උදේ පාන්දර සංගාට ආ අමුතු තාලයේ ෆැක්ස් පණිවිඩය

අපි නෑසු ක්‍රිකට් කතා

809
Kumar Sangakkara

“ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන්නට පෙර ඒ හා සම්බන්ධව ලියවුණ දේ කියවිය යුතු බව මගේ පියාගේ මතය වුනා. ක්‍රීඩාවේ යෙදෙන්නට පෙර ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතිහාසය, සංස්කෘතිය ගැන මනා වැටහීමක් තිබිය යුතු බවත්, ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසෙන්නට හොඳම මග ක්‍රීඩාව ගැන කියවීම බවත් ඔහු නිරන්තරයෙන් අවධාරණය කළා.

මා ලබාගන්නා ලකුණු ප්‍රමාණය කෙතරම්ද කියා ඇත්තමට ඔහුට වැදගත් වුනේ නැහැ. ඔහුට ඇත්තෙන්ම වැදගත් වුනේ මා ලකුණු ලබා ගත් ආකාරය පමණයි.

මා පොත් ගුල්ලෙකු කිරීමට මගේ පියාට සෑහෙන උවමනාවක් තිබුණා. සතියක සඳුදා දිනයේ මා වෙත පොතක් ලබා දී සිකුරාදා දිනයේ අදාළ පොත ඇසුරෙන් ප්‍රශ්න ඇසීමට ඔහු පුරුදු වී සිටියා. 

Kumar Sangakkara
කුමාර් සංගක්කාරගේ මව සහ පියා. – ඡායාරූපය: cricketique.wordpress.com

මගේ අනෙකුත් සහෝදර සහෝදරයින් මේ පුරුද්දට ඇබ්බැහි කරන්නට ඔහුට නොහැකි වුනේ ඔවුන් එක හෙළා එය ප්‍රතික්ෂේප කිරීම නිසායි. පවුලේ බාලයා වූ මට වෙනත් විකල්පයක් තිබුණේ නැහැ. නමුත් මගේ කියවීමේ පුරුද්ද ඇති වූයේ මගේ පියාගේ මේ ක්‍රියාකලාපයට පිං සිදුවන්නටයි.

ක්‍රිකට් ක්‍රීඩාව ගැන පිතිහරඹය ගැන හොඳින් දැනගන්නට නම් C.B ෆ්‍රයිගේ ‘Batsmanship’, ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගේ ‘The Art of Cricket’, මයික් බෙයර්ලිගේ ‘The Art of Captaincy’ වැනි පොත් ඔහු නිර්දේශ කළ පොත් අතර වුනා.

2002 වසරේ මම මගේ මුල්ම එංගලන්ත සංචාරයේ යෙදී සිටිය දී අමුත්තෙකු මා සොයා පැමිණියා. ඔහු චාර්ල්ස් ෆ්‍රයි, C.B ෆ්‍රයිගේ මුණුබුරා.

‘C.B ෆ්‍රයි මගේ සීයා. මට ඔබට දෙන්නට තෑග්ගක් තිබෙනවා’. ඔහු පැවසුවා. C.B ෆ්‍රයිගේ ‘Batsmanship’ ග්‍රන්ථයේ දෙවන වෙළුමේ පොතක් ඔහු අත තිබුණා. ඔහුට කෙසේ හෝ මගේ පියාගෙන් මට ලැබුණ බලපෑම ගැන අසන්නට ලැබෙන්න ඇති කියා මම විශ්වාස කරනවා.

Kumar Sangakkara
කුමාර් සංගක්කාර සිය පියා සමඟ. – ඡායාරූපය: Cricketcountry.com

වරක් මම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ සංචාරයක යෙදී සිටින අවස්ථාවක හදිස්සියේම උදේ දෙකට පමණ මට නිවසින් ෆැක්ස් පණිවුඩයක් ලැබී ඇති බව හෝටලයෙන් දැනගන්නට ලැබුණා. 

මම ඉතාම කලබලයට පත්වුණා. කුමක් හෝ හදිස්සි කාරණාවක් සිදුවෙන්නට ඇතැයි මම බියට පත්වුණා. නැවත මම කල්පනා කළා එවන් හදිස්සි කාරණාවකට ෆැක්ස් පණිවුඩයක් එවන්නේ කවුද කියා. එය මගේ පියා එවූවක් බව එවලේ මට අවබෝධ වුනා.

