මැච් දිනවන චන්දන

424

සංඛ්‍යා දත්තවලින් වැඩ පෙන්වීමට වඩා ක්‍රිකට් තරග දිනවීම යනු අපහසු කරුණකි. ක්‍රිකට් ක්‍රීඩාවේ දී “Match winners”, එසේත් නැත්නම් “තරග දිනවන්නන්” හට වැඩි ඉල්ලුමක් ඇත්තේ එබැවිනි. 

මෙය ලෝක ක්‍රිකට් ප්‍රජාව විසින් තේරුම් ගෙන ඇති සත්‍යයක් වුවත් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් අතුරින් මෙම සත්‍යය පිළිගන්නා අයගේ ගණන සාපේක්ෂව අඩු බව මගේ හැඟීමයි. එහෙයින් “වැඩියෙන් වැඩ කළ, අඩුවෙන් කතා බහ වන ක්‍රීඩකයින්” ගැන ඔබට කියන ගමනක් ආරම්භ කරන්නට අවසරයි. 

ක්‍රිකට් කණ්ඩායමක සාමාන්‍යයෙන් විශේෂිත පිතිකරුවන් 6 දෙනෙකුත්, තුන් ඉරියව් ක්‍රීඩකයෙකුත්, විශේෂිත පන්දු යවන්නන් 4 දෙනෙකුත් ක්‍රීඩා කරන්නේ යැයි සිතමු. ඉන් සියලුම ක්‍රීඩකයින් “තරග දිනවන්නන්” වීමේ සම්භාවිතාව ඉතාම අඩු ය. දක්ෂ ක්‍රීඩකයින් කොතරම් සිටියත් “තරග දිනවන්නන්” සොයාගැනීම එතරම්ම අපහසුය. උපුල් චන්දන නම් වූ ක්‍රීඩකයාගේ වැදගත්කම ගැන කතා කිරීමට මා අදිටන් කරන්නේ එබැවිනි.

ඔබ දුටුවේ අංක පමණක් ද? අවදානම නොවේ ද?

කණ්ඩායමක සංයුතිය ගැන කතා කිරීම තව තවත් රසවත් ය. තරග දිනවන්නන්ම එකොළොස් දෙනෙකු ඔබේ කණ්ඩායමේ සිටියහොත් ඔබ පරාජය වීමේ ප්‍රවණතාව වැඩි බව මා පැවසුවොත් ඇතැම් විට ඔබ මා හා එකඟ නොවන්නට ද හැකියි. එහෙත් එය එසේය. මන්ද යත්, “තරග දිනවන්නන්” එතරම්ම අවදානම් ගැනීමේ ශූරයන් වන බැවිනි. එය සාර්ථක වුවහොත් ජයග්‍රහණයත්, අසාර්ථක වුවහොත් පරාජයත් හිමි විය හැකිය.

එබැවින් ඔබේ කණ්ඩායමේ ස්ථාවර, මන්දගාමී, තාක්ෂණික, වේගවත්, අවදානම් ගන්නා/නොගන්නා සෑම වර්ගයකම ක්‍රීඩකයින් සිටිය යුතුය. ක්‍රීඩාව වේගවත් වී ඇති බැවින් දැන් අවශ්‍ය වේගය පමණක් යැයි ඇතැමෙකු කියාවි. 

එහෙත් මම ඊට එකඟ නොවෙමි. ලකුණු 350ක් හඹා යන අවස්ථාවක් උදාහරණ කොට ගතහොත්, එය ජය ගැනීමට මුල් පෙළ යම් පිතිකරුවෙකුගෙන් ස්ථාවර ශතකයක් අත්‍යාවශ්‍ය ය. එය වේගවත් ශතකයක් වුවහොත් ජය ගැනීම පහසු ය. එහෙත් එය 100ක ප්‍රහාරාත්මක වේගයකින් (පන්දු 100ට ලකුණු 100ක්) ලබා ගත් ශතකයක් නම්, ඔහු විසින් සිදු කර ඇත්තේ ජයග්‍රහණයට අවශ්‍ය පාදම සැකසීමක් පමණ ය. 

