ශ්‍රී ලංකා මේසපන්දු ක්‍රීඩාව මනරංජනය කළ චලිත

460

ඔහුගේ උපන් ගම අම්බලන්ගොඩ හිරේවත්තය. අම්බලන්ගොඩ උපන් අයෙකුට පිහිනීම අමුතුවෙන් උගන්වන්නට අවශ්‍ය නැත. ඔහුගේ වයසේ අනෙක් දරුවන් මෙන්ම අප කතානායකයා ද මුලින්ම පෙම් බැන්දේ පිහිනුම් ක්‍රීඩාවටය.

නමුත් ඔහුගේ ගඟේ, මුහුදේ හෝ පිහිනුම් තටාකයේ දස්කම් කැපී පෙනෙන මට්ටමක තිබුණේ නැත. ඔහුගේ වයසේ සෙස්සන් තමන් පසු කරගෙන යද්දී එක්තරා පුද්ගලයෙකු ඔහුගේ දෛවය සම්පූර්ණයෙන්ම වෙනස් කළේය. චලිත රංජන නම් මේසපන්දු ක්‍රීඩාවේ පුරාවෘත්තයක් බඳු අප කතානායකයා තමාගේ මාමා වූ ඒ. ඩබ්ලිව් අනුරලාල් මහතා දියෙන් ගොඩට ගෙන තමා මේසපන්දුවට හුරු කළ අන්දම අප සමග කියන්නේ මේ ආකාරයෙන්ය.

මෙවන් ඉඳුරුවගෙන් නව වාර්තා පහක්; වැඩිම පදක්කම් ජ’පුරට

13 වැනි විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ පිහිනුම් තරග අද (29) කොටවිල ක්‍රීඩා සංකීර්ණයේ දී නිමා විය. එහි දී සමස්ත පිරිමි ශූරතාවය…

“මගේ ගම අම්බලන්ගොඩ. අම්බලන්ගොඩ උපන් කෙනෙක්ට පිහිනීම කියන්නෙ උපතින් අරන් එන දෙයක්. මගේ තාත්තාත් හොඳ පිහිනුම් ශූරයෙක්. එයාලගෙ බලාපොරොත්තුව තිබුණේ මම පිහිනුම් ක්‍රීඩාවෙන් ඉදිරියට යාවි කියල. නමුත් වැඩි කාලයක් යන්න කලින් මම තේරුම් ගත්තා අනෙක් ළමයි මට වඩා සෑහෙන මේ ක්‍රීඩාවට දක්ෂයි කියල. මෙහෙම ඉඳිද්දි දවසක් මගේ මාමා ඒ. ඩබ්ලිව් අනුරලාල් මහත්මයා මාව එක්කගෙන ගියා අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයේ මේසපන්දු පුහුණුවීම් නරඹන්න. මගේ මාමා තමයි එතකොට දේවානන්ද විද්‍යාලයේ මේසපන්දු පුහුණුකරු. මේසපන්දු ක්‍රීඩාව කෙරෙන ආකාරය දැකපු වහාම මට හිතුණා පිහිනීම නෙවෙයි මට හරි යන ක්‍රීඩාව මේසපන්දු කියල. එදා ඒ ගත්තු තීරණය ගැන ඇත්තටම මට සෑහෙන ආඩම්බරයි.

ආධුනිකයෙක් විදියට ක්‍රීඩාවට එක්වූ නිසා මට මුලින්ම ඒ තරම් ජයග්‍රහණ ලැබුණේ නෑ. නමුත් දවසෙන් දවස මට මේ ක්‍රීඩාවට ආසාවක් ඇති වුනා. ඒකේ ප්‍රතිඵලය වැඩි කාලයක් යන්න කලින් මට වයස අවුරුදු නමයෙන් පහළ ජාතික කනිෂ්ඨ ශූරයා වෙන්න ලැබීම. එය තමයි මේසපන්දු ක්‍රීඩාවේ මා ලද මුල්ම පෙළේ ජයග්‍රහණය.

ඊට පස්සේ හැම වයස් කාණ්ඩයකම අංක එකේ ක්‍රීඩකයා සහ ජාතික කනිෂ්ඨ ශූරයා වන්නට මට අවස්ථාව ලැබුණා. 1996 වසරේ මම දාහතෙන් පහළ වයස් කාණ්ඩයේ ජාතික කනිෂ්ඨ ශූරයා බවට පත්වෙනවා. සාමාන්‍යයෙන් වයස දාහතෙන් පහළ ශූරයා තමයි මුළු ශ්‍රී ලංකාවටම ජාතික කනිෂ්ඨ ශූරයා ලෙස පිළිගැනෙන්නේ. මේ තරගය තිබුණේ මහනුවර නගර සභා ක්‍රීඩාංගණයේ දී.

