතිකරුවාගේ කාර්‍යභාරය ඔහු අතින් සම්පූර්ණ වේ යැයි ඉන්දියානු ක්‍රිකට් බලධාරීන් විශ්වාස කළා.

කාර්තික්ගේ අවාසනාවකට එය ඒ ආකරයෙන්ම ඉටු වුනේ නෑ. වඩාත් ප්‍රවේගකාරී මහේන්ද්‍ර සිං දෝනි කණ්ඩායමට පැමිණ ස්ථාවර වීමත් සමඟම කාර්තික්ගේ ජාතික කණ්ඩායමේ සේවය තරමක් අවිනිශ්චිත තැනකට පැමිණ තිබුණේ.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සිය පැවැත්ම තව දුරටත් දීර්ඝ කර ගැනීම සඳහා නව වගකීමක් භාර ගැනීමට ඔහුට සිදු වුනා. දිනේෂ් කාර්තික් නම් ටෙස්ට් ආරම්භක පිතිකරුවා බිහි වන්නේ ඒ අවශ්‍යතාව අනුව. විශේෂඥ පිතිකරුවන් සඳහා වෙන් වූ පිතිකරණ ස්ථානයක වැඩි කලක් සාර්ථක වීම ඔහුට අපහසු වුනා. ඒ අනුව 2007 වසරේ අග භාගයේ දී ඔහුට ටෙස්ට් කණ්ඩායමේ ස්ථානයත් අහිමි වුනා.

ඉන්පසු එළඹි අවුරුදු කිහිපයක සමය ක්‍රිකට් ක්‍රීඩාව පැත්තෙන් කාර්තික්ට එතරම් යහපත් සමයක් වුනේ නෑ. කණ්ඩායම එමින් සහ නැවත එළියට විසි වෙමින් ගත කළ මේ කාලය ඔහුගේ පෞද්ගලික ජීවිතය පැත්තෙන් පවා යහපත් එකක් වුනේ නැහැ.

සිය පළමු විවාහය අසාර්ථක වීමත් සමඟ කාර්තික් බීමතට ඇබ්බැහි වූ බවක් බොහෝ ඉන්දියානු ජනමාධ්‍යවල පළ වුනා.

2013 වසරේ ඉන්දියානු ස්කොෂ් ක්‍රීඩිකවක් වන දීපිකා පල්ලිකාර් මුණ ගැසීම කාර්තික්ගේ ක්‍රීඩා ජීවිතයේ මෙන්ම පෞද්ගලික ජීවිතයෙත් හැරවුම් ලක්ෂ්‍යයක් වුනා  . ඔවුන් දෙදෙනා 2015 වසරේ විවාහ වුනා.

මහේන්ද්‍ර සිං දෝනි ඉන්දියානු නායකත්වයට පත්වීම සහ කඩුලු රකින්නෙකු ලෙස ඔහු පෑ දස්කම් නිසා ඉඳහිට ඉන්දියානු කණ්ඩායම නියෝජනය කිරීම හැරෙන්නට කාර්තික්ට වෙනත් විකල්පයක් මේ සමයේ තිබුණේ නැහැ.

2017-18 තරග සමය ඇරඹෙන සමයේ කාර්තික් තමන්ගේ ක්‍රිකට් දිවියට නව ප්‍රවිශ්ටයක් ලබා ගන්නවා. ඒ සීමිත පන්දුවාර තරගවල දී ඔහුට අනාගතයක් ඇත්තේ ඉනිම අවසන් කිරීමේ කටයුත්ත තුළ බව තේරුම් ගැනීමෙන් අනතුරුව. නමුත් එය කිසිසේත්ම ලෙහෙසි පහසු කටයුත්තක් වුනේ නැහැ.

මේ කාලයේ දී කාර්තික් හිටපු ඉන්දීය ක්‍රීඩක ප්‍රවීන් අම්රේ පෞද්ගලික පිතිකරණ පුහුණුකරුවා ලෙස තෝරාගන්නවා. නමුත් ඒ වෑයම සම්පූර්ණයෙන්ම අසාර්ථක වුනා.

