සිම්බාබ්වේ යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

World Cup Qualifiers 2023

14300

සිම්බාබ්වේ හිදි පැවැත්වීමට නියමිත ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව මගින් මාධ්‍යයට නිකුත් කර තිබෙනවා.

මෙම සංචිතය නම් කිරීමට පෙර පැවැත්වුණු ඇෆ්ගනිස්තානය සමඟ එක්දින තරගාවලිය සඳහා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් ලෙස ඇන්ජලෝ මැතිව්ස් සහ දිමුත් කරුණාරත්න යන ක්‍රීඩකයින් කණ්ඩායමට කැඳවූ නමුත්, ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වුණු පළමු එක්දින තරගයේ දී පිත්තෙන් සාර්ථක වීමට සමත් නොවූ ඇන්ජලෝ මැතිව්ස් හට ඉතිරි තරග දෙක ක්‍රීඩා කිරීමට අවස්ථාවක් හිමි වුනේ නැහැ.

ඒ වෙනුවට කණ්ඩායමේ ස්ථානය හිමි කර ගත් සදීර සමරවික්‍රම විසින් දෙවැනි එක්දින තරගයේ දී ලකුණු අතරට පිවිසීමට සමත් වුනා. එමෙන්ම ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් දිමුත් කරුණාරත්න විසින් ද නිමා වූ තරගාවලියේ දී අර්ධ ශතක දෙකක් වාර්තා කර ගනිමින් කණ්ඩායමේ ස්ථාවර වීමට සමත් වුනා.

ඒ අනුව දිමුත් සහ සදීර ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලි සංචිතයේ ඉඩ වෙන් කර ගැනීමට සමත් වී ඇති නමුත් මැතිව්ස් හට සංචිතයේ ඉඩක් වෙන් වී නැහැ.

එමෙන්ම ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වුණු තරගාවලියේ දී තරග දෙකක් පමණක් ක්‍රීඩා කරමින් කඩුලු 6ක් බිඳ හෙළීමට සමත් වූ දුෂ්මන්ත චමීර විසින් ආබාධයෙන් පසු නැවතත් සිය සුපුරුදු රිද්මය සොයා ගෙන ඇති බවට ඉඟි ලබා දුන්නා.

එමෙන්ම නිමා වූ IPL තරගාවලිය අතරතුර ආබාධයකට ලක් වීම නිසා ඇෆ්ගනිස්තානය සමඟ පළමු තරගය ක්‍රීඩා කිරීමට අවකාශය නොලද වනිඳු හසරංග ද තරගාවලියේ ඉතිරි තරග දෙකේ දී කඩුලු 6ක් බිඳ හෙළීමට සමත් වුනා. ඒ අනුව චමීර සහ වනිඳු දෙදෙනා ද එළඹෙන සිම්බාබ්වේ සංචාරය වෙනුවෙන් සංචිතයට එක් කර තිබෙනවා.

එමෙන්ම නිමා වූ IPL තරගාවලියේ දී Chennai Super Kings වෙනුවෙන් පන්දුවෙන් විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වූ මතීෂ පතිරණ හට නිමා වූ ඇෆ්ගනිස්තානය සමඟ තරගාවලියේ දී ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වුනේ එක් තරගයකට පමණයි.

එමෙන්ම ඇෆ්ගනිස්තානය සමඟ පළමු එක්දින තරගයේ දී වනිඳුගේ අඩුව පිරවීමට කණ්ඩායමට එක් වූ දුශාන් හේමන්ත හට ද ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වුනේ එම තරගය පමණයි. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා ව ම එළඹෙන සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතයට නම් කර තිබීම විශේෂත්වයක්.

මේ අතර ආබාධයක් හේතුවෙන් කණ්ඩායමෙන් එළියට විසි වූ කුසල් ජනිත් පෙරේරාගේ ආබාධය තවමත් සුව වී නොමැති නිසා ඔහුට මෙම සංචිතයේ ඉඩක් වෙන් වී නැහැ. එමෙන්ම මෙම වසර මුල දී ඉන්දියාව සමඟ එක්දින තරගාවලියට ක්‍රීඩා කළ නුවනිඳු ප්‍රනාන්දු, දුනිත් වෙල්ලාලගේ, ජෙෆ්රි වැන්ඩර්සේ, අශේන් බණ්ඩාර, ඩිල්ශාන් මදුශංක සහ අවිශ්ක ප්‍රනාන්දු යන ක්‍රීඩකයින්ට ද මෙම සංචිතයේ ඉඩක් වෙන් වී නැහැ.

ශ්‍රී ලංකා සංචිතය – දසුන් ශානක (නායක), කුසල් මෙන්ඩිස් (උප නායක), පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, සදීර සමරවික්‍රම, ධනංජය ද සිල්වා,චරිත් අසලංක, වනිඳු හසරංග, මහීෂ් තීක්ශණ, දුශාන් හේමන්ත, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, මතීෂ පතිරණ, ලහිරු කුමාර, කසුන් රාජිත

* සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යොමු කර තිබෙනවා.

මේ අනුව ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය වෙනුවෙන් නම් කර ඇති ශ්‍රී ලංකා සංචිතය ජුනි 10 වැනිදා සිම්බාබ්වේ දේශය වෙත පිටත්ව යාමට නියමිත අතර ජුනි 13 වැනිදා තරගාවලියේ පුහුණු තරග ආරම්භ වීමට නියමිතයි. එමෙන්ම ජුනි 18 වැනිදා තරගාවලිය නිල වශයෙන් ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගාවලිය පිළිබඳ සියලු ම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<