වැලිකතරේ අතරමං වූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සංචාරය

951

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි Tolerance Oval ක්‍රීඩාංගණයේ දී පැවති තුන් කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ තරග සංචාරය අවසන් තරගයට පෙර නිමා වෙනවා.

ඒ සහභාගී වූ තරග 4න් 3ක් ම පරාජය වීම හේතුවෙනුයි. මේ නිසා අවසන් තරගය සඳහා බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය සුදුසුකම් ලබා ගන්නවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග ගමන් මඟ
ප්‍රතිවාදීන් තරගයේ ප්‍රතිඵලය
1 බංග්ලාදේශය ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක්
2 ඇෆ්ගනිස්තානය ඇෆ්ගනිස්තානයට ලකුණු 62ක ජයක්
3 බංග්ලාදේශය බංග්ලාදේශයට කඩුලු 5ක ජයක්
4 ඇෆ්ගනිස්තානය ඇෆ්ගනිස්තානයට ලකුණු 4ක ජයක්

තරගාවලියට පිටත් වීමට පෙර ක්‍රිකට් බලධාරීන් පැවැසුවේ තමන්ගේ මුඛ්‍ය පරමාර්ථය එළඹෙන වසරේ දී මෙරට දී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ තරගාවලිය වෙනුවෙන් වඩාත් සුදුසු කණ්ඩායමක් සූදානම් කර තබා ගැනීම බවයි.

නමුත් තරගාවලියට සහභාගී වූ සංචාරක කණ්ඩායමට, එකි වකවානුවේ දී ක්‍රීඩා කළ හැකි ක්‍රීඩකයන් වැඩි ප්‍රමාණයක් සමඟින් එළඹෙන වසරේ දී මෙම වයස් සීමාව අතික්‍රමණය කෙරෙන ක්‍රීඩකයෝ කිහිප දෙනෙක් ද එක් කර තිබුණා.

  • ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් සංචිතය: ශෙවොන් ඩැනියෙල් (නායක), හිරුන් කපුරුබණ්ඩාර, මල්ෂ තරුපති, දිනුර කළුපහන, සිනෙත් ජයවර්ධන, විහස් තෙව්මික, විශේන් හැලඹගේ, හිරාන් ජයසුන්දර, ට්‍රෙවින් මැතිව්, තීරක රණතුංග, විශ්ව ළහිරු, දුවිඳු රණතුංග, මනුල කුලරත්න, ගරුක සංකේත්, විශ්ව රාජපක්ෂ

කෙසේ වෙතත් තරගාවලියට සහභාගී වූ මෙම කණ්ඩායමේ දක්ෂතා විමසීමේ දී ඔවුන් වඩාත් සටන්කාමී කණ්ඩායමක් ලෙසින් ඔප්පු කළ හැකි ඉනිම්වල නිරත වීම කැපී පෙනුණා. විශේෂයෙන් ම ඇෆ්ගනිස්තානය සමඟ පැවති ශ්‍රී ලංකාව සහභාගී වූ අවසන් තරගයේ දී ලකුණු 300 ඉක්මවා යන හඹා යන ඉනිමක නිරත වීමට ඔවුන්ට හැකි වුනා. එය තරගාවලිය තුළ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ සිදුවීමක්.

ඊට අමතර‍ව බංග්ලාදේශය සමඟ ජයග්‍රහණය කළ තරගය සේ ම පරාජිත තරගයේ දී ද සහ ඇෆ්ගනිස්තානය සමඟින් පරාජය වූ අනෙක් තරගයේ දී ද වගකිව හැකි ලකුණු පුවරුවක් ගොඩ නැගිමට ඔවුන් දැක්වූ දායකත්වය අගය කළ යුතුයි.

පිතිකරුවන් තමන්ගේ යුතුකම ඒ ආකාරයෙන් හෝ ඉටු කරද්දී, පන්දු යවන්නන්ගෙන් ඉටු විය යුතු යුතුකම් හී විශාල අඩුවක් අප නිමා වූ තරග 4 දී ම දුටුවා. ඒ කිසිදු තරගයක දී තරගයේ පාලනය පන්දු යවන්නන් වෙත නම්මවා ගැනීමට අපේ පන්දු යවන්නන්ට නොහැකි වීම වඩාත් අවාසනාවන්ත තත්ත්වයක්.