කාර්තික්ගේ වාසනාවකට ඔහුට ඊළඟට මුණගැහෙන්නේ අභිෂේක් නායර්. නායර් එක්දින තරග තුනකට ඉන්දියානු ජාතික කණ්ඩායම නියෝජනය කර ඇති ක්‍රීඩකයෙක්. එමෙන්ම මුම්බායි කණ්ඩායම නියෝජනය කළ ඇත්තෙක්.

කාර්තික් ගේ ක්‍රීඩා ජීවිතය සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු කරන්නේ නායර් විසින්. නායර් ලබා දුන් ඉතා දුෂ්කර ශරීර යෝග්‍යතා ව්‍යායාම මාලාව මෙන්ම ඉනිම අවසන් කරන්නෙකු ලෙස කළ යුතු කාර්‍යභාරය මැනවින් අවබෝධ කර දීම කාර්තික් ගේ ක්‍රිකට් ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කළා.

2018 වසරේ ශ්‍රී ලංකාවේ පැවති නිදහස් කුසලාන තරගාවලියේ දී මෙන්ම ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ද ඉනිම අවසන් කරන්නෙකු ලෙස උසස් දස්කම් දැක්වීමට කාර්තික් සමත් වුනා. මේ දස්කම් මාලාව නිසාම 2019 එංගලන්තයේ පැවති ලෝක කුසලාන තරගාවලියේ ඉන්දීය සංචිතයටත් ඔහු ඇතුළත් වුනා  .

2019 ලෝක කුසලානය අවසානයේ මහේන්ද්‍ර සිං දෝනි සමුගැනීමත් සමඟ ඉන්දියානු ක්‍රිකට් බලධාරීන් වැඩි වශයෙන් උත්සහ කළේ රිශාබ් පාන්ත්, ඉෂන් කිෂන් සහ සංජු සැම්සන් යන තරුණ කඩුලු රකින ක්‍රීඩකයින්ට වැඩි අවධානයක් ලබා දෙන්න.

මේ අතරවාරයේ කාර්තික් අලුත් ගමනක් ආරම්භ කළා. ඒ විස්තර විචාරකයෙකු ලෙස. ඉතා පැහැදිලි ආරකින් සහ ව්‍යක්ත ආකාරයෙන් ඔහු කළ විස්තර විචාරයන් ලොව පුරා ක්‍රිකට් ලෝලීන් ආදරයෙන් වැලඳගත්තා. විශේෂයෙන්ම මේ විස්තර විචාරයන් අතරතුර ඔහුගේ ඇඳුම් විලාසිතා ඉදිරියෙන්ම කැපී පෙනුණා. බොහෝ දෙනෙකු සිතුවේ මේ අලුත් ගමන කාර්තික්ගේ ක්‍රිකට් ගමනේ අවසානය වනු ඇතැයි කියා.

නමුත් නැවත ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ඉනිම අවසන් කරන්නා ලෙස කාර්තික් දැක්වූ උසස් දස්කම් මාලාව නිසා මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයට ආ ඉන්දියානු කණ්ඩායමේ සංචිතයට තේරෙන්නට ඔහු සමත් වුනා.

මෙය බොහෝ විට දිනේෂ් කාර්තික් නම් ක්‍රිකට් ක්‍රීඩකයාගේ ක්‍රීඩා දිවියේ අවසානය වනු ඇති බවට ක්‍රිකට් රසිකයින් පමණක් නොව ඔහුගේම පවුලේ සාමාජිකයින් පවා විශ්වාස කරනවා. නමුත් දැඩි සටන්කාමියෙකු වන කාර්තික්ගේ ඉරණම ලියවී ඇත්තේ ඔහු අතේම බව ඔහුගේ ක්‍රිකට් දිවිය දෙස බැලීමේ දී පැහැදිලිව කියන්න පුළුවන් කාරණාවක්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<