ඉතිරි පන්දු 200 තුළ දී තරගය ජය ගැනීම සඳහා ලකුණු 250ක් වාර්තා කිරීම ඇත්තේ අනෙක් පිතිකරුවන් අත ය. එතැන දී පිතිකරුවන් විසින් වාර්තා කරගන්නා ඉක්මන් ලකුණු 20, 30, 40, 50 ආදී සෑම ලකුණක්ම ජයග්‍රහණයට රුකුල් සපයයි. එයිනුත් එහා, අවසන් පන්දු  වාරයේ දී හඹා යායුතු ලකුණු 8, 10, 15 හඹා යෑම තවත් පිතිකරුවෙකුගේ විශේෂිත රාජකාරියකි. ක්‍රිකට් යනු කණ්ඩායම් ක්‍රීඩාවක් යැයි කියන්නේ එබැවිනි. 

උපුල් චන්දනගෙන් මා දකින විශේෂත්වය එයයි. ඉහත උදාහරණයට අනුව ඔහු සිටින්නේ ස්ථාවර ශතකය ලබන්නාගේ ස්ථානයේවත්, තරගය අවසන් කරන්නාගේ ස්ථානයේවත් නොව ඉක්මන් ලකුණු ලබා ජයග්‍රහණයට රුකුල් තබන්නාගේ ස්ථානයේ ය. එහි දී වේගවත් ලකුණු 20ක් 25ක් ලබා ඔහු දැවී යන සම්භාවිතාව ඉහළ ය. බොහෝ විට ඔහුව දැවැන්තයින්ගේ දස්කම් අතර සැඟව යන්නේ එබැවිනි.

චන්දන, කණ්ඩායමට ඇතුළත් වූයේ පා දඟපන්දු යවන්නෙකු ලෙසයි.

ඇතැම් ක්‍රීඩකයින් ක්‍රිකට් පිටියෙන් පිටත සූදු කෙළින බව ඔබ අප දන්නා කරුණකි. එහෙත් ක්‍රිකට් තරගයක් කෙසේ හෝ ජය ගැනීම සඳහා පිටිය මැද සූදු කෙළින්නන් ඔබ දැක තිබේ ද? ඒ මා කියන චන්දන වැනි තරග දිනවන්නන් ය. ඔවුනට “සූදු කෙළින්නන්”ය කියා කියන්නේ කිසිදු අවමානයක් කිරීමේ අදිටනින් නොව, ඔවුන් අවදානම් ගැනීමේ කප්පිත්තන් බව ඔබට පැහැදිලි කරන්නට ය.

ප්‍රායෝගික අත්දැකීම් අඩු, එහෙත් පොත පතේ සංඛ්‍යාත්මක දැනුමෙන් සන්නද්ධ ශ්‍රී ලාංකේය අධ්‍යාපන ක්‍රමයෙන් බිහි වූ ඔබ අප කවුරුත් සංඛ්‍යා දත්තවලට රැවටීමේ වැඩි ඉඩක් ඇත. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය තුළ දී උපුල් චන්දනට සිදු වී ඇති අසාධාරණය එයයි. තරගය කියවන ප්‍රේක්ෂකයන් අතලොස්ස අතරේ ලකුණු දත්ත ගැන පමණක් බලා සිටින ප්‍රේක්ෂකයන් චන්දන වැනි තරග දිනවන්නන් හට සිදු කර ඇත්තේ අසාධාරණයකි. 

ලකුණු 17.31ක එක්දින පිතිකරණ සාමාන්‍යයක් සහිත උපුල් චන්දන වැනි ක්‍රීඩකයෙකු කෙදිනකවත් “All time greats”ලා, නැති නම් “එතෙක් මෙතෙක් ශ්‍රේෂ්ඨයන්” අතරට ඇතුළත් වීම හොර ය. ඔහුව හැඳින්වෙන්නේ පන්දු යවන්නෙකු හැටියට පමණක් වන බැවින් එක්දින කඩුලු 151ක් පමණක් ලබා ගත් ඔහු, කඩුලු 300-400-500 ලබා ගත්තවුන් අතර සැඟවී යයි.

එහෙත් පිතිකරුවෙකු ලෙස ඔහු විසින් ඉනිම මැද දී වෙනස් කළ තරග ගණන බොහොමයකි. සාමාන්‍යයෙන් අංක 7 ස්ථානයේ පන්දුවට පහර දුන් චන්දන අංක 5 ස්ථානයේ පන්දුවට පහර දී ඇත්තේ අවස්ථා 6ක දී පමණකි. ඒ එම ස්ථානයේ දී එකම අර්ධ ශතකයක් පමණක් වාර්තා කරමිනි. එහි දී ඔහුගේ ලකුණු සාමාන්‍යය 44 කි. ප්‍රහාරාත්මක වේගය 85.85කි. 