පිතිකරුවන් සේ ම උපයෝගී කර ගත් සෑම පන්දු යවන්නෙක් ම දිගින් දිගට ම තම දක්ෂතා මත රැඳී සිටීමට දැක්වූ අදක්ෂතාව ඊට හේතු වූවා. මේ තත්ත්වයෙන් මිදී ක්‍රීඩකයන්ට තම තමන්ගේ පෞද්ගලික දක්ෂතා එක ලෙස රඳවා ගැනීමට හැකියාවක් ලැබුණි නම්, මේ සටහන තැබීමට වන්නේ වෙනත් මානයක සිටයි. එසේ වූවා නම් පැවැත්වෙන අවසන් මහා තරගයේ එක් අසුනක් අප වෙනුවෙන් වෙන් වෙනු නොඅනුමානයි.

ශෙවෝන් ඩැනියෙල්

තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතරින් වැඩිම ලකුණුලාභී පිතිකරුවා බවට පත් වූයේ නායක ශෙවෝන් ඩැනියෙල්. ඔහු තරග 4ක ඉනිම් 4ක දී ලකුණු 165ක් ලබා ගන්නවා.

ඔහු පළමු ඉනිම් ත්‍රිත්වය නිමා කරද්දී මේ ලැයිස්තුවේ අවසන් කිහිප දෙනා අතර සිටියත්, ඇෆ්ගනිස්තානය සමඟ පැවති පළමු වටයේ අවසන් තරගයේ දී ලත් ලකුණු 140ත් සමඟින් මෙම අසුන හිමිකර ගත්තා. එම ඉනිම වෙනුවෙන් ශෙවෝන් පන්දු 115කට මුහුණ දුන් අතර ඊට හතරේ පහර 10ක් සහ හයේ පහර 6ක් එක් කරනවා.

එම ඉනිමට පෙර ඔහුගේ ආරම්භක ඉනිම් 3 දැක්වෙන්නේ ලකුණු 15ක්, ලකුණු 10ක් සහ ලකුණු 0ක් ලෙසයි.

ශ්‍රී ලංකා නායක ශෙවෝන් ඩැනියෙල් මේ වෙද්දී වයස අවුරුදු 19ක් ඉක්මවා සිටින අතර තරගාවලිය නියෝජනය කළ කණ්ඩායම් ත්‍රිත්වයේ වැඩිමල් ම ක්‍රීඩකයා වූයේ ද ඔහුයි.

සිනෙත් ජයවර්ධන

තරගාවලියේ ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් පළමු ශතකලාභියා වූයේ වමත් ආරම්භක පිතිකරු සිනෙත් ජයවර්ධන. ඔහු මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ එක ම තරගය වූ බංග්ලාදේශයට එරෙහි ව පන්දු 122කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 101ක් ලබා ගන්නවා.

එම රිද්මයෙන් ම දෙවැනි තරගය වූ ඇෆ්ගනිස්තානය හා සමඟ තරගයේ දී ද පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 41ක් ලබා ගන්නා සිනෙත් විශ්වසනීය පිතිකරුවෙක් ලෙසින් තරගාවලිය නිමා කරනු ඇතැයි කවුරුන් අතරත් බලාපොරොත්තු ඇති කළා.

නමුත් ඔහුට අනෙක් තරග දෙක නිමා කරන්නට සිදු වෙන්නේ ලකුණු 4ක් සහ ලකුණු 0ක් ලෙසයි.

දිනුර කළුපහන

තවමත් 17 වැනි වියේ පසුවෙන දිනුර කළුපහන ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන් අතරින්  ප්‍රමුඛයෙන් ම සටහන් වෙනවා. පිතිකරුවෙක් ලෙසින් ඉනිම් 4ක දී ලකුණු 106ක් ලබා ගන්නා දිනුර එම ලැයිස්තුවේ තෙවැනි ස්ථානය වෙන් කර ගන්නවා.

පන්දු යවන්නෙක් ලෙසින් ද දක්ෂතා දක්වන දිනුරු දකුණතින් මඳ වේගපන්දු යවමින් කඩුලු 7ක් ලබා ගන්නවා. එය මෙම තරගාවලියේ ශ්‍රී ලාංකීය පන්දු යවන්නන් අතරින්  දැක්වූ ඉහළ ම දක්ෂතාවයි.

