ඇතුගල්පුර සටන ඇවිලීමට පෙර

383
Maliyadeva College vs St. Anne’s College

වයඹ පළාතේ ප්‍රමුඛතම පාසල් දෙකක් වන කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය සහ මලියදේව විද්‍යාලය අතර පැවැත්වෙන 39 වැනි “ඇතුගල්පුර සටන” වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස 24 සහ 25 දෙදින කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

මෙම තරගයේ දී සාන්ත ආනා විද්‍යාලය කලිඳු විජේසිංහ විසින් මෙහෙයවනු ලබන අතර මලියදේව විද්‍යාලය අමේෂ් තෙන්නකෝන් විසින් මෙහෙයවනු ලබනවා.

දෙවිදුහල් අතර මේ දක්වා පැවති තරග 38න් තරග 6ක ජයග්‍රහණ මලියදේව විද්‍යාලය විසින් දිනාගෙන ඇති අතර මෙතෙක් සාන්ත ආනාවරුන්ට එහි පහස විඳ ගැනීමට හැකි වී නැහැ.

සාන්ත ආනා විද්‍යාලය

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ Tier A කාණ්ඩය නියෝජනය කළ සාන්ත ආනා විද්‍යාලය මෙවර මහා ක්‍රිකට් තරගය සඳහා එක් වෙන්නේ කොළඹ නාලන්දා විද්‍යාලය සහ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයට එරෙහිව ජයග්‍රහණ ලබා ගනිමින් සහ මාතර සාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව ලත් පළමු ඉනිමේ ජයග්‍රහණය ද සමඟින් වන උත්තේජනයත් සමඟින්.

තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන නායක කලිඳු විජේසිංහ 5 වැනි වර්ණලාභී ක්‍රීඩකයෙක් ලෙසින් ඇතුගල්පුර සටනට එක් වේ. ඔහු නිමා වූ පාසල් ක්‍රිකට් සමයේ දී ලකුණු 240ක් සහ දකුණතින් පා දඟපන්දු යවන්නෙක් ලෙසින් කඩුලු 20ක් ඉක්මවා ලබා ගෙන තිබෙනවා.

ඔහුගේ සහායකයා ලෙසින් කටයුතු කරන මනාන් මුසම්මිල් ලකුණු 300කට වැඩි ප්‍රමාණයක් ලබා ගනිමින් දකුණතින් පිට දඟපන්දු යවමින් කඩුලු 38ක් ලබා සිටී. ඔහුගේ පන්දු යැවීම් අතර වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලයට එරෙහිව ලකුණු 88කට ලබා ගත් කඩුලු 6 ඉහළින් ම සටහන් වේ.

ඉදිරිපෙළ පිතිකරුවෙක් ලෙසින් දක්ෂතා දක්වන සාන්ත ආනාවේ වඩාත් බලාපොරොත්තු සහගත ක්‍රීඩකයා වන්නේ මහිම කොටුවිල. ඔහු කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභීන්ගේ පළමු අසුන වෙන්කර ගෙන සිටී. වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයට එරෙහිව ලබා ගත් ලකුණු 115ක් සමඟින් ඔහු මේ වෙද්දී ලකුණු 625ක් ලබා ගෙන සිටී. කණ්ඩායමේ එක ම ශතකලාභියා වන්නේ ද මහීම.

ඔවුන්ට අමතර ව ලකුණු 450ට ආසන්නව සිටින ආදිත්‍ය නිර්වාන්, ලකුණු 400 රැඳී සිටින චමත් සසේන්ජන, යොමේෂ් සුබසිංහ සහ බුද්ධිම නන්දසිරි යන ක්‍රීඩකයෝ සාන්ත ආනාවරුන්ගේ පිතිකරු ලැයිස්තුව ශක්තිමත් කරන්නෝ ලෙසින් හැඳින්විය හැකි. මේ අතරින් බුද්ධිම නන්දසිරි කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙසින් ද දක්ෂතා දැක්වීම කැපී පෙනේ. ඔහු මේ වසරේ දී මේ දක්වා දවා ගැනීම් 30කට අධික ප්‍රමාණයකට දායකත්වය දක්වා තිබෙනවා.

පන්දු යවන්නන් අතරින් සාන්ත ආනාවරුන් අතරින් ඉදිරියෙන් ම සිටින්නේ වමතින් දඟපන්දු  යවන කෙවින් නානායක්කාර. ඔහු මේ වන විට කඩුලු 56ක් ලබා සිටිනවා. ඒ අතරට ඉනිමක කඩුලු 5කට වැඩි අවස්ථා ත්‍රිත්වයක් වාර්තා කිරීමට ද ඔහු සමත් වෙනවා. ඉන් ප්‍රමුඛ වෙන්නේ දේවපතිරාජ විද්‍යාලයට එරෙහිව ලකුණු 22කට දවා ගත් කඩුලු 5යි.