ඔහුගේ සාමාන්‍ය ස්ථානය වන අංක 7 දී ඔහු විසින් අර්ධ ශතක 4ක් වාර්තා කර ඇතත් ඔහුගේ ලකුණු සාමාන්‍යය 17.34කි. ඒ ඇයි කියා ඔබ සිතන්නෙහිද? අංක 7 ස්ථානයේ දී ඔබට ස්ථාවර වී, පසුව ඉනිම වේගවත් කිරීමට තරම් කාලයක් නැත. පළමු ගියරයේ සිටම අවශ්‍ය වන්නේ අවදානම් ගැනීම සහ වේගයයි. එහෙත් එවැනි පසුබිමක් යටතේ පවා ඔහු විසින් සාර්ථක වූ අවස්ථා කිහිපයක් අපගේ මතකයේ ඇත.

*චන්දනගේ පළමු එක්දින අර්ධ ශතකය වාර්තා වන්නේ 1999 ඕස්ට්‍රේලියාවේ දී පැවති කාල්ටන් & යුනයිටඩ් තරගාවලියේ දී එංගලන්තයට එරෙහිවයි. ලකුණු 48කට කඩුලු 5ක් දැවී ගිය ඉනිම ලකුණු 140ක් දක්වා ඉහළට එසවූ චන්දන පන්දු 68ක දී ලකුණු 50ක් වාර්තා කළේ අර්ජුන රණතුංග හා එක්වී ලකුණු 92ක සම්බන්ධතාවයක් ගොඩනගමිනි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව පරාජය විය.

*1999 පෙප්සි කප් තරගාවලියේ දී පාකිස්තානයට එරෙහිව ඉන්දියාවේ දී චන්දන පන්දුවට පහර දෙන්නට පැමිණෙන විට ලකුණු තත්වය පන්දුවාර 34.5ක දී 157-5කි. එහි දී පන්දු 26කින් ලකුණු 35ක් ලබා තරගයේ ගමන වෙනස් කළ චන්දන, පන්දු 138ක දී ලකුණු 101ක් ලබා ගත් මහේල ජයවර්ධනට ද මනා සහයක් ලබා දී ලකුණු 253ක් දක්වා ශ්‍රී ලංකා ඉනිම එසවීමට අවශ්‍ය මග කැපුවේය. තරගය ලකුණු 12කින් ජය ගත්තේ ශ්‍රී ලංකාවයි. ඒ ලකුණු 12, චන්දනගේ හැරවුමේ වාසියයි.

 *2002 වසරේ ෂාජාහිදී පාකිස්තානයට එරෙහිව පිත්ත ගෙන චන්දන පිටියට පිවිසෙන විට ශ්‍රී ලංකාවේ ලකුණු තත්වය පන්දුවාර 37.5ක දී ලකුණු 171-5කි. එතැන් සිට රසල් ආනල්ඩ් දැවී ගිය පසු පිතිකරණ ලැයිස්තුවේ අග්ගිස්සේ පිතිකරුවන් සමඟින් පන්දු 30ක දී ලකුණු 30ක් ලබා ගත් චන්දනගේ ඉනිම නිසා ශ්‍රී ලංකා ඉනිම 242-9ක් දක්වා එසවුණු අතර ලකුණු 41ක ජයක් ශ්‍රී ලංකාවට හිමි විය.

*2002 ෂාජාහිදීම පාකිස්තානයට එරෙහිව තවත් තරගයක දී චන්දන පිටියට පිවිසෙන විට ලකුණු තත්වය පන්දුවාර 32.4කදී  132-5කි. අනෙක් පස පිතිකරුවා වූයේ මාවන් අතපත්තු ය. මාවන් පන්දු 109කදී ලකුණු 77ක් වාර්තා කරගෙන ඉනිම ස්ථාවර කරගත් අතර පන්දු 58ක දී ලකුණු 64ක් වාර්තා කළ චන්දන ශ්‍රී ලංකා ඉනිම 239ක් දක්වා එසවීමට මග සැකසීය. ලකුණු 9ක ජයක් හිමිවුණේ ශ්‍රී ලංකාවටයි. ඒ ඔහුගේ අවසන් ප්‍රහාරයේ වැදගත් ලකුණුවල වාසියයි. 

