දිනේෂ් චන්දිමාල්ගෙන් නොදැවී ලකුණු 190ක්

361
Sri Lanka v Bangladesh practice match day 2

මෑත කාලීනව ඉහළ දක්ෂතා දක්වා ඇති පෙරළිකාර බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමට එරෙහි ටෙස්ට් ක්‍රිකට් සටන ආරම්භ වීමට තවත් ඉතිරිව ඇත්තේ දින 4ක් වැනි කෙටි කාලයකි. ඊට පෙරාතුව ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම සමඟ දෙදින පුහුණු තරගයකට සහභාගි වීමේ අවස්ථාව ඊයේ සහ අද (03) දිනයන් හිදී සංචාරක බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමට හිමි විය. කණ්ඩායම් දෙකම පිත්තෙන් ඉහළ දක්ෂතා පෙන්නුම් කිරීම නිසාවෙන් ජය පරාජයෙන් තොරව නිමාවුනු මෙම තරගයේ නොදැවී ලකුණු 190ක් රැස්කල දිනේෂ් චන්දිමාල් අද දිනයේ ප්‍රධාන චරිතය බවට පත්විය.

සිල්වෙස්ටර් විදුහලට විද්‍යාර්ථ විදුහලෙන් අභියෝගයක්

සිංගර් කුසාලන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙදින තරගයක් හා සීමිත පන්දුවාර තරගයක් මෙන්ම තවත් පාසල් ක්‍රිකට් මහා තරග කිහිපයක්ම අද (3) පැවැත්විය.

ඊයේ දිනය වෙනුවෙන් තරගය නතර කරන විට කඩුලු 7ක් දැවී ලකුණු 391ක් ලබාගෙන සිටි බංගලාදේශ ක්‍රීඩකයින් අද කෙලින්ම පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලබා දුන්නේය. ඊයේ දිනයේ බංගලාදේශයට ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා ලඟා වීමට පාර කැපූ තමීම් ඉක්බාල් හතරේ පහර 9ක් සහ හයේ පහර 7ක් සමඟින් ලකුණු 136ක් රැස් කළේය. මොමිනුල් හක් ලකුණු 73යි. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් චාමික කරුණාරත්න කඩුලු 3ක් බිඳ හෙලීය.

අද උදෑසනින්ම තම ප්‍රථම ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල්පෙළ කඩුලු 3ක් ලකුණු 29ක් තුල බිඳ වැටුණි. අද දිනයේ ශ්‍රී ලංකා ආරම්භ පිතිකරු භූමිකාවට පණ පෙවූ අවිශ්ක ප්‍රනාන්දු සහ අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසි ඉරෝෂ් සමරසූරිය ඉතාමත් ඉක්මනින් ටස්කින් අහමඩ්ගේ වේග පන්දුවේ ගොදුරු බවට පත්විය. මේ දිනවල දේශීය තරග වලදී ඉහළ දක්ෂතා දක්වන රොන් චන්ද්‍රගුප්ත අද මනා පන්දු සංකලනයක් සහිත යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මුස්ටාෆිසූර් රහ්මාන්ගේ පන්දුවකට ඔහු අතටම උඩපන්දුවක් ලබාදී දැවී යනවිට ලකුණු 20ක් රැස් කරගෙන සිටියේය.

මුල්පෙළ කඩුලු අඩු ලකුණු ගණනකට බිඳ වැටුනු මොහොතේ ශ්‍රී ලංකා පිළේ ගැලවුම්කරුවන් බවට පත්වුනු දිනේෂ් චන්දිමාල් සහ රොශේන් සිල්වා සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 81ක අගනා වටිනා සබඳතාවයක් පැවැත්වීය. නැවතත් ක්‍රියාත්මක වූ ටස්කින් අහමඩ් යැවූ පන්දුවක් හමුවේ කඩුලු රකින්නා අතට උඩපන්දුවක් ලබාදී දැවී යනවිට රොෂේන් සිල්වා ලකුණු 38ක් රැස් කරගෙන සිටියේය.