ඊට අමතර ව දකුණතින් පිට දඟපන්දු යවන යසිමින් ජයසුන්දර කඩුලු 30කට ආසන්නව දවා ගනිමින් මේ ලැයිස්තුවේ ඉදිරි පෙළ ස්ථානයක් හිමිකර ගෙන තිබෙනවා. ඔහු මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයට එරෙහිව ලකුණු 14කට කඩුලු 7ක් දවා ගනිමින් මේ වසරේ සාන්ත ආනාවරුන්ගේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට ද සමත් වෙනවා.

එමෙන් ම කණ්ඩායමේ ආරම්භක වේගපන්දු යවන කවිඳු බණ්ඩාර ද සාන්ත ආනාවරුන් වෙනුවෙන් පිටියට පිවිසෙන ප්‍රබල ක්‍රීඩකයෙක් ලෙසින් හැඳින්විය හැකියි.

මේ සියලු දෙනාගේ දක්ෂතා එක් කරන්නේ කණ්ඩායමේ පුහුණුකරු, කීර්තිමත් සාන්ත ආනාවරුයෙක් වන රන්දීර රණසිංහ මහතා.

සාන්ත ආනා විද්‍යාලයීය ක්‍රිකට් සංචිතය: කලිඳු විජේසිංහ (නායක) මනාන් මුසම්මිල් (උප නායක) මහීම කොඩිතුවක්ක, චමිත් සසේන්ජන, යොමේෂ් සුබසිංහ, ආදිත්‍ය නිර්වාන්, කවිඳු බණ්ඩාර, බසීර් ශාකීල්, ගීතික ද සිල්වා, කෙවින් නානායක්කාර, යශ්මින් ජයසුන්දර, බුද්ධිම නන්දසිරි, තිසුල අබේසිංහ, දිලීප ගුණවර්ධන, චනියල් දිමූර්, සස්මිත ජයතුංග, ජනිත් මධුසංක, කුශාන් සුබසිංහ, උදාර දිසානායක, වගීෂ රණසිංහ, නදීක ලොකුවැල්ල.

නිලධාරීන්: චන්දන හපුආරච්චි පියතුමා (විදුහල්පති) රොෂාන් ඩයස් සහෝදරතුමා (ක්‍රීඩා භාර ආචාර්ය) නිහාල් සී. දිසානායක මහතා (ක්‍රිකට් භාර ආචාර්ය) රන්දීර රණසිංහ මහතා (පුහුණුකරු)

මලියදේව විද්‍යාලය

මලියදේව විද්‍යාලය මෙවර ඇතුගල්පුර සටනට එක් වෙන්නේ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කොටස නියෝජනය කරමින් අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණීමේ ගෞරවය ද සමඟිනුයි.

කණ්ඩායමේ නායක අමේෂ් තෙන්නකෝන් මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට එරෙහිව ලබා ගත් ලකුණු 137ත් සමඟින් මේ දක්වා ලකුණු 800 ඉක්මවා ලබා ගනිමින් සහ ඊට තවත් අර්ධ ශතක 5ක් එක් කරමින් කණ්ඩායම වෙනුවෙන් මහඟු මෙහෙවරක නිතර වෙනවා. එමෙන් ම කණ්ඩායමේ කඩුලු රකින්නා ද වන අමේෂ් මේ දක්වා දවා ගැනීම් 25කට ආසන්න සංඛ්‍යාවකට දායක වී තිබෙනවා.

කණ්ඩායමේ උප නායක ගයන වීරසිංහ මෙවර තරගාවලියේ දී ලකුණු 1000 සම්පූර්ණ කළ අභිමානයත් සමඟින් ඇතුගල්පුර සටනට දායකත්වය ලබා දේ. ඔහුගේ ඉනිම් අතර ගාල්ල මහින්ද විද්‍යාලයට එරෙහිව ලබා ගත් ලකුණු 149ක්, කොළඹ රාජකීය විද්‍යාලයට එරෙහිව නොදැවී ලබා ගත් ලකුණු 135ක් සහ කොළඹ රාජකීය විද්‍යාලයට එරෙහිව නොදැවී ලබා ගත් ලකුණු120ක් සහ තවත් අර්ධ ශතක 8ක් ද ඇතුළත්.

කණ්ඩායමේ තවත් ශතක ලාභියෙක් වන පසිඳු මේනක ද මලියදේව පිතිකරණ ලැයිස්තුවේ ඉදිරි පෙළ අසුනක් වෙන්කර ගෙන තිබෙනවා. ඔහුගේ මෙවර තරගාවලියේ දී හොඳම ඉනිම බවට පත් වෙන්නේ කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලයට එරෙහිව ලබා ගත් ලකුණු 155යි.