*2003 දී කොදෙව්වන්ට එරෙහිව බ්‍රිජ්ටවුන්හිදී ලකුණු 313ක ඉලක්කයක් හඹා යෑම සඳහා හදිසි ප්‍රහාරකයෙකු ලෙස චන්දනව පිටියට එවන්නේ අංක 5 පිතිකරු ලෙසය. එහි දී පන්දු 71ක් තුළ වේගවත් ලකුණු 89ක් වාර්තා කළ චන්දන ශ්‍රී ලංකාවට අවශ්‍යව තිබූ වේගය ලබා දුන් අතර අවසන් පන්දුවාරයේ දී තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. එය ඔහුගේ වැඩිම එක්දින ඉනිමයි.

*2004 දී මෙරට සංචාරය කළ සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ පන්දුවාර 32.5ක දී 137-5ක්ව තිබූ ශ්‍රී ලංකා ඉනිමට ලකුණු 223-9ක් දක්වා යෑමට අවශ්‍ය හැරවුම ලබා දුන්නේ පන්දු 55ක දී ලකුණු 51ක් වාර්තා කළ චන්දනගේ ඉනිමයි. ශ්‍රී ලංකාව තරගය ජය ගත්තේය.

*2004 ශ්‍රී ලංකා සංචාරයක නිරත වූ ද. අප්‍රිකා කණ්ඩායමට එරෙහිව එක් තරගයක දී චන්දන පිතිකරණය සඳහා පැමිණියේ පන්දුවාර 24.5ක දී 86-5ක්ව තිබූ පසුබිමකයි. එහි දී කාලයේ වැදගත්කම හඳුනා ගත් ඔහු පන්දු 92ක් තුළ නොදැවුණු ලකුණු 61ක් වාර්තා කරමින් ලකුණු 213-9ක් කරා ශ්‍රී ලංකා ඉනිම ගෙන යෑමට කටයුතු සැකසූ අතර තරගය ලකුණු 37කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

*2005 ඉන්දියන් ඔයිල් කප් තරගාවලියේ දී ඉන්දියාවට එරෙහිව දඹුල්ලේ දී ශ්‍රී ලංකාව ලකුණු 221ක ඉලක්කයක් හඹා යමින් සිටියේය. ශ්‍රී ලංකාවේ මුල් කඩුලු 6ම ලකුණු 95 දී බිඳ වැටී චන්දන පිටියට පිවිසියේය. එහි දී අනෙක් අන්තයේ ඉනිම ස්ථාවර කරමින් සිටි මහේල ජයවර්ධනට අවශ්‍යව තිබූ සහාය ලබා දුන් චන්දන පන්දු 62ක දී නොදැවී ලකුණු 44ක් වාර්තා කරමින් තරගය ජය ගන්නා තෙක්ම නොදැවී ක්‍රීඩා කළේය. එදින හත්වැනි කඩුල්ලට වාර්තා වූ 126* සබඳතාවය මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු විසින් එක්දින තරගයක හත්වැනි කඩුල්ල වෙනුවෙන් පැවැත්වූ ඉහළම ලකුණු සබඳතාවයයි.

*හත්වැනි කඩුල්ල වෙනුවෙන් ඇඩිලේඩ් ඕවල් (90), ගාලු ක්‍රීඩාංගණය (47), රංගිරි දඹුලු ක්‍රීඩාංගණය (126*) යන ක්‍රීඩාංගණවල දී පැවැත්වූ ඉහළම එක්දින ලකුණු සබඳතාවල එක් අන්තයක් උපුල් චන්දනගේ ය. ඉන්දිරා ප්‍රියදර්ශනී ක්‍රීඩාංගණයේ දී හයවැනි කඩුල්ල වෙනුවෙන් වන ඉහළම එක්දින ලකුණු සබඳතාවය (61) චන්දනගේ ද දහදියෙන් තැනුනකි.

මේ අප සඳහන් කළේ චන්දනගේ අමතක නොවන එක්දින ඉනිම් කිහිපයක් පමණි. ඇතැම් විට ඒවා විශාල ඉනිම් නොවේ. එහෙත් අවස්ථානුකූල ඒවා ය. පිතිකරණ ලැයිස්තුවක චන්දන වැනි තරග දිනවන්නන් සිටිය යුතු බව මා කියන්නේ ඒක ය.

