ධුරයට සමුදුන් ප්‍රමෝද්‍යගෙන් ප්‍රකාශයක්

1407

පසුගිය සතියේ දී සිය ධුර කාලය අවසන් වීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී වගකීමට සමු දුන් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා විසින් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

තමන් සිය ධුර කාලය තුළ අභියෝග රැසකට මුහුණ දුන් බව ප්‍රමෝද්‍ය විසින් මෙම නිවේදනයේ සඳහන් කරනවා.

“ඔබ දන්නා පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ මගේ ධුර කාලය අවසන් වී ඇත. පසුගිය වසර දෙක හමාරක කාලය ශ්‍රී ලංකා ක්‍රිකට්වලට අභියෝගාත්මක එකක් වූ බව ක්‍රිකට් රසිකයින්ට ද රහසක් නොවේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය බවට පත් විය හැකි ඉහළ දක්ෂතා සහිත යොවුන් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ම මට සහ මගේ කමිටු සගයින්ට හමු වූ බව මම විශ්වාස කරමි.

ඉදිරි වසර දෙක තුළ විශාල අත්දැකීම් ලබමින් මෙම තරුණ කණ්ඩායම විශිෂ්ට තලයකට පැමිණෙනු ඇති.”

තම සොයා ගැනීම් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය සුරක්ෂිත කරනු ඇති බව පවසන ප්‍රමෝද්‍ය පසුව සඳහන් කලේ තම ධුර කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් සුබ සිද්ධිය වෙනුවෙන් එතරම් ජනප්‍රිය නොවූ තීරණ ද ගැනීමට සිදු වූ බවයි.

“තේරීම් කමිටු සභාපති ලෙස මට දැඩි සහ ජනප්‍රිය නොවන තීරණ රැසක් ගන්න සිදු වූ අතර ඒවා ශ්‍රී ලංකා ක්‍රිකට් හි යහපත වෙනුවෙන් ගත් තීරණ බව නැවතත් පැවසිය යුතුයි.”

එමෙන්ම මෙහි දී ප්‍රමෝද්‍ය නව තේරීම් කමිටුවට සුබ පැතීමට මෙන්ම, මාධ්‍ය වෙත සිය ස්තුතිය පල කිරීමට ද අමතක කළේ නැහැ.

“ඉවත්ව යන සභාපති ලෙස, අලුතින් පත්වීම් ලද තේරීම් කමිටුවට මම සුබ පැතුම් එක් කරන අතරම, ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරියට ගෙන යනු ඇතැයි විශ්වාස කරනවා. එමෙන්ම මට ලබා දුන් සහයෝගය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට ස්තුතිය පළ කිරීමට ද මෙය අවස්ථාවක් කර ගන්නවා.”

ප්‍රමෝද්‍ය ප්‍රමුඛ තේරීම් කමිටුවෙන් පසුව හිටපු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතුව තරංග පරණවිතාන, දිල්රුවන් පෙරේරා, අජන්ත මෙන්ඩිස් සහ ඉන්දික ද සේරම් ගේ සහභාගීත්වය සහිත නව තේරීම් කමිටුවක් නම් කරනු ලැබුවා.

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නැවුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<