මගේ පියා කිසිම දිනක ජංගම දුරකතනයක් පාවිච්චි කළේ නැහැ. විද්‍යුත් තැපෑල පවා ඔහු පාවිච්චි කළේ නැහැ.

එදා මට ලැබුණු ෆැක්ස් පණිවුඩයේ තිබුණේ C.B ෆ්‍රයිගේ හෝ ශ්‍රීමත් බ්‍රැඩ්මන්ගේ පොතකින් පිටු දෙකක්. එහි ඇතැම් තැන් ‍යටින් ඉරි ඇඳ විශේෂයෙන් පෙන්වා තිබූ අතර “මෙය කියවන්න. හෙට ඔබේ පිතිකරණයට මෙය උදව්වක් වේවි” එහි සටහනක් තිබුණා.

ඔහු කිසිම වෙලාවක ක්‍රීඩාව සම්බන්ධයෙන් ඔහුගේ දරුවන්ට බලපෑමක් කළේ නැහැ.

මට තවම මතකයි සති අන්තවල උදේ හය හෝ හත වන විට ඔහු මාව නැගිට්ටනවා. බොහෝ විට නිදි බව පෙන්වමින් මග හරින්නට හැදුවත්, ඔහුගෙන් කිසිම ගැලවිල්ලක් තිබුණේ නෑ.

අපේ නිවසේ පිටුපස විවිධ ක්‍රීඩාවන්ට සුදුසු ආකාරයේ ඉඩකඩ තිබුණා. කලින් එහි බැඩ්මින්ටන් මෙන්ම පසුකලෙක ටෙනිස් ක්‍රීඩා කළ හැකි ආකාරයකින් සකසා තිබුණේ. 

සමහර සති අන්තවල මගේ පියා මා සමඟ පැය ගණනාවක් පුහුණුවීම්වල යෙදෙනවා. එවන් අවස්ථාවන්හිදී මගේ මව පැමිණ මට ලැබෙන හිරිහැරය ගැන සහ උදේ ආහාරය පිළිබඳව මතක් කරන විට මගේ පියා පවසන්නේ “අපි යමක් අධ්‍යනය කරමින් සිටින්නේ එය නිමා වූ පසු ඔහුට උදේ ආහාරය ගත හැකි කියා”

එවන් සමහර අවස්ථාවන්වල මගේ පියාගේ සේවාදායකයින් ඔහු හමුවීමට පැය ගණන් බලා සිටිනවා. ඔවුන් ඔහු හමුවීමටම පැමිණියා නම් ඔහු එනතුරු ඉවසා සිටිය යුතුයි, නැත්නම් ඔවුන්ට යන්න පුළුවන් වැනි මතයකයි මගේ පියා සිටියේ. මා සමඟ ගත කරන සුළු කාලය ඔහුට ඉතා වැදගත් වුනා.

ඔහුට කිසිම දිනක මා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙසින් දකින්නට උවමනා කළේ හෝ ඒ තත්ත්වයට යෑමට බල කළේ නැහැ. ඔහුට ඕනෑ වුනේ මා කරන ඕනෑම දෙයක මගේ උපරිමයට ළඟා වීම පමණයි.

Kumar Sangakkara
ත්‍රිත්ව විද්‍යාලය නියෝජනය කරන කුමාර් සංගක්කාර. පසුපෙළ දකුණේ සිට තුන්වැන්නා. – ඡායාරූපය: Tagcricket.com

මගේ පාසල වූ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් පිටියක් වන අස්ගිරිය ක්‍රීඩාංගණය හිමිව තිබුනත් ත්‍රිත්ව විද්‍යාලය ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි එතරම් ළැදියාවක් තිබූ පාසලක් නොවෙයි. එහි ප්‍රධානතම ක්‍රීඩාව වූයේ රග්බි ක්‍රීඩාව.

එමෙන්ම මට අවුරුදු පහළොවක් හෝ දහසයක් යනතුරු ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි විශාල ඇල්මක් තිබුණේ නෑ. මගේ සමකාලීනයන් වන මහේල ජයවර්ධන, තිලාන් සමරවීර සහ අවිශ්ක ගුණවර්ධන වැන්නන් ඉතාම කුඩා අවධියේ දී ම ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ නිමිති පෙන්නුම් කළා.