පිතිකරණයෙන් තරග ගොඩ දමන්නෙකු වුවත් චන්දන කණ්ඩායමට ඇතුළත් වන්නේ ප්‍රහාරාත්මක දඟපන්දු යවන්නෙකු ලෙසයි. එනම් කඩුලු ලබාගන්නා පා දඟපන්දු යවන්නෙකු ලෙසයි. තරග 147ක් පුරා ලියැවුණු ඔහුගේ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ දී ඔහු විසින් කඩුලු 151ක් ලබා ඇත. “හපොයි, එක් තරගයකට එක් කඩුල්ලක් පමණයි”. ඔබත් එසේ සිතූවෙක් ද?

චන්දන විසින් ලබා ගත් කඩුලු 151න් 53.6%ක්, එනම් කඩුලු 81ක්ම මැදපෙළ කඩුලු ය. එයයි විශේෂත්වය. මැදපෙළ බිඳ නොදමා එක්දින තරග ජය ගත හැකි යැයි ඔබ සිතන්නේ නම් ඔබ තව තවත් එක්දින තරග නැරඹිය යුත්තෙකි. 

එමෙන්ම චන්දන ක්‍රීඩා කරන කාලයේ මැදපෙළ පිතිකරුවන් ගැන ඔබට සිහිකළහොත් එය විහිළුවක් නොවන බව ඔබට සනාථ වනු ඇත. ඩේමියන් මාටින්, ඩැරන් ලීමන්, ඉන්සමාම් උල් හක්, මොහොමඩ් යූසුෆ්, යුනිස් ඛාන්, රාහුල් ද්‍රාවිඩ්, මොහොමඩ් අසාරුඩීන්, විනෝද් කම්බ්ලි, අජේ ජඩේජා, ජොන්ටි රෝඩ්ස්, හැන්සි ක්‍රොන්යේ, ඇන්ඩි ෆ්ලවර්, මරේ ගුඩ්වින්, ග්‍රෑම් හික්, ග්‍රෑම් තෝප්, නේතන් ඇස්ටල්, බ්‍රයන් ලාරා, ශිව්නරීන් චන්ද්‍රපෝල්, රාම්නරේෂ් සර්වාන් යනු ඇත්ත වශයෙන්ම විහිළු නොවේ. ඉතිරි කඩුලුවලින් 34ක් මුල් පෙළ කඩුලු ලෙසත්, ඉතිරි 36 අගපෙළ කඩුලු ලෙසත් වාර්තා වී ඇත.

චන්දන නම් වූ තරග දිනවන්නාගේ අවි ගබඩාවේ තවත් අති ප්‍රබල උපාංගයක් තිබුණි. ඒ පන්දු රැකීමයි. ඔහු විසින් ක්‍රීඩා කළ එක්දින තරග 111 තුළ දී ඔහු උඩ පන්දු 79ක් ලබාගෙන ඇත. ශ්‍රී ලංකා පන්දු රකින්නන් අතුරින් යාර තිහේ සීමාවේ සහ ඉන් පිටත දී එක ලෙස විශිෂ්ට පන්දු රැකීම් වල නියැලිය හැකි පන්දු රකින්නෙකු ලෙස ඔහුව නිරායාසයෙන්ම මතකයට නැගේ. 

එකල ශ්‍රී ලංකා කණ්ඩායමේ රොකට් විසිකරන්නන් (Rocket arms) ලෙස හැඳින්වුණේ උපුල් චන්දන, සනත් ජයසූරිය සහ චමින්ද වාස් ය. ඔවුන්ට පිටියේ ඕනෑම කෙළවරක සිට පන්දුව විකට්ටුව උඩට තිරස්ව වේගයෙන් භාර දීමේ හැකියාව විය. 

එමෙන්ම දවා ගැනීමේ අවස්ථාවන් අඩු සෑම මොහොතක දී ම යාර තිහේ සීමාවේ සිට දුවද්දී දවා ගැනීම් නිර්මාණය කරගනිමින් ප්‍රතිවාදීන් මෙල්ල කිරීමේ විශේෂ හැකියාවක් චන්දන සතු විය. මෙය මෑතක දී පැවති Legends ක්‍රිකට් තරගාවලියේ දීද  දැකිය හැකි විය. ඒ පන්දු රැකීමේ දස්කම් නම් තවමත් එහෙමය. 