ඊට අමතර ව ජයමින් මුතුකුමාරණ, උශාන් බිම්සර, චමත්කාර් හෙට්ටිආරච්චි සහ චන්දූප අබේසිංහ ලකුණු 300 ඉක්මවා ලබා ගනිමින් ඇතුගල්පුර සටනට පණ පොවන මලියදේවයන් අතර ප්‍රමුඛ පෙළේ බලාපොරෝත්තු අතර රැඳී සිටී.

කණ්ඩායමේ වඩාත් බලාපොරොත්තු සහගත පන්දු යවන්නා වෙන්නේ 15 හැවිරිදි වියේ පසුවෙන දිමත් අබේසිංහ. ඔහු මේ දක්වා කඩුලු 60ක් ලබා ගනිමින් මලියදේවයන් වෙනුවෙන් වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණේ පසු වේ. ඔහුගේ කඩුලු ගිණුමේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට එරෙහිව සහ කැළණිය ගුරුකුල විද්‍යාලයට එරෙහිව තරගයක දී කඩුලු 10කට වඩා වැඩියෙන් දවා ගත් අවස්ථා 2ක් ද තිබේ.

ඊට අමතර ව මලියදේවයන් අතර පන්දු යවන්නන්ගෙන් කැපී පෙනෙන්නේ වේගපන්දු යවන ගයන වීරසිංහ. ඔහු මේ දක්වා කඩුලු 26ක් දවා ගෙන තිබේ. එමෙන් ම චාරුක හේරත් සහ තවීෂ බාලසූරිය ද මලියදේවයන් වෙනුවෙන් දක්ෂතා දක්වන පන්දු යවන්නෝ ලෙසින් වර්ගීකරණය වී තිබේ.

කණ්ඩායමේ පුහුණුකරු වන්නේ සාන්ත මේරිස් විද්‍යාලයේ ආදි ක්‍රිකට් ක්‍රීඩක ජනක සෙනෙවිරත්න.

මලියදේව විද්‍යාලයීය ක්‍රිකට් සංචිතය: අමේෂ් තෙන්නකෝන් (නායක) ගයන වීරසිංහ (උප නායක) ජයමින් මුතුකුමාරණ, චමත්කාර් හෙට්ටිආරච්චි, චාරුක හේරත්, තේමිය බණ්ඩාර, හරසර සිල්වා, පසිඳු මේනක, තවීෂ බාලසූරිය, අර්ජුන් සත්සර, මලිත් කුමාරතුංග, දිමත් අබේසිංහ, රුචිර වේරහැර, උශාන් බිම්සර, පුන්සිත රොනෙත්, විශේන් සදෙව්, චන්දූප අබේසිංහ, ගිශාන් ද සිල්වා.

නිලධාරීන්: අජිත් පොන්නෙවිල (විදුහල්පති) කසුන් දිසානායක (ක්‍රීඩා භාර ආචාර්ය) මහින්ද උඩුවැරැල්ල (ක්‍රිකට් භාර ආචාර්ය) ජනක සෙනෙවිරත්න (ප්‍රධාන පුහුණුකරු) ජාලිය මදුශංක (සහාය පුහුණුකරු)

සාන්ත ආනා සහ මලියදේව විද්‍යාලාන්තර අතර පැවැත්වෙන වාර්ෂික එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය මේ මස 26 වැනි ඉරිදා වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී ම පැවැත් වීමට නියමිතයි.

මෙතෙක් දෙවිහල් අතර පැවති එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගවල දී ද ආධිපත්‍ය පතුරවාගෙන සිටීමට මලියදේව විද්‍යාලය සමත් වෙනවා. ඔවුන් මේ දක්වා තරග 12ක් ජයග්‍රහණය කරගෙන සිටින අතර සාන්ත ආනාවරුන්ට ජයග්‍රහණය කිරීමට හැකි වී ඇත්තේ තරග 10ක් පමණයි. මෙවර මෙම තරගය පැවැත්වෙන්නේ වසර ත්‍රිත්වයකට පසුවයි.

කෙසේ වෙතත් අවසන් වරට පැවති 2018 සහ 2019 වසර ද්විත්වයේ තරගවල දී සාන්ත ආනාවරුන් එක්දින සීමිත පන්දුවාර තරග ජයග්‍රහණය කරමින් එහි ආසන්නතම ජයග්‍රාහකයා ලෙසින් ආඩම්බරකාර ලෙස මෙවර තරගයට පිවිසීමට නියමිතයි.

ඇතුගල්පුර සටන වර්ණවත් කරන සාන්ත ආනාවරුන්ට සහ මලියදේවයන්ට ThePapare.com හී සුබ පැතුම්! වාර්ෂික මහා ක්‍රිකට් තරගවල උණුසුම ඒ ආකාරයෙන් ම විඳ ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<