ඉන්දීය ඉල්ලීම හමුවේ BCCI තීරණය පසුපසට

1990
Getty Images

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අභියාචනාවකට අනුව Border-Gavaskar කුසලානයේ Indore හී පැවති තරගයේ මතභේදයට තුඩු දුන් තණතීරුව සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ලබා දුන් තීරණය වෙනස් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

දින තුනක් තුළ අවසන් වූ එම තරගයේ තණතීරුව ක්‍රීඩා කිරීමට නුසුදුසු මට්ටමේ පැවති බවට චෝදනා එල්ල වූ අතර තණතීරුව “දුර්වල” කාණ්ඩයට ඇතුළත් කරමින් දඬුවම් ලකුණු තුනක් ICC විසින් ලබා දුන්නා.

නමුත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය එය නැවත සලකා බලන ලෙස සිදු කළ ඉල්ලීමෙන් පසුව තණතීරුව “දුර්වල (Poor)” කාණ්ඩයේ සිට “සාමාන්‍ය මට්ටමට වඩා අඩු (Below Average)” කාණ්ඩය දක්වා ගෙන ඒමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

මෙම ටෙස්ට් තරගයේ පළමු දෙක තුළ කඩුලු 31ක් බිඳ වැටෙද්දී, එයින් කඩුලු 26ක්ම දඟපන්දු යවන්නන් විසින් දවා ගැනීම කැපී පෙනුණ අතර තරගය කඩුලු නවයකින් ජයග්‍රහණය කළේ ඕස්ට්‍රේලියාවයි.

එම තරගයෙන් පසු තරග තීරක ලෙස කටයුතු කළ Chris Broad සඳහන් කර තිබුණේ,

“මෙම තණතීරුව ඉතා වියළි එකක් වගේම පන්දු යැවීම සහ පිතිකරණය අතර කිසිම සමබරතාවක් තිබ්බේ නැහැ. තරග ආරම්භයේම ඉඳන්ම වැඩි වාසි හිමි වුනේ දඟපන්දු යවන්නන්ටයි.”

තරගතීරකගේ පැමිණිල්ලෙන් පසුව සහ ඉන්දීය බලධාරීන්ගේ ඉල්ලීම් පසු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කමිටුව විසින් එම තරගයේ රූප රාමු නැවත නැරඹීමෙන් පසුව මෙම තීරණය ගෙන තිබෙනවා.

එලෙස නැවත නැරඹීමෙන් පසු කමිටු සාමාජිකයින් ප්‍රකාශ කළේ මෙම තණතීරුව පිළිබඳ පැමිණිල්ලක් ලැබුනත්, එය දුර්වල කාණ්ඩය යටතට දමන්න තරම් අසාමාන්‍ය ඉපිලීමක් තණතීරුවේ තිබුණේ නැති බවයි.

මෙම තීරණයත් සමඟ තණතීරුව සඳහා ලබා දුන් දඬුවම් ලකුණු තුන අඩු වී එක් දඬුවම් ලකුණක් පමණක් තණතීරුවට හිමි වෙනවා.

මෙම තරගයේ ජයග්‍රහණයත් සමඟ ඕස්ට්‍රේලියාව ලෝක ටෙස්ට් ශූරතාවයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත් අතර අවසන් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමෙන් සහ ශ්‍රී ලංකාව නවසීලන්තය හමුවේ ලැබූ පරාජය නිසා සිය අවසන් මහා අසුන වෙන් කර ගැනීමට ඉන්දියාවට හැකි වුනා.

Hindustan times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<