ඉහත අප කතා කළේ චන්දනගේ එක්දින ජාත්‍යන්තර දස්කම් ගැන ය. ඔහු ටෙස්ට් ක්‍රිකට් ද ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකි. මංගල ටෙස්ට් ඉනිමේ දී ම කඩුලු 6ක් බිඳ හෙලා ඇති එකම ශ්‍රී ලාංකික පන්දු යවන්නා ඔහුය. එමෙන්ම ඕස්ට්‍රේලියාවේ දී කඩුලු 10 දස්කමක් දැක්වූ එකම ශ්‍රී ලංකා පන්දු යවන්නා ද ඔහුය. නවසීලන්තයේ දී වාර්තා කළ කඩුලු 5 දස්කමක් ද ඔහු සතුය. පිතිකරණයෙන් ද ටෙස්ට් ලකුණු සාමාන්‍යය 26.78ක රඳවා ගෙන සිටි චන්දන අර්ධ ශතක දෙකක් ද වාර්තා කොට ඇත.

වයස අවුරුදු 21 දී එක්දින ක්‍රිකට් වරම් ලබා වයස අවුරුදු 35 වන තෙක්ම වසර 14ක්ම ඉහළ පෙළේ රැඳී සිටිය ද ඔහුට ලැබුණු අවස්ථාවන් ප්‍රමාණය අඩු ය. මුත්තයියා මුරලිදරන් වැනි විශිෂ්ට දඟපන්දු යවන්නෙකු ශ්‍රී ලංකාව සතු වීම ඊට එක් හේතුවක් විය හැකි වුවත්, මෙවැනි ක්‍රීඩකයෙකුගේ වටිනාකම අප හඳුනා නොගත්තේ දැයි සැකයක් ද ඇතිවේ. 

පාකිස්තානය, ඕස්ට්‍රේලියාව වැනි රටවල් මෙවන් ක්‍රීඩකයන් හමුවේ දක්වන නම්‍යශීලී භාවය පුදුමාකාරය. අංක 11 පන්දුවට පහර දුන් දඟපන්දු යවන ෂොයිබ් මලික් අද ලොව දක්ෂ පිතිකරුවෙකු වන්නේත්, අංක 7 පන්දුවට පහර දුන් දඟපන්දු යවන ස්ටීවන් ස්මිත් අද ලොව ප්‍රබලම පිතිකරුවෙකු වන්නේත් එබැවිනි. 

අප එවැන්නන් කෙරෙහි දක්වන නම්‍යශීලීත්වය මඳ ය. චමින්ද වාස් හටවත් පිතිකරුවෙකු ලෙස ඉදිරියට එන්නට අප රට තුළ ඉඩක් තිබුණේ නැත. පන්දු යවන්නෙකු ලෙස පැමිණ සාර්ථක වූ හොඳම උදාහරණය තිලාන් සමරවීර පමණ ය. උපුල් චන්දන, කුමාර් ධර්මසේන, තිසර පෙරේරා, නුවන් කුලසේකර වැනි පිතිකරණ හැකියාව සහිත පන්දු යවන්නන්, පන්දු යවන්නන් ලෙසම පමණක් සිරගත විය. 

එය මෙරට අධ්‍යාපන ක්‍රමය සිහිකරයි. දක්ෂ ගායකයන්, වාදකයන්, ගෘහ නිර්මාණ ශිල්පීන් වෛද්‍යවරුන් වී, දක්ෂ ලියන්නන්, අඳින්නන්, උද්‍යාන සකසන්නන් ඉංජිනේරුවන් වී තිබේ. රටක් හැදීමට නම් මේ සියලු වෘත්තීන්වල නිපුනයන් අවශ්‍ය ය.

ඇතැම් ක්‍රීඩකයින් පෙනෙනවාට වඩා “දිනවන හැකියාවෙන්” පරිපූර්ණ ය. පිතිකරුවෙකුගේ දක්ෂතාවය සහ පන්දු යවන්නෙකුගේ කඩුලු ලබාගැනීමේ හැකියාව මැන බැලීමට සංඛ්‍යා දත්තයන් පමණක් පරිශීලනය කරන ක්‍රිකට් ප්‍රේක්ෂකයන් දෙස බැලීමේ දී කිව හැක්කේ ප්‍රේක්ෂකයන්ගේ අනාගතය අවිනිශ්චිත බව ය. ඇතැම් විට අනාගතයේ දී “එක්දින පිතිකරණ සාමාන්‍යය 32.4ක් වූ සනත් ජයසූරිය යනු කවරෙක්” දැයි විමසන තරමටම ඔවුන් ලකුණු දත්ත අතර සිරවී ඇත.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<