මහානාම හා සාන්ත සෙබස්තියන් පළමු ඉණිම ජයගනී

306
Singer Schools U19 Cricket November 26th Roundup

සිංගර් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරඟ දෙකක් ඊයේ (25) ආරම්භ වූ අතර එම තරඟ දෙකේ දෙවන හා අවසන් දිනය අද (26) ක්‍රියාත්මක විය. මෙම තරඟ වලින් කොළඹ මහානාම විද්‍යාලය හා මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමු ඉණිමක ජයග්‍රහණ ලබා ගැනීමට සමත් විය.

පසුගිය ලිපි: මලිඳුගේ ශතකය මහානාමය තියුණු තැනකට ගෙනයයි

කොළඹ රාජකීය විද්‍යාලය හා කොළඹ මහානාම විද්‍යාලය අතර තරඟය

B කාණ්ඩයේ තරඟයක් ලෙස මෙම තරඟය ඊයේ (25) රාජකීය විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී ආරම්භ වූ අතර කාසියේ වාසිය ජයග්‍රහණය කල මහානාම විද්‍යාලය පළමුව පිතිකරණය සඳහා අවස්ථාව ලබා ගන්නා ලදි.

කඩුලු 8ක් දැවී ලකුණු 361 ක් ලබා සිටියදී අද දිනය ආරම්භ කල මහානාම විද්‍යාලය විසින් ඔවුන්ගේ ඉණිමට තවත් ලකුණු 37ක් එක් වූ සැණින් පළමු ඉණිමේ අවසානය සනිටුහන් කිරීමට රාජකීය පන්දු යවන්නන් සමත් විය. මෙහිදී මහානාම විද්‍යාලය වෙනුවෙන් මලිඳු මදුරංගගේ ශතකයට නොදෙවිනි ශතකයක් ලබා ගැනීමට හේශාන් හෙට්ටිආරච්චි සමත් වූ අතර ඔහු ලකුණු 102ක් ලබා ගන්නා ලදි.

මහානාම විද්‍යාලය පළමු ඉණිම – 398/10 (89): මලිඳු මදුරංග 115, හේශාන් හෙට්ටිආරච්චි 102, කවිදු මුණසිංහ 53, ගනිත් සංදීප 3/51, අභිෂේක් පෙරේරා 2/41

අනතුරුව රාජකීයයෝ තම පළමු ඉණිම දියත් කල අතර එයින් ඔවුන්ට සාර්ථක ප්‍රතිඵල ලඟා කර ගැනීමට නොහැකි ලෙස මහානාම කණ්ඩායම දක්ෂ පන්දු යැවීමක හා දක්ෂ පන්දු රැකීමක නිරත විය. එහිදී රාජකීය විද්‍යාලය වෙනුවෙන් රොනුක ජයවර්ධන ලකුණු 95ක් ලබා ගත් අතර, හේලිත විතානගේ ලකුණු 43ක් ලබා ගනිමින් රාජකීය පළමු ඉණිම සවිමත් කරන ලදි. නමුදු හශාන් සංදීප ඇතුළු මහානාම පන්දු යවන්නන් තම කාර්යය නිසි ලෙස ඉටුකළ නිසා රාජකීය විද්‍යාලයට සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 233ක් පමණි.

රාජකීය විද්‍යාලය පළමු ඉණිම – 233/10 (73.2): රොනුක ජයවර්ධන 95, හේලිත විතානගේ 43, හෂාන් සංදීප 3/65, විහාන් මුදලිගේ 2/37

මහානාම විද්‍යාලයේ පළමු ඉණිමට වඩා සෑහීමකට පත්විය හැකි ලකුණක් රාජකීය කණ්ඩායම තම පළමු ඉණිමට ලබා ගැනීමට අපොහොසත් වූ නිසා ඔවුන් ලකුණු 165ක අවාසියක් ද ඇතිව තම දෙවන ඉණිම යළිත් ආරම්භ කරන ලදි. දිනය අවසන් වන විට ගයාන් දිසානායක නොදැවී  ලකුණු 24*ක් ලබා ගන්නට සමත් විය.

රාජකීය විද්‍යාලය දෙවන ඉණිම (f/o)- 45/03 (11): ගයාන් දිසානායක 24*, හශාන් සංදීප 3/13


වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය හා මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර තරඟය

A කාණ්ඩයේ තරඟයක් ලෙස ඊයේ (25) වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමුව පන්දුවට පහරදීමට තීරණය කරන ලදි.

පළමු දිනය අවසානයේ දී කඩුලු 4ක් දැවී ලකුණු 72ක් ලබා ගන්නට සාන්ත අන්තෝනි විද්‍යාලය සමත් විය. එම ඉණිම අද දිනය තුල ලකුණු 150 සීමාව තුල අවසන් වූ අතර පළමු ඉණිම වෙනුවෙන් එරංග මදුෂාන් ලකුණු 32ක් ලබා ගන්නා ලදි. පන්දුවෙන් දස්කම් දැක්වූ තරුශ ප්‍රනාන්දු කඩුලු 4ක් සාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් දවාගන්නා ලදි.

සාන්ත අන්තෝනි විද්‍යාලය පළමු ඉණිම – 150/10 (65): එරංග මදුෂාන් 32, ශානක මදුෂාන් 25,  තරුශ ප්‍රනාන්දු  4/30, නිමේෂ් බණ්ඩාර 2/35

ලකුණු 45ක වාසියක් ද ඇතිව තම දෙවන ඉණිම ඇරඹූ සාන්ත සෙබස්තියන් විද්‍යාලය තරගයේ අවසන් දිනය නිමා වන විට කඩුලු 7ක් දැවී ලකුණු 318ක් වාර්තා කරන්නට සමත් විය. එහිදී නිමේෂ් බණ්ඩාර ලකුණු 132ක් ලබාගනිමින් දස්කම් දැක්වූ අතර, තරුෂ ප්‍රනාන්දු පන්දුවෙන් මෙන්ම පිතිකරණයෙන්ද ලකුණු 72ක් ලබා ගනිමින් තම තුන් ඉරියව් දස්කම් විදහා දක්වන ලදි. කවිදු හෙට්ටිආරච්චි සාන්ත අන්තෝනි විද්‍යාලය වෙනුවෙන් කඩුලු 3ක් දවා ගන්නට සමත් විය.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය දෙවන ඉණිම – 318/07 (50.5): නිමේෂ් බණ්ඩාර 132, තරුෂ ප්‍රනාන්දු 74, ද දයිසර් 51, කවිදු හෙට්ටිආරච්චි 3/72

තරගයේ සාරාංශය,

සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමු ඉණිම – 195/10 (56): තශික පෙරේරා 49, දුලාජ් සිල්වා 44, තරුෂ ප්‍රනාන්දු 37, කවීෂ දුලංජන 4/54, කවිදු හෙට්ටිආරච්චි 4/64

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට