මුම්බායි සහ බැංගලෝර් ක්‍රීඩකයන් දෙදෙනෙකුට දැඩි අවවාද!

1186

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ ඊයේ (28) දින පැවති තරගය අතරතුර දී සිදුවූ සිදුවීමක් නිසා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනකුට තරයේ අවවාද කිරීමට විනිසුරුවන් තීරණය කර තිබේ. 

මෙලෙස අවවාද කර ඇත්තේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරු Hardik Pandyaට සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක Chris Morris හටය.

එම තරගය සඳහා තරග තීරක ලෙස කටයුතු කළ Manu Nayyar විසින් ඔවුන්ට මෙලෙස අවවාද කර ඇත්තේ තරගය අතරතුර සිදුවූ බහින්බස් වීමක් නිසාවෙනි.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර තරගය ඊයේ අබුඩාබි හි Sheikh Zayed ක්‍රීඩාංගණයේ දී පැවැත්විනි.

තරගයේ මුම්බායි ඉනිමේ 19 වන පන්දුවාරයේ දී මෙම සිදුවීම සිදුව තිබිනි. එහිදී Chris Morrisගේ පන්දුවක් හමුවේ Hardik Pandya දැවී යාමෙන් අනතුරුව Morris විසින් සිදුකළ යම් අභිනයක් නිසා Hardik Pandya ද එයට ප්‍රතිචාර දක්වා තිබිනි.

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

එහිදී තරග තීරක Manu Nayyar විසින් Chris Morrisට විරුද්ධව ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ නීති සංග්‍රහයේ 2.5 වගන්තියට අදාළව චෝදනා ගොනු කර ඇති අතර එය පළමු මට්ටමේ (Level 1) වරදක් ලෙස දක්වා තිබේ.

Hardik Pandya හට එම නීති සංග්‍රහයේ 2.20 වගන්තියට අදාළව පළමු මට්ටමේ (Level 1) චෝදනා ගොනු කර තිබේ.

මෙම චෝදනා සම්බන්ධයෙන් තමන් වැරදිකරු බවට පිළිගැනීම නිසා Chris Morris සහ Hardik Pandya පිළිබඳව තවදුරටත් පරීක්ෂණයක් සිදුනොකිරිමට විනිසුරුවන් තීරණය කර තිබේ.

ඊයේ පැවති තරගයේ දී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් ලබා දුන් ලකුණු 164ක ඉලක්කය පන්දුවාර 19.1 තුළදී කඩුලු 5ක් පමණක් දැවී පසුකර යාමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය.

මුම්බායි කණ්ඩායම වෙනුවෙන් Hardik Pandya පන්දු 15 ක් තුළ ලකුණු 17ක් වාර්තා කළ අතර එයට හයේ පහර 2ක් ඇතුළත් විය.

Chris Morris සිය පන්දුවාර 4 තුළ ලකුණු 36කට එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් විය.

එම ජයග්‍රහණය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ 8 වන ජයග්‍රහණය ලෙස සටහන් වූ අතර ඔවුන් ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ද සමත් විය. ඒ අනුව තවත් තරග දෙකක් ඉතිරිව තිබිය දී අවසන් පූර්ව වටයේ තම අසුන වෙන්කර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ලකුණු සටහනේ දෙවන ස්ථානය හිමිකර ගෙන ඇත්තේ තරග 7ක් ජයග්‍රහණය කරමිනි.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<