මේ අතරේ එක වතාවක් මට ආරාධනාවක් ආවා කොළඹ රාජකීය විද්‍යාලයට සම්බන්ධ වෙන්න. ඒ වෙද්දී මම දස්කම් අතින් ඉහළම තලයේ හිටියේ. නමුත් මගේ පාසල අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලය අතහැරලා එන්න මට හිතුණේ නැහැ. පහසුකම් අතින් රාජකීය විදුහල ඉදිරියෙන්. නමුත් දේවානන්ද විදුහල මා වෙනුවෙන් කළ සියලුම දේට මම ඔවුන්ට කෘතගුණ දැක්විය යුතුව තිබුණා.

ජාතික කනිෂ්ඨ ශූරයා වුනාට පස්සේ මට ආසාවක් ඇති වුනා ජාතික කණ්ඩායම නියෝජනය කරන්න සහ ජාතික ශූරයා බවට පත්වෙන්න.

එක වතාවක් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ ගෘහස්ථ ක්‍රීඩාංගණයේ තේරීම් තරග කිහිපයක් පැවැත්වුණා. නමුත් ඉතාම අවාසනාවන්ත ලෙස මට ජාතික කණ්ඩායමට එකතු වෙන්න බැරි වුනා. ජාතික කණ්ඩායමට හතර දෙනෙක් තෝරාගනිද්දී මම පස්වැනි තැන ලබාගෙන හිටියේ. මං දැක්කා මගේ මාමා තරගය බලාගෙන හිටියේ. ඔහු ප්‍රේක්ෂකාගරයේ සිට අඬනවා. ඒක ඒ තරම් හැඟීම්බර අවස්ථාවක්.

ඔහු එන ගමන් මා සමඟ කිව්වා, “චලිත ඔයාට අනෙක් අයගේ ප්‍රතිඵලවලින් උඩට යන්න බෑ. අනිවාර්යයෙන්ම ඔයා පළමු ස්ථානය ගන්න ඕන” කියල.

මහන්සියෙන් ක්‍රීඩා කරලා මට ටික කාලෙකින්ම ජාතික කණ්ඩායම නියෝජනය කරන්න මට අවස්ථාව ලැබුණා. 1999 වසරේ නේපාලයේ කත්මණ්ඩු නුවර පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කණ්ඩායම් ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගන්නටත් අපිට හැකියාව ලැබුණා.

ඊට පස්සේ මගේ සිහිනය වුනේ ජාතික ශූරයා වෙන එක. ඒ කාලේ ශ්‍රී ලංකාවේ හිටපු සුපිරිතම මේසපන්දු ක්‍රීඩකයා තිළිණ පියදාස. ඇත්තටම ඔහුව පරාජය කරනවා කියන එක ඕනම ක්‍රීඩකයෙකුට ලොකු සිහිනයක්.

2000 වසරේ ජාතික ශූරතාවයට එද්දී තිළිණ පිට පිට අවුරුදු තුනක් ජාතික ශූරතාව දිනලා හිටියේ. ඒ අවුරුද්දෙත් දිනුව නම් ඒක ශ්‍රී ලංකා වාර්තාවක්.

නමුත් මට තිළිණ පියදාස පරාජය කරලා ජාතික ශූරයා වෙන්න ලැබුණා. මට ඒ අවස්ථාවේ ඇඬුණා ඇත්තටම. එකක් මම ජාතික ශූරයා. අනෙක මම පරාජය කරපු ක්‍රීඩකයා මේ රටේ මේසපන්දු ක්‍රීඩාවේ පුරාවෘත්තයක්. පුංචි දවස්වල අපි හරිම ආසාවෙන් බලාගෙන හිටපු ක්‍රීඩකයෙක් තිළිණ. ඒක සිහිනයක් සැබෑවීමක්.