මීට අමතරව ශ්‍රී ලංකා ඉනිමේ පසුපෙළ ශක්තිමත් කරමින් රුමේෂ් බුද්ධික, ලියෝ ෆ්‍රැන්සිස්කෝ සහ වනිඳු හසරංග යන ක්‍රීඩකයින් ලකුණු අතරට පිවිසීමට සමත් වූහ. මෙම සියලු දෙනාම සමග එක්වී ලකුණු සබඳතා ගොඩ නගමින් කඩුලු බිඳ වැටීම පමා කල නායක දිනේෂ් චන්දිමාල් දිනය නිමාවන විට නොදැවී ලකුණු 190ක් රැස් කරගෙන සිටියේය. ඒ මනරම් හතරේ පහර 21ක් සහ හයේ පහර 7ක් සමගිනි. තම ඉනිම සඳහා සුපරික්ෂාකාරී ආරම්භයක් ලබා ගත්තත්, ක්‍රම ක්‍රමයෙන් තම ලකුණු වේගය වැඩි කල චන්දිමාල් සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් ක්‍රියාත්මක කල 81වැනි පන්දු වාරයේ දී පිට පිටම එල්ල කල හයේ පහර 3ක් සමගින් ලකුණු 24ක් ඩැහැ ගැනීමට සමත් විය.

චන්දිමාල් සමග එක්වී 8වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 112ක නොබිඳුණු සබඳතාවයක් ගොඩ නැගූ චාමික කරුණාරත්නගේ දක්ෂතාවයන් හේතුවෙන් ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායමට බංග්ලාදේශ ප්‍රථම ඉනිම අභිබවා යාමට ද හැකි විය. පන්දුවෙන් ද දක්ෂතා දක්වමින් කඩුලු 3ක් බිඳ හෙලූ තවමත් 20 වැනි වියේ පසුවන චාමික දිනය නිමාකළේ නොදැවී අර්ධ ශතකයක් ද වාර්තා කරමිනි.

කෙසේ වෙතත් මීට දින කිහිපයකට පෙර නිමා වූ එංගලන්ත ලයන්ස් – ශ්‍රී ලංකා A ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී දිමුත් කරුණාරත්න ද්විත්ව ශතකයක් වාර්තා කිරීම ද, අද තරගයේ දී දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 190ක් වාර්තා කිරීමද ලබන 7 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇති සිංහ – ව්‍යාඝ්‍ර ටෙස්ට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණපා සිටි ගැටලු කිහිපයකට පිළිතුරු සැපයීය. නමුත් මොවුන්ගේ මෙම දක්ෂතා ගෙවුනු තරග දෙකට සීමා නොවී මේ අයුරින්ම ජාත්‍යන්තර තරග වලදීද දැකගන්නට ලැබේවා යන්න සකල ශ්‍රී ලංකාවාසී ප්‍රේක්ෂකයින්ගේ බලාපොරොත්තුව බවට පත්ව ඇත.

බංගලාදේශ (ප්‍රථම ඉනිම) – කඩුලු 7ක් දැවී ලකුණු 391 (පන්දුවාර 90): තමීම් ඉක්බාල් 136, මොමිනුල් හක් 73, ලිතන් දාස් 57*, මහමුදුල්ලාහ් 43, ශකීබ් අල් හසන් 30, චාමික කරුණාරත්න 3/61, ලසිත් ඇඹුල්දෙණිය 1/57, ලහිරු සමරකෝන් 1/70.

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – කඩුලු 7ක් දැවී ලකුණු 403 (පන්දුවාර 90): දිනේෂ් චන්දිමාල් 190*, චාමික කරුණාරත්න 50*, රොශේන් සිල්වා 38, වනිඳු හසරංග 32, රුමේෂ් බුද්ධික 32, ටස්කින් අහමඩ් 3/41, මුස්ටාෆිසූර් රහ්මාන් 2/28, සෞම්‍ය සර්කාර් 1/53.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට් ක්‍රීඩා පිටුවට