ක්‍රිකට් ගමට ගෙනියන්න සිදත්ට සහ අරවින්දට ආරාධනා

1478

හිටපු ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයින් වන අරවින්ද ද සිල්වාට සහ සිදත් වෙත්තමුණිට ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවලට ක්‍රිකට් ව්‍යාප්ත කිරීම සඳහා එක් වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ආරාධනා ලැබී තිබෙනවා. 

ලංකාවේ ඈත ගම්මාන වෙත ක්‍රිකට් ක්‍රීඩාව ව්‍යාප්ත කිරීම සඳහා නුදුරේ දී ම පිහිටුවීමට නියමිත කමිටුවකට නායකත්වය ලබා දෙන මෙන් මෙම දෙදෙනාට ආරාධනා ලැබී ඇති අතර එය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ස්වාධීන වූ කමිටුවක් වනු ඇති බවයි වාර්තා වන්නේ. 

මෙම ව්‍යාපෘතිය සඳහා මෙවර අයවැයෙන් රුපියල් බිලියන 1.5ක මුදලක් වෙන් කර ඇති අතර ලබන වසරේ දී එය රුපියල් බිලියන 2ක් දක්වා ඉහළ නැංවෙනු ඇතැයි ද අපේක්ෂා කරනවා. 

මෙහි දී මෙම මුදල් යෙදවිය යුතු පලාත් ලෙස උතුරු මැද, නැගෙනහිර සහ ඌව පලාත් හඳුනාගෙන ඇති අතර, මෙම ව්‍යාපෘතිය යටතේ මෙම ප්‍රදේශවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, උපකරණ සැපයීම සහ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා පාසල් දිරිමත් කිරීම යන අංශ අධීක්ෂණය කිරීමේ වගකීම් මෙම කමිටුවට පැවරෙනු ඇති. මේ අතර මෙම ප්‍රදේශවල ක්‍රිකට් ක්‍රීඩාංගණ ඉදිකිරීමේ කටයුතු ත්‍රිවිධ හමුදාවට පැවරෙනු ඇති. 

එමෙන්ම කාන්තා ක්‍රිකට් වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කිරීමට මෙන්ම ලංකාව පුරා සම මට්ටමකින් ක්‍රිකට් ක්‍රීඩාව ව්‍යාප්ත කිරීමේ අභිලාෂයක් ද තමන් සතු බවයි ජනපති විසින් පවසා තිබෙන්නේ. 

පසුගිය සෙනසුරාදා (09) කෝල්ට්ස් ක්‍රිකට් සමාජයේ 150 සංවත්සරය සැමරීම වෙනුවෙන් පැවැත්වුණු උත්සවයක දී ක්‍රිකට් පිළිබඳ සිය අදහස් එසේ පැවසූ ජනපති විසින් විශේෂයෙන්ම අවධාරණය කර තිබුණේ ක්‍රීඩාව දේශපාලන මැදිහත් වීම්වලින් තොරව දියුණුවට පත් විය යුතු බවයි. 

දිනෙන් දින උණුසුම් වන දේශීය ක්‍රිකට් පිටියේ නැවුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

The Island ඇසුරිනි. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<