බැඩිමින්ඩන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 48ක් SAG යන්න බලාගෙන

එළඹෙන දෙසැම්බර් මස 1 සිට නේපාලයේ දී පැවැත්වීමට නියමිත 2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් තරග සඳහා…

ඊට පස්සේ හැම වසරකම තිළිණ සහ මම අතරේ ජාතික ශූරතාවය හුවමාරු වුනා ඔහු ඇමෙරිකා එක්සත් ජනපදය බලා යන තෙක්ම. ඒ හැම තරගයක්ම අතිශය උද්වේගකර තියුණු තරග කියල අනිවාර්යයෙන්ම කියන්න ඕන. 2000, 2002, 2004 සහ 2009 වසරවල ජාතික ශූරයා වුනේ මම. ඇත්තටම එකවරක් ජාතික ශූරයා වෙන එකත් ගොඩක් ක්‍රීඩකයින්ට හීනයක්. ශූරතා අටක් සමඟ තිළිණ තමයි වාර්තාව හිමිකර ගෙන ඉන්නේ.

ජාතික මට්ටමේ තරග ජයග්‍රහණය කළාට පස්සේ ඕනම ක්‍රීඩකයෙක්ගේ හීනයක් ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබන එක. 2004 වසරේ මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර පැවති පොදු රාජ්‍ය මණ්ඩල මේසපන්දු තරගාවලියේ දී මට කේවල ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් ශ්‍රී ලංකාවට දිනා දෙන්න පුළුවන් කම ලැබුණා. ඒ එක්කම කියන්න ඕන දකුණු ආසියානු තරගාවලිවල දී වැඩිම පදක්කම් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට දිනා දීලා තියෙන්නෙත් මම.

ඒ වගේම 2017 වසරේ මට ආසියානු මේසපන්දු ශූරතාවයට මෙන්ම ලෝක මේසපන්දු ශූරතාවටත් ශ්‍රී ලංකාව නියෝජනය කරන්න හැකියාව ලැබුණා. මගේ විවාහය යෙදී තිබුණෙත් ඒ දවස්වල. මේ තරගාවලිය නිසාම මට විවාහ උත්සවය කල්දාන්න සිදු වුනා.

ලෝක ශූරතා තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගවලින් තේරිලා ප්‍රධාන තරගාවලියට සුදුසුකම් ලබන්න මම සමත් වුනා. ජර්මනියේ තිබුණ ලෝක ශූරතා තරගාවලියේ මම දක්වපු දස්කම් ගැන ගොඩක් අය අවධානයෙන් ඉඳලා තියනවා.

මේ අතරේ නවසීලන්තයේ හිටපු රජිත සමරවීර කියන මගේ මිත්‍රයගෙන් ඇමතුමක් එනවා මට නවසීලන්ත මේසපන්දු සංගමයෙන් ආරාධනාවක් තියනවා නවසීලන්ත විවෘත මේසපන්දු තරගාවලියට සහභාගි වෙන්න. ඒකට හැම ක්‍රීඩකයෙක්ටම ලැබෙන අවස්ථාවක් නෙවෙයි. රෙකමදාරුවක් තිබෙන ක්‍රීඩකයින්ට පමණක් ලැබෙන්නක්. 2017 මම නියෝජනය කළේ ශ්‍රී ලංකාව.

2017 නවසීලන්ත විවෘත තරගාවලියට රටවල් විසිපහකින් ක්‍රීඩකයින් ඇවිත් හිටියා. මේ තරගාවලියේ විවෘත කේවල ඉසව්වේ මුල් අට දෙනා අතරට තේරෙන්න ලැබුණා. විශේෂයෙන්ම චීන ක්‍රීඩකයින් එක්ක එවැනි දෙයක් ලබා ගැනීම සුවිශේෂී ජයග්‍රහණයක්. විවෘත මිශ්‍ර යුගල තරගයේ ජීනා ලිව් කියන ක්‍රීඩිකාව සමග ලෝකඩ පදක්කම දිනා ගන්න. ඒ තරගාවලියේ වයස තිහට වැඩි කාණ්ඩයේ රිදී පදක්කම දිනාගන්න මට හැකියාව ලැබුණා. ඒ කාණ්ඩයේ මිශ්‍ර යුගල තරගයේ දී නැවත වතාවක් ජීනා ලිව් සමග රන් පදක්කම දිනා ගන්න මට හැකියාවක් ලැබුණා. ඒ වගේම එම කාණ්ඩයේ යුගල තරගයේ දී බල්ගේරියානු ක්‍රීඩකයෙකු සමඟ නැවතත් මම රන් පදක්කම දිනාගත්තා.

2018 මට නැවත වතාවක් ආරාධනාවක් ආවා. ඒ ආවේ නවසීලන්ත ක්‍රීඩා සමාජයකින්. එවර නවසීලන්තය ඇතුලේ තියන අන්තර් සමාජ තරගාවලියකටත් මට සහභාගි වෙන්න ලැබුණා. වනවාටු කියන ක්‍රීඩා සමාජය තමයි මම එවර නියෝජනය කළේ. එවරත් පෙර පරිදිම වයස තිහට වැඩි කාණ්ඩයේ රන් පදක්කම් සමඟින් විවෘත කාණ්ඩයේ පළමු අට දෙනා අතරට සුදුසුකම් ලබන්න මට හැකියාව ලැබුණා. එමෙන්ම දකුණු ආසියානු තරගාවලිවල ලබා ගත් පදක්කම් වගේම මේ ලැබූ ජයග්‍රහණයත් ශ්‍රී ලංකාවට ඉතාම වැදගත් ජයග්‍රහණයන්. මේ  ජයග්‍රහණ වලට සම්බන්ධ එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයාත් මම පමණයි.

චලිත හා ඔශාදී වෙළඳසේවා මේසපන්දු තරගාවලියේ කිරුළු දිනයි

ශ්‍රී ලංකා වෙළඳසේවා මේසපන්දු සංගමය සංවිධානය කළ 63 වැනි විවෘත මේසපන්දු ශුරතාවලිය පසුගිය ජූලි 20 වැනිදා හා…

2004 පොදු රාජ්‍ය මණ්ඩල මේසපන්දු තරගාවලියේ ලද පදක්කම, නවසීලන්ත විවෘත තරගාවලිවල දස්කම් මෙන්ම දකුණු ආසියානු තරගාවලිවල දී ලබා ගත් දොළහකට වැඩි පදක්කම් අපේ රටට සුවිශේෂී කීර්තියක් අත් කර දුන් ඒවා කියා මා විශ්වාස කරනවා.

ඒ වගේම මෙවර වෙළඳසේවා තරගාවලියේ කේවල ශූරතා ජයග්‍රහණය ලැබීමත් හරිම සුවිශේෂී සහ වැදගත් ජයග්‍රහණයක්. මොකද මාස කිහිපයක් අතේ ආබාධයක් නිසා ක්‍රීඩාවෙන් ඈත් වෙලා ඉඳල අවසන් මොහොතේ පුහුණුවීම් කර ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් මේක.

ඇත්තටම මේ වසරේත් මට පුරුදු පරිදිම නවසීලන්ත විවෘත තරගාවලියට ආරාධනා ලැබී තිබෙනවා. මෙවැනි තරගාවලි සඳහා අපේ රට නියෝජනය කරමින් යන ක්‍රීඩකයින්ට අනුග්‍රාහකයින් ලැබෙනවා නම් සෑහෙන වටිනවා. මොකද අපි ජාත්‍යන්තරයට රැගෙන යන්නේ අපේ රටේ නාමය.

අවාසනාවකට මේ ක්‍රීඩාවට අනුග්‍රාහකයින් නැති එක ලොකු පාඩුවක්. කවුරු හරි ඉස්සරහට ඇවිත් අපිට අනුග්‍රාහකත්වය දක්වන්න පුළුවන් නම් ශ්‍රී ලංකාවට ජයග්‍රහණ ගේන්න පුළුවන් අති දක්ෂයෝ අපේ රටේ ඕන තරම් ඉන්නවා.

අවසාන ලෙස මාව පොඩි කාලේ ඉඳන් මේ තත්ත්වයට ගේන්න දැඩි විනයකින් පුහුණු කළ මගේ මාමා ඒ. ඩබ්ලිව් අනුරලාල් මහතා, මේසපන්දු ක්‍රීඩාවට සමුදෙන්නට සිතේ තිබිය දී ඒ සිතුවිල්ල වෙනස් කරමින් මට තවත් මහත් වටිනා අවස්ථාවක් ලබා දුන් රජිත සමරවීර මගේ මිත්‍රයාටත්, මා සේවය කරන ආයතනයේ ඉහළ කළමනාකාරීත්වයේ සිට සෑම සහෝදර සේවකයෙකුට මෙන්ම සෑම විටම මා පසුපසින් සිට දිරිය දෙන මගේ බිරිඳ ඇතුළු පවුලේ සැමදෙනාටත් මම මේ අවස්ථාවේ සුවිශේෂී ස්තුතියක් පිරිනමන්න කැමතියි.”

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<