තෙවැනි කාණ්ඩයේ මීගමු වීරයෝ “ලොයොලා”

වයස අවුරුදු 19න් පහළ සීමිත පන්දුවාර පාසල් ක්‍රිකට් තරගාවලිය 2022/23

507

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ තෙවැනි කාණ්ඩයේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මීගමුව, කොච්චිකඩේ ලොයොලා විද්‍යාලය සමත් වුනා.

ලොයොලා විද්‍යාලය, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන තරගාවලියක ශූරතාව දිනා ගත්තේ වසර 14කට පසුව වීම විශේෂත්වයක්. ඔවුන් පසුගිය වසරේ ද අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට සමත් වුනත්, ඉන් ඉදිරියට යෑමට ඔවුන්ගේ දක්ෂතා ප්‍රමාණවත් වූයේ නැහැ.

ලොයොලා විද්‍යාලයේ ජයග්‍රාහී ගමන් මඟ
ප්‍රතිවාදීන් විසඳුම
1 වික්‍රමශීලා ජාතික පාසල, ගිරිඋල්ල ලොයොලා විද්‍යාලයට ලකුණු 62ක ජයක්.
2 සාන්ත තෝමස් විද්‍යාලය, කෝට්ටේ සාන්ත තෝමස් විද්‍යාලයට කඩුලු 2ක ජයක්.
3 මධ්‍ය මහා විද්‍යාලය, බණ්ඩාරවෙල ලොයොලා විද්‍යාලයට ලකුණු 34ක ජයක්.
4 ලයිසියම් ජාත්‍යන්තර පාසල, පානදුර ලොයොලා විද්‍යාලයට කඩුලු 7ක ජයක්.
5 විද්‍යාලෝක විද්‍යාලය, ගාල්ල ලොයොලා විද්‍යාලයට ලකුණු 62ක ජයක්.
පෙර අර්ධ අවසන් පූර්ව වටය
6 රාජසිංහ විද්‍යාලය, හංවැල්ල පැරබෝලා ක්‍රමයට අනුව ලොයෙලා විද්‍යාලයට ජයක්.
අර්ධ අවසන් පූර්ව වටය
7 හරස්චන්ද්‍ර විද්‍යාලය, මීගමුව ලොයොලා විද්‍යාලයට කඩුලු 7ක ජයක්.
අවසන් පූර්ව වටය
8 මහා විද්‍යාලය, යාපනය වර්ෂාව හේතුවෙන් තරගය අතර මග නතර කෙරුණි.
අවසාන මහා තරගය
9 විද්‍යාලෝක විද්‍යාලය, ගාල්ල ලොයොලා විද්‍යාලයට කඩුලු 4ක ජයක්.

ලොයොලා විද්‍යාලයීය ජයග්‍රාහී ගමනේ දී ඔවුන් දෙවැනි වටයට සුදුසුකම් ලබා ගන්නේ පළමු වටයේ දී කාණ්ඩ ශූරයන් වෙමින් වීම විශේෂත්වයක්.

ඉන්පසු ගමනේ දී යාපනය මහා විද්‍යාලය සමග පැවැති තීරණාත්මක අවසන් පූර්ව තරගයට වර්ෂාවෙන් බාධා පැමිණ වීම ඔවුන් කිසිවෙක් නොසිතූ දෙයක්. නමුත් තරගාවලියේ නීති-රීති අනුව ලැබූ ප්‍රසාද ලකුණු මත ඔවුන් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබනවා.

එම තරගයේ ප්‍රතිවාදීන් වෙන්නේ පළමු වටයේ දී ඔවුන් වෙතින් ලකුණු 62කින් පරාජය වූ ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයයි.

ලොයොලා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ සංචිතය: ස්ටෙෆාන් ප්‍රනාන්දුපුල්ලේ (නායක) දිමුතු සශිමල්, කවිදු කෞෂල්‍ය, බ්‍රෙන්ඩින් ප්‍රනාන්දු, කවීන් නෙතුශ, ප්‍රමෝද් සංජන, ශෆ්නි ඩීන්, නදීශ ආකාශ්, සාලිය කාව්‍ය, නිමේෂ් නිශ්ශංක, ආකාශ් රාජකරුණා, පහන් ප්‍රනාන්දු, සවිඳු නෙත්සර, මලීශ මල්ලවාරච්චි, අශේන් ප්‍රනාන්දු.

නිලධාරීන්; කෙනඩි පෙරේරා පියතුමා (විදුහල්පති), මධුරංග දිසානායක (ක්‍රිකට් භාර ආචාර්ය), නිමන්ත පීරිස් (ප්‍රධාන පුහුණුකරු)

කොළඹ ආනන්ද මහා විද්‍යාලයීය පිටියේ දී පැවති එම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් විද්‍යාලෝක විද්‍යාලයීය ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 194ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ලෙසින් ලොයොලා විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගයේ තවත් පන්දු 15ක් සහ කඩුලු 4ක් ඉතිරිව තිබිය දී ලකුණු 198ක් ලබා ගත්තා.

එම ඉනිමේ දී ශෆ්නී ඩීන් පන්දු 134කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් නොදැවී ලකුණු 81ක් ලබා ගනිමින් තරග ජයග්‍රහණය කරා රැගෙන ගියා.

අවසන් මහා තරගයේ කෙටි ලකුණු පුවරුව

  • විද්‍යාලෝක විද්‍යාලය: කඩුලු 9ක් දැවී 194 (50) පසන් මධුශංක 31, නිමේෂ් අවිඳු 30, ලිඳුල නුවංග 31, පසිඳු සංකල්ප නොදැවී 21, සදිල් සෙනුද නොදැවී 26, සවිඳු නෙත්සර 3/29, ආලෝක නිමේෂ් 2/26
  • ලොයොලා විද්‍යාලය: කඩුලු 6ක් දැවී 198 (47.3) කවිඳු අමරසිංහ 26, ශෆ්නි ඩීන් නොදැවී 81, ස්ටෙෆාන් ප්‍රනාන්දුපුල්ලේ 25, පසිඳු සංකල්ප 3/60

ලොයොලා විද්‍යාලයට කඩුලු 4ක ජයග්‍රහණයක්.

ජයග්‍රහණය කරා ගිය ලොයොලා විද්‍යාලයීය ක්‍රීඩකයන් අතරින් කැපී පෙනෙන මෙහෙවරක නිරත වූයේ නායක ස්ටෙෆාන් ප්‍රනාන්දුපුල්ලේ. ඔහු ලකුණු 446ක් ලබා ගනිමින් තරගාවලිය පුරා ලකුණු අතර සිටිමින් තම කණ්ඩායමට ජයග්‍රහණය කරා ද මෙහෙයවූවා.

පිතිකරු ලැයිස්තුවේ දෙවැනි අසුන අවසන් මහා තරගයේ ද අර්ධ ශතකයක් වාර්තා කළ ශෆ්නි ඩීන් හිමි කර ගත්තා. ඔහු ලබා ගත් ලකුණු සංඛ්‍යාව 300ක්. ඊට අමතරව නදීශ රාජකරුණා ලකුණු 265ක් ද,  කවිඳු කෞෂල්‍ය ලකුණු 235ක් සහ ප්‍රමෝද් සංජන ලකුණු 200ක් ද ලබා ගනිමින් තම කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් උර දුන්නා.

පන්දු යවන්නන් අතරින් ආලෝක නිමේෂ් සහ කවිඳු අමරසිංහ කැපී පෙණෙන දක්ෂතා දැක් වූවා. ඔවුන් කඩුලු 17 බැගින් ලබා ගනිමින් වැඩිම කඩුලු ලැබූ පන්දු යවන්නන් අතුරින් සම අසුන් හිමිකර ගත්තා.

ඊට අමතරව බ්‍රෙන්ඩන් ප්‍රනාන්දු කඩුලු 15ක් ද සහ සවිඳු නෙත්සර කඩුලු 10ක් ද ලබා ගනිමින් ලොයොලා විද්‍යාලයීය ජයග්‍රහණයට දායකත්වය දැක්වූවා.

වයස අවුරුදු 19න් පහළ තෙවැනි කොටසේ ක්‍රිකට් ශූරතාව දිනා ගත් මීගමුව, කොච්චිකඩේ ලොයොලා විද්‍යාලයට ThePapare.com හී සුබ පැතුම්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<