හැමදේම වෙන්නේ ඉන්දියාවේ කැමැත්තට ද?

Asia cup 2023 / ICC Cricket World Cup 2023

2565

මෙවර ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තානය ක්‍රීඩා කිරීමට නියමිත තරග බංග්ලාදේශයේ පැවැත්වීමට ඉඩ ඇති බවට පැතිර යන ආරංචිය ICC නියෝජිතයකු විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඉන්දියාව සහ පකිස්තානය අතර ඇති දේශපාලන අර්බුද නිසා එළඹෙන ලෝක කුසලානයේ දී පාකිස්තානය ක්‍රීඩා කරන තරග ඉන්දියාවෙන් පිටත පැවැත්වීමට සූදානමක් ඇති බවට ඊයේ (29) දිනයේ රාවයක් පැතිර ගියා.

ඩුබායි හී පැවති ICC සාමාජික හමුවක දී මේ බව සාකච්ඡාවට බඳුන් වූ බව සැලවුනත්, ඉන්දීය පුවත් සේවයක් වන PTI වෙත අදහස් දැක්වූ ICC නියෝජිතයකු විසින් එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

“PCB සභාපති Najam Sethi සහ බංග්ලාදේශ නියෝජිතයා Najimul Hasan අතර අවිධිමත් සාකච්ඡාවක් ඇති වුනා ද කියලා කියන්න නම් කවුරුත් දන්නේ නැහැ. නමුත් පාකිස්තානය ක්‍රීඩා කරන තරග බංග්ලාදේශයේ පැවැත්වීම ගැන සාකච්ඡාවක් නිල මට්ටමින් පැවැත්වුණේ නැති බව නම් තහවුරු කරලා කියන්න පුළුවන්. “

එමෙන්ම මේ ගැටලුවේ දී PCB වෙතින් මතු වන ප්‍රධානතම කාරණයක් වන්නේ පාකිස්තාන ක්‍රීඩකයින් හට ඉන්දියාවට පැමිණීමට වීසා ලැබේවි ද යන්නයි. නමුත් ඒ සඳහා ද ICC නියෝජිතයා විසින් පිළිතුරු ලබා දී තිබුණා.

“BCCI විසින් නිශ්චිතව ම පවසා තියෙනවා වීසා නිකුත් කිරීමේ ගැටලුවක් නැති බව. සත්කාර රට විසින් තරගාවලියට සහභාගී වන අනෙක් රටවලට නියමිත කාලයට වීසා ලබා දීම ප්‍රධානතම දේවල්වලින් එකක්. ඒ වගේම ICCය පැත්තෙන් මෙවර තරගාවලියේ සමසත්කාරක දේශයක් විදිහට බංග්ලාදේශය ගැන කිසිම සැලසුමක් තිබුණේ නැහැ.

හිතන්න, පාකිස්තානය තරගාවලියේ අවසන් පූර්ව වටයට හෝ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා කියලා. ඔවුන් ඒ තරග ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙන්නෙත් බංග්ලාදේශයේම ද?

මේක අමුතු වැඩ සිද්ධ වෙන රංග ශාලාවක් නෙවෙයි එහෙම දේවල් සිද්ධ වෙන්න.”

මෙය BCCI විසින් මෙවර ආසියානු කුසලානය පාකිස්තානයේ පැවැත්වීමට විරුද්ධ වීම සහ පසුව ආසියානු කුසලානය පාකිස්තානය සහ තවත් රටක පැවැත්වීමට කෙරුණු යෝජනාවට PCBය විසින් එකට එක කිරීමක් බව පහසුවෙන්ම වටහා ගත හැකියි.

කෙසේ වෙතත් ඊයේ පැතිරුණු ආරංචියෙන් පසුව BCCI නියෝජිතයකු විසින් PTI වෙත පවසා තිබුණේ ආසියානු කුසලානය කටාර් හෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙනු ඇති බවයි.

“මේකත් PCB වෙත ආසියානු කුසලානය නිසා ලද පීඩනය වගේම දෙයක් බව අපිට වැටහෙනවා. නමුත් ආසියානු කුසලානයත් කටාර් හෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වේවි. ඒ වගේම පාකිස්තානයත් ඒ රටක දී තරගාවලිය ක්‍රීඩා කරාවී.”

මීට පෙර ආසියානු කුසලාන සත්කාරකත්වය පිළිබඳ ලද තොරතුරුවලට අනුව නම් පැහැදිලි වුනේ ආසියානු කුසලානය පාකිස්තානයේ පැවැත්වෙනු ඇති බවත්, ඉන්දියාව ක්‍රීඩා කරන තරග පමණක් වෙනත් රටක පැවැත්වුණු ඇති බවයි. නමුත් දැන් BCCI නියෝජිතයා විසින් ඒ පිළිබඳ වෙනස්ම මතයක් ඉදිරිපත් කරන අතර මේ කිසිවක් තවමත් ස්ථිරව තීරණය වී නොමැති බව නම් වටහා ගත හැකියි.

කෙසේ වෙතත් ඉන්දියාව කිසිලෙසකින්වත් පාකිස්තානයේ ක්‍රීඩා නොකරන බව නම් ACC සභාපති මෙන්ම BCCI ලේකම් ධුරය ද හොබවන Jay Shah විසින් වගකීමෙන් යුතුව පවසා තිබෙනවා.

“ආසියානු කුසලානය පැවැත්වීමට මුදල් වෙන් වෙන්නේ ACC මගින්. නමුත් ACC කියනවා නම් ආසියානු කුසලානය රටවල් දෙකක පැවැත්වීම වාණිජමය අතින් සාර්ථක දෙයක් නෙවෙයි කියලා, පාකිස්තානය කොහොමද තමන්ගේ රටේ මේ තරගාවලිය පවත්වන්නේ. එහෙම වුනොත් ACC විසින් මුදල් ලබා දෙන එකක් නැහැ.”

PTI වෙත ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකයෙක් එසේ පවසා තිබෙනවා.

කෙසේ වෙතත් සිදු වන සියලු සිදුවීම් වලින් පෙනී යන්නේ ආසියානු කුසලානය සහ එක්දින ක්‍රිකට් ලෝක කුසලානය යන තරගාවලි ද්විත්වම පැවැත්වීම පිළිබඳ තීරණ ඉන්දියාවට වාසිදායක ලෙසින් කැරකෙමින් පවතින බවයි.

ඇති වී ඇති මෙම විසංවාද පිළිබඳ පැහැදිලි තොරතුරු ලද වහාම ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Times of India ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<