ක්‍රිකට් ආයතනය නොමග යවලා – පානදුර ක්‍රීඩා සමාජයෙන් චෝදනාවක්

238

චාමර සිල්වා ඇතුළු සිය කණ්ඩායමට පැනවූ තරග තහනම ඉවත් නොකරන්නේ නම් ඒ පිළිබඳ නීතියේ පිළිසරණ පැතීමට සිදුවන බව පානදුර ක්‍රීඩා සමාජය පවසයි. මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් එම ක්‍රීඩා සමාජයේ නිලධාරීන් පැවසුවේ තරගයේ විනිසුරුවන් දෙදෙනා සහ තරග තීරකවරයා විසින් ත්‍රිපුද්ගල විමර්ශන කමිටුව නොමග යවා ඇති බවයි.

මේ වසරේ ජනවාරි 23 සිට 25 දක්වා මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ දී පානදුර ක්‍රීඩා සමාජය සහ කළුතර කායවර්ධන කවය අතර පැවති අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් “බී” කාණ්ඩයේ තරගයේ සිදු වූ අසාමාන්‍ය සිදුවීම් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පත් කළ නීතිඥ අසේල රැකව මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ත්‍රිපුද්ගල විමර්ශන කමිටුව සිදු කළ පරීක්ෂණයෙන් අනතුරුව එහි සොයා ගැනීම් පදනම්  කර ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව අදාළ ක්‍රීඩා සමාජ දෙකටම දඬුවම් නියම කළේ මීට දින කිහිපයකට පෙරයි.

චාමර සිල්වාගේ තරග තහනම සාධාරණීකරණය කරයි

පසුගිය පැය 48ක කාලය තුළ බොහෝ දෙනෙකු අතර කතාබහට ලක්වූ මාතෘකාව වූයේ කළුතර කාය වර්ධන කවය සහ පානදුර ක්‍රිකට් සමාජය අතර පසුගිය…

එහි දී කණ්ඩායම් දෙකේ නායකයන්ට වසර දෙකක සහ අනෙකුත් ක්‍රීඩකයන්ට මෙන්ම පුහුණුකරුවන්ට වසර බැගින් වූ තරග තහනම් පනවන ලදි. ඊට අමතරව තරගයේ ප්‍රතිඵලය ශුන්‍ය කිරීමටත්, ඊට අදාළ ප්‍රතිඵල අවලංගු කිරීමටත්, ක්‍රීඩා සමාජ දෙකට රුපියල් ලක්ෂ 5 බැගින් වූ දඩ මුදල් පනවන්නටත් ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබුණි. මේ තීරණයත් සමඟ පානදුර ක්‍රීඩා සමාජයට අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් බී කාණ්ඩයේ ශූරතාව අහිමි වීම හේතුවෙන් කාණ්ඩයට ලද උසස්වීම අහිමි වීමත්, කළුතර කායවර්ධන කවය සරා කුසලාන තරගාවලිය දක්වා පහතට වැටීමත් සිදුවීමට නියමිතයි.

ඊයේ (20) පානදුර ක්‍රීඩා සමාජයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී පානදුර ක්‍රීඩා සමාජයේ සභාපති ජයන්ත සිල්වා මහතා පැවසුවේ විමර්ශන කමිටුවේ අවසන් තීරණය ගත් දිනයේ දී තම පාර්ශවය විමර්ශන කටයුතු සඳහා සහභාගී කරවා නොගත් බවයි.

අපි පළමු දිනයේ විමර්ශනය සඳහා අපේ ක්‍රීඩකයන් සියලු දෙනාම බස් රථයකින් රැගෙන ගියා. චාමර සිල්වාත් ඊට සහභාගී වුනා. විමර්ශනය පැවති ස්ථානය කුඩා නිසා සියල්ලන්ටම ඊට සහභාගී වෙන්න බැරි නිසා අපගේ නීතිඥයන් පැවසුවා පානදුර ක්‍රීඩා සමාජය සහ චෝදනා ලැබූ සියලු ක්‍රීඩකයන් වෙනුවෙන් ඉදිරිපත් වන බව. නමුත් කිසිම දිනක අපගෙන් හෝ ක්‍රීඩකයන්ගෙන් හරස් ප්‍රශ්න ඇසුවේ නැහැ. විමර්ශනය දින 9ක් පැවැත්වුණා, ඉන් දින 8කටම  අප සහභාගී වුනත් අවසන් දිනයේ විමර්ශන සැසියට සහභාගී වන ලෙස අපට දැනුම් දී තිබුණේ නැහැ. ඔවුන් දැන්වූ බව කීවත් අපට දැනුම්දී තිබුණේ නැහැ. එදින ප්‍රශ්න කර තිබෙන්නේ අදාළ තරගයේ විනිසුරුවන් දෙදෙනාගෙන් සහ තරග තීරකවරයාගෙන්. අපවත්, අපගේ ක්‍රීඩකයන්වත්, අපගේ නීතිඥයන් වත් නොමැතිව එදින තීන්දුවක් දෙන්න කටයුතු කරලා තියෙන්නේ . මෙතන යම්කිසි කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බව පැහැදිලියි.

පානදුර ක්‍රීඩා සමාජ සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ අදාළ තරගයේ දී සිදු වූ බව කියන විනය විරෝධී කටයුතු පිළිබඳ විනිසුරුවන් හෝ තරග තීරකවරයා එදින නිසි ක්‍රියා පිළිවෙතක් අනුගමනය කර නොමැති බවයි.

තරග තීරකවරයාට තිබෙනවා පිටු 4කින් යුතