පැතුම් සහ ප්‍රමෝද් ඕස්ට්‍රේලියා සටනට සූදානම්

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය 2022

1152

ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානය අතරතුර දී ආබාධයන්ට ලක් වූ පැතුම් නිස්සංක සහ ප්‍රමෝද් මධුශාන්ගේ ආබාධයන් සුව වී ඔවුන් යෝග්‍යතා පරීක්ෂණ සමත් වූ බව වාර්තා වෙනවා.

ඒ අනුව ඔවුන් දෙදෙනා හෙට (25) ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන සුපිරි 12 වටයේ තරගයේ කණ්ඩායම තේරීම් සඳහා ඇතුළත් වීමට නියමිතයි.

පැතුම් නෙදර්ලන්තය සමඟ පැවති තරගයේ දී ආබාධයට ලක් වීම නිසා අයර්ලන්ත තරගය ක්‍රීඩා නොකළ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ පැවති තරගයේ දී ආබාධයට ලක් වූ ප්‍රමෝද්ට පසුගිය තරග දෙකම අහිමි වුනා.

ඔවුන් දෙදෙනා අයර්ලන්තය සමඟ පැවති තරගයට පෙර සුව අතට පත්ව තිබුනත් ඉදිරි තරගවලට ඔවුන් ආරක්ෂා කරගැනීම සඳහා ඔවුන්ට එම තරගයේත් විවේක ගැන්වීමට ක්‍රිකට් බලධාරින් තීරණය කර තිබුණා.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර සුපිරි 12 වටයේ තරගය හෙට (25) පර්ත් හිදී පැවැත්වීමට නියමිතයි.

සුපිරි 12 වටයේ පළමු තරගයේ දී නවසීලන්තය හමුවේ ලද දැවැන්ත පරාජය නිසා ඕස්ට්‍රේලියාවට මෙම තරගය ජයග්‍රහණය කිරීම ඉතා වැදගත් අතර ප්‍රසාද ලකුණු සටහනේ ඉහළට පැමිණීමට ශ්‍රී ලංකාවට ද මෙම තරගය ඉතා වැදගත් වෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ සිදු වූ ආබාධ සලකා බලා කණ්ඩායමට නිරෝෂන් දික්වැල්ල, අසිත ප්‍රනාන්දු සහ මතීෂ පතිරණ කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරින් කටයුතු කර තිබෙනවා.

මූලික සංචිතය තුළට ඇතුළත් නොවන ඔවුන් තිදෙනා කණ්ඩායමට එක් වෙන්නේ අතිරේක ක්‍රීඩකයින් ලෙසයි. මෙම ක්‍රීඩකයින් හැකි ඉක්මණින් ඕස්ට්‍රේලියාව බලා පිටත් වීමට නියමිතයි.

විස්සයි විස්ස ලෝක කුසලානය තුළ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම ආබාධයන්ට ලක් වූ අතර දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මධුශංක සහ ධනුෂ්ක ගුණතිලක එසේ ආබාධ හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වුන ක්‍රීඩකයින් වෙනවා.

දවසින් දවස උණුසුම් වන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ නවතම තොරතුරු දැනගැනීමට රැඳී සිටින්න, ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<