පිතිකරු ඉනිම් අතරින් ඔහුගේ හොඳම ඉනිම බවට පත් වෙන්නේ බංග්ලාදේශය සමඟ පැවති දෙවැනි තරගයේ දී වාර්තා කරන ලද ලකුණු 49යි. එම ඉනිම වෙනුවෙන් පන්දු 82ක් වැය කරන දිනුර ඊට හතරේ පහර 3ක් සහ හයේ පහරක් ඇතුළත් කරනවා.

අනතුරුව පැවති ඇෆ්ගනිස්තානය හා සමඟ තරගයේ දී ද ඔහු පන්දු 67කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 47ක් ලබා ගන්නවා.

ඔහුගේ ඉතිරි ඉනිම් 2 ලකුණු සටහන් පොතේ ලියැවී ඇත්තේ ලකුණු 10ක් සහ ලකුණු 0ක් ලෙසයි.

පන්දු යවමින් දැක්වූ දක්ෂතා අතර දිනුරගේ හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වෙන්නේ ඇෆ්ගනිස්තානය සමඟ පැවති පළමු තරගයේ දී ලකුණු 52කට දවා ගන්නා ලද කඩුලු 3යි.

දුවිඳු රණතුංග

තවමත් 17 වැනි පසුවෙන දුවිඳු රණතුංග තරගාවලියේ කඩුලු 6ක් ලබා ගනිමින් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ දෙවැනි අසුන වෙන්කර ගන්නවා. ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වෙන්නේ ඇෆ්ගනිස්තානය සමඟ පැවති පළමු තරගයේ දී ලකුණු 51කට දවා ගත් කඩුලු 4යි.

විශ්ව ලහිරු

18 වැනි වියේ පසුවෙන වමතින් දඟපන්දු යවන විශ්ව ලහිරු පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ තෙවැනි අසුන වෙන්කර ගන්නේ කඩුලු 4ක් දවා ගනිමිනුයි. ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වෙන්නේ ඇෆ්ගනිස්තානය සමඟ වූ දෙවැනි තරගයේ දී ලකුණු 41කට දවා ගත් කඩුලු 2යි.

මෙම ක්‍රීඩකයන්ට අමතරව පිතිකරුවන් අතර විශ්ව රාජපක්ෂ ඉනිම් 4ක දී ලකුණු 102ක් ලබා ගනිමින් ද, හිරාන් ජයසුන්දර ලකුණු 95ක් සහ දුවිඳු රණතුංග ලකුණු 82ක් ලබා ගනිමින් ද දක්ෂතා දැක්වූවා.

තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වනු ඇතැයි යන විශ්වාසයෙන් යුත් ක්‍රීඩකයන් අතරින්  වඩාත් බලාපොරොත්තු අතර සිටි 18 වියැති මල්ෂ තරුපතිට මෙම තරගාවලියේ දී පිතිකරුවෙක් ලෙසින් ලබා ගැනීමට හැකි වූයේ ඉනිම 4ක දී ලකුණු 70ක් වන අතර දඟපන්දු යවමින් ලබා ගැනීමට හැකි වෙන්නේ කඩුලු 3ක් පමණයි.

ශ්‍රී  ලංකා ඇෆ්ගනිස්ථාන තරගාවලිය

මේ අතර මෙම තරගාවලියේ නිමාවත් සමඟින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයෝ ඇෆ්ගනිස්තානය සමඟ එක්දින තරග 2කට සහභාගී වීමට ද නියමිතයි. එම තරග දෙක දිවා/රාත්‍රී තරග ලෙසින් පැවැත්වේ.

තරග කාලසටහන

  • පළමු එක්දින තරගය – අප්‍රේල් 01 වැනිදා Tolerance Oval ක්‍රීඩාංගණයේ දී.
  • දෙවැනි එක්දින තරගය – අප්‍රේල් 02 වැනිදා Tolerance Oval ක්‍රීඩාංගණයේ දී.

තරගාවලියේ උණුසුම් පුවත් සමඟින් රැඳී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<