මා හැදී වැඩුණු නුවර ප්‍රදේශයට අමුත්තක් නොවන වර්ෂා සහිත කාලගුණය නිසාම සෑමවිටම අස්ගිරිය ක්‍රීඩාංගණයේ  තණකොළ සහිත වේගපන්දු යවන්නන්ට ඉතාම සුදුසු තණතීරු දැකගන්නට හැකි වුනා. පාසල් තරගවල දී හැමවිටම වේගපන්දු යවන්නන් ආධිපත්‍යය පතුරවා ගෙන සිටියේ. දඟපන්දු යවන්නන්ට වඩා වේගපන්දු යවන්නන්ට හොඳින් මුහුණ දීමට මට ඉන් ලැබුණේ මනා පිටිවහලක්.

ඔබ නොඇසු තවත් කතා:

1983 කලබලකාරී සමය හය හැවිරිදි මට අමතක කළ නොහැකි කාලයක් වුනා. දමිළ පසුබිමකින් පැමිණි බොහෝ දෙනෙකුට රැකවරණය දෙන්නට මගේ පියා කටයුතු කළා. ඒ නිසාම කලබල පැවති කාලයේ මට නොයෙකුත් ක්‍රීඩාවල නිරත වීමට විශාල මිතුරු කැලක් ලැබුණා. රටේ තත්ත්වය ඉතාම බරපතළ වුනත්, මට මිතුරන් සමඟ ක්‍රිකට්, පාපන්දු හෝ වෙනත් ක්‍රීඩාවක නිරත වීම විශාල වින්දනයක් ලබා දුන්නා.

අප රැකවරණය දුන් කිසිවෙකුට කිසිදු හානියක් කිරීමට කිසිවෙකු උත්සහ කළේ නැහැ. ඒ මගේ පියා කෙරෙහි නුවර ප්‍රදේශයේ තිබූ ප්‍රතිරූපය නිසා විය යුතුයි.

වයස අවුරුදු හතක් පමණ වෙද්දී මා ටෙනිස් ක්‍රීඩාව වෙත යොමු කෙරුණා. මගේ සහෝදරියත් මා සමඟම ටෙනිස් ක්‍රීඩාවට යොමු කෙරුණා. මගේ ටෙනිස් පුහුණුකරු වූයේ ඩී. එච් ද සිල්වා මහත්මයා. ඔහු ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වගේම ඉතාම සුවිශේෂී මහත්මයෙක්.

80 දශකයේ අවසාන කාලයේ නැවත වතාවක් සිවිල් කලබල ආරම්භ වුනා, එයත් අමතක කළ නොහැකි කාලසමයක්.

ඒ සමයේ එක්තරා දිනක ටෙනිස් පුහුණුවට යෑමට මාත් මගේ සොයුරියත් අප නිවසේ සිට විනාඩි දහයක දොහක කාලයකින් ඇවිද යා හැකි දුරකින් තිබෙන ටෙනිස් ක්‍රීඩාංගණයට සූදානම් වුනා. ඒ අවස්ථාවේ දී අපිට ලැබුණ පණිවිඩය අදහාගත නොහැකි වුනා.

ටෙනිස් පුහුණු වන ස්ථානයට පැමිණි ආයුධ සන්නද්ධ කිහිප දෙනෙකු ඩී. එච් ද සිල්වා මහතාට වෙඩි තබා තිබුණා. ඒ සිදුවීම අපව සෑහෙන සසල කළ සිද්ධියක්. වෙඩි උණ්ඩ දෙකක් වැදී තිබුණේ එතුමාගේ උදර ප්‍රදේශයට. බිම වැටී සිටිය දී හිසට වෙඩි පහරක් එල්ල කිරීමට ඝාතකයින් තැත් කළත් ඩී. එච් ද සිල්වා මහතාගේ වාසනාවකට පිස්තෝලය ඒ අවස්ථාවේ දී හිරවී තිබුණා. 

ඩී. එච් ද සිල්වා මහතා තරමක් තරබාරු කෙනෙක් නිසා වාසනාවකට වෙඩි ප්‍රහාරයෙන් දිවි ගලවා ගැනීමට එතුමා සමත් වුනා. සුව වූ වහාම එතුමා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචියට ගියා. එතුමා ඉකුත් සිද්ධියෙන් පසු මුල්ම වතාවට ශ්‍රී ලංකාවට පැමිණියේ 2011 ලෝක කුසලාන තරගාවලිය නැරඹීමට මා කළ ආරාධනාවකටයි.”

Sky Sports වෙනුවෙන් හිටපු එංගලන්ත නායක මයිකල් ඇතර්ටන්, හිටපු ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර සමග කළ Atherton meets Sangakkara වැඩසටහන ඇසුරෙනි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<