පාකිස්තානයෙනුත් ඉන්දියාවට තර්ජන එල්ල වෙයි!

Asia cup 2023 / ICC Cricket World Cup 2023

2112

BCCI විසින් ඉන්දීය කණ්ඩායමට ආසියානු කුසලානය වෙනුවෙන් පාකිස්තානයේ සංචාරය කිරීමට ඉඩ ලබා නොදේ නම් තමන් ද ඉන්දියාවේ දී ලෝක කුසලාන තරග ක්‍රීඩා නොකරන බවට පාකිස්තානය විසින් අනතුරු අඟවා තිබෙනවා.

2023 ආසියානු කුසලානය මෙම වසරේ සැප්තැම්බර් මාසයේ පාකිස්තානයේ දී පැවැත්වීමට නියමිතව ඇති අතර, 2023 එක්දින ලෝක කුසලානය ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිතයි.

නමුත් ඉන්දු – පාකිස්තාන දේශපාලන අර්බුද හේතුවෙන් ඉන්දියාව පාකිස්තානයේ සංචාරය කිරීමට අකමැත්තෙන් පසු වන අතර ඒ නිසා ආසියානු කුසලානය පාකිස්තානය හැර වෙනත් රටක පැවැත්වීම හෝ අවම වශයෙන් ඉන්දියාව ක්‍රීඩා කරන තරග හෝ පාකිස්තානයෙන් පිටත පැවැත්වීමට යෝජනාවක් ඉදිරිපත් වී තිබුණා.

එයට සමගාමී විසඳුමක් ලෙස පාකිස්තානය ද මෙවර ලෝක කුසලානයේ තමන්ට නියමිත තරග බංග්ලාදේශයේ දී ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බව ඊයේ (29) ESPN cricinfo වෙබ් අඩවිය හෙළිදරව් කළා.

නමුත් පසුව ඉන්දියාවෙන් සහ ICC වෙතින් පාකිස්තානයේ එම සැලසුම කිසිදු ආකාරයකින් පිළිනොගන්නා බව සැල කරා.

මේ සියලු සිදුවීම් වලින් පසුව දැන්  පාකිස්තානය විසින් සිය නවතම තර්ජනාත්මක ප්‍රකාශය සිදු කර තිබෙනවා.

“ඔව් BCCI විසින් ඉන්දීය කණ්ඩායම ආසියානු කුසලානය වෙනුවෙන් පාකිස්තානයට එවන්නේ නැත්නම්, අපිත් ලෝක කුසලානය වෙනුවෙන් ඉන්දියාවේ සංචාරය නොකිරීමට සිතා ගෙනයි ඉන්නේ.  ශ්‍රී ලංකාවේ හෝ බංග්ලාදේශයේ අපේ තරග පවත්වන්නයි අපිට අවශ්‍ය. අපිට ඕන ඒ රට වල ක්‍රීඩා කරන්න විතරයි, ඉන්දියාවේ ක්‍රීඩා කරන්න නෙවෙයි.”

පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩල නියෝජිතයකු විසින් මේ බව ANI පුවත් සේවයට පවසා තිබෙනවා.

එමෙන්ම ඉන්දියාවේ මෙම ස්ථාවරය මෙම තරගාවලි දෙකට පමණක් නොව, 2025 වසරේ දී පාකිස්තානයේ පැවැත්වීමට නියමිත ICC ශූරයින්ගේ කුසලාන තරගාවලිය සඳහා ද විශාල බලපෑමක් එල්ල කිරීමට ඉඩ තිබෙනවා.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී ACC සභාපති සහ BCCI ලේකම් වන Jay Shah විසින් සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයකින් ඇති වූ මෙම ගැටුම මේ වන විට සමස්ත ක්‍රිකට් ලෝකයේම උණුසුම් මාතෘකාවක් බවට පත් වී හමාරයි.

මේ පිළිබඳ දිනෙන් දින උණුසුම් වන නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමගින්.

Time of India ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<