ලහිරු සහ සූරි ගේ උත්සාහය Subrayen උදුරා ගනී

Sri Lanka A tour of South Africa

101
Sri Lanka A Team Tour of South Africa 2024 - Day 3

ලහිරු උදාර සහ පසිඳූ සූරියබණ්ඩාර එක් ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 176ක සබඳතාවක් එක් කළ ද අනෙකුත් පිතිකරුවන්ගේ සහයෝගය නොලැබී ගියෙන් ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම, දකුණු අප්‍රිකා A ක්‍රිකට් කණ්ඩායම ලබා ගත් ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 15ක් මෙපිටින් සිටිය දී තම ඉනිම නිමා කර ගත්තා.

එහි දී දකුණු අප්‍රිකාවේ 30 හැවිරිදි වියේ පසුවෙන දකුණතින් පිට දඟ පන්දු යවන Prenelan Subrayen අද දවසේ දී දැවී ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 8න් 6ක් ම ඔහු සතු කර ගත්තා.

ඔහු තම පන්දු යැවීම අවසන් කරන්නේ පන්දුවාර 21.5ක දී නිලකුණු පන්දුවාර 4ක් ද සමඟින් ලකුණු 64කට කඩුලු 6ක් දවා ගනිමිනුයි. එම දක්ෂතාවත් සමඟින් ඔහු තම පළමු පෙළ කඩුලු 200ක් ලබා ගැනීමේ කඩඉමට පිවිසීමට සමත් වුනා.

Benoni හී Willowmoore Park ක්‍රීඩාංගණයේ දී දෙරට අතර පැවැත්වෙන 2 වැනි සිවු දින නිල නොලත් ටෙස්ට් ක්‍රිකට් තරගයේ 3 වැනි දිනය වූ අද (17) දවසේ දී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 319කට සීමා වන අතර තරගය එම දිනයට නිමා වෙද්දී තම දෙවැනි ඉනිම ක්‍රීඩා කරන දකුණු අප්‍රිකා ක්‍රීඩකයෝ කඩුලු 3ක් දැවී ලකුණු 112ක් ලබා සිටියා. ඒ අනුව මේ වෙද්දී ඔවුන් ශ්‍රී ලංකාවට වඩා ලකුණු 127ක් ඉදිරියෙන් පසු වෙනවා.

සංචාරක ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද තරගයට පිවිසෙන්නේ කඩුලු 2ක් දැවී ලකුණු 134ක් ව තිබියදීයි. ඒ වෙද්දී පිටියේ රැඳී සිටි ලහිරු උදාර සහ නායක පසිඳු සූරියබණ්ඩාර 3 වැනි කඩුල්ල සඳහා නොදැවුණ ලකුණු 77ක සබඳතාවක් එක් කර තිබුණා.

ඔවුන් අද එම සබඳතාව ලකුණු 176ක් දක්වා රැගෙන ගියා. ශ්‍රී ලංකා ඉනිම ලකුණු 236ක් බවට පත් වෙද්දී දිනයේ දැවී ගිය පළමු කඩුල්ල ලෙසින් ලහිරු උදාර දැවී යනවා.

ඒ වෙද්දී ලහිරු උදාර පන්දු 192කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 129ක් ලබා සිටියා. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ 12 වැනි ශතකයයි.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව පසිඳූ සූරියබණ්ඩාර සහ ජනිත් ලියනගේ එක් ව සිව් වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 36ක සබඳතාවක් එක් කරනවා. එම සබඳතාව බිඳ වැටෙන්නේ පසිඳූ සූරියබණ්ඩාර ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 166කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 92ක් ලබා සිටියා.

පසිඳු සූරියබණ්ඩාර ගේ දැවී යෑමත් සමඟින් ශ්‍රී ලංකා ඉනිමේ කඩා වැටීම ද සිදු වුනා. එතැන් සිට පිටියට පිවිසි ක්‍රීඩකයන් අතුරින් වැඩිම ලකුණුලාභියා වූයේ ඉසිත විජේසුන්දර. ඔහු පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 21ක් ලබා ගත්තා.

ඊට අමතර ව ජනිත් ලියනගේ පන්දු 40ක දී ලකුණු 14ක් සහ සොනාල් දිනූෂ පන්දු 38ක දී ලකුණු 11ක් ලබා ගත් අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවකට පිවිසිමට හැකි වෙන්නේ නැහැ.

කඩුලු දවා ගැනීමේ දී  Prenelan Subrayen පෑ දක්ෂතාවට අමතර ව Neil Brand කඩුලු 2ක් ද, Mihlali Mpongwana සහ Beyers Swanepoel කඩුල්ලක් ද බැගින් දවා ගත්තා.

ලකුණු 15ක් ඉදිරියෙන් සිටිමින් තම දෙවැනි ඉනිම ආරම්භ කළ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ තරගයේ 3 වැනි දිනය අවසන් වන විට කඩුලු 3ක් දැවී ලකුණු 112ක් ලබා සිටියා.

එම ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 15ක් වෙද්දී දැවී ගිය ද Tshepang Dithole සහ Jean du Plessis එක් ව 2 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 46ක සබඳතාවක් එක් කළා. එහි සබඳතාව බිඳී යන්නේ ආරම්භක පිතිකරු Tshepang Dithole පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 19ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟිනුයි.

ඊට පෙර නායක Neil Brand (7) සහ Marques Ackerman (6) අඩු ලකුණුවලට දැවී ගොස් තිබුණා. තරගය 3 වැනි දිනයට නතර කරන විට Jean du Plessis පන්දු 84කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 45ක් ද සහ Dewald Brevis පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 29ක් ද ලබා සිටියා.

ඔවුන් දෙදෙනා අතර සිව් වැනි කඩුල්ල වෙනුවෙන් මෙතෙක් නොබිඳුණ සබඳතාව ලකුණු 44ක්.

කඩුලු දවා ගැනීමේ දී ඉසිත විජේසුන්දර, මොහොමඩ් ශිරාස් සහ වනුජ සහන් කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

දකුණු අප්‍රිකා A කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 334 (92.1)  Tshepang Dithole 27, Neil Brand නොදැවී 122, Marques Ackerman 37, Dewald Brevis 49, Beyers Swanepoel 34, Beyers Swanepoel 19, ඉසිත විජේසුන්දර 2/60, එශාන් මාලිංග 3/68, සොනාල් දිනූෂ 3/48

 

ශ්‍රී ලංකා A කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 319 (90.5) ලහිරු උදාර 129, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 92, ඉසිත විජේසුන්දර 21, Prenelan Subrayen 6/64, Neil Brand 2/45

 

දකුණු අප්‍රිකා A කණ්ඩායමදෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 112 (31.0) Tshepang Dithole 19, Jean du Plessis නොදැවී 45, Dewald Brevis නොදැවී 29,

තරගය හෙට (18) 3 වැනි සහ අවසන් දිනයටත් ක්‍රියාත්මකයි.

ශ්‍රී ලංකා A කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරයේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<