ඉන්දියාව අංක 1 ටෙස්ට් පන්දු යවන්නා එළියට දැම්මේ ඇයි?

WTC Final 2023

12052

මේ වන විට ICC ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් හි අංක 1 ස්ථානයේ රැඳී සිටින ඉන්දියාවේ Ravichandran Ashwin හට ඊයේ (07) දිනයෙන් ආරම්භ වූ ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගයේ ඉඩක් වෙන් නොවීම තරමක කතාබහකට ලක් වුනා.

ඒ පිළිබඳ අදහස් පල කරමින් ඉන්දීය කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන Paras Mhambrey විසින් පවසන්නේ එම තීරණය ඒ මොහොතේ පැවති තත්වය අනුව යමින් ගත් එකක් බවයි.

තරගය පැවැත්වෙන එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේ පසුගිය දින තුනක් පුරාවට ම උදෑසන කාලය තරමක් සීතල මෙන් ම, අහස ද වලාකුළින් බර වී තිබුණු බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් ඊයේ තරගය ආරම්භ වීමෙන් පසුව දිනයේ දෙවැනි සහ තෙවැනි සැසි වල තරමක හිරු රශ්මියක් පිටියට පතිත වුනා.

“ඔහු වැනි විශිෂ්ට පන්දු යවන්නෙකු ඉවත් කිරීම සෑමවිටම ඉතාමත් අසීරු තීරණයක්. උදේ තිබුණ තත්වය බැලුවහම අපට හිතුණා අමතර වේගපන්දු යවන්නකු සිටීම වාසි සහගත වෙයි කියලා.

වේගපන්දු යවන්නන් මෙහි දී අපි වෙනුවෙන් ක්‍රීඩා කළා. ඔබට ආපසු හැරී බලමින් අතිරේක දඟපන්දු යවන්නකු සිටීම වාසි සහගත වේවි කියලා කියන්න පුළුවන්. නමුත් අපි ඒ තීරණය ගත්තේ තත්වය බලලයි.”

Mhambrey විසින් Ashwin හට කණ්ඩායමේ ඉඩක් වෙන් නොවීම පිළිබඳ ලබා දුන්නේ එවන් පිළිතුරක්.

එමෙන්ම සංචිතයේ සිටින ක්‍රීඩකයින් කණ්ඩායම් සංයුතියේ වැදගත් කම ගැන හොඳින් දන්නා බවයි Mhambrey විසින් පවසන්නේ.

මේ අතර ඉන්දියාව ගත් එම තීරණයට සාධාරණයක් ඉටු කරමින් ඕස්ට්‍රේලියා ඉනිමේ ආරම්භක කඩුලු 3ක් ලකුණු 76ක් වන විට බිඳ දැමීමට ඉන්දීය වේග පන්දු යවන්නන් විසින් සමත් වුනා. නමුත් එතැනින් පසු පිටියේ එක් වූ Steven Smith සහ Travis Head විසින් ඉනිමේ සිව් වැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 251ක සබඳතාවක් පිහිටුවීමට සමත් වුනා.

“අපිට තවත් විනයක් ඇතුව පන්දු යවන්න තිබුණා. පන්දුවාර 12-13කින් පසුව අපේ විනය අඩු වුනා. අපි බලාපොරොත්තු වුනාට වඩා ලකුණු ලබා දුන්නා කියලයි මට හිතෙන්නේ.”

ඊයේ දිනයේ සිදු වූ වැරදි නිවැරදි කර ගනිමින් තරගයේ දෙවන දිනයේ දී සිය කණ්ඩායමට අළු ගසා දමා නැවත නැගී සිටිය හැකි බවයි Mhambrey විශ්වාස කරන්නේ.

ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගය පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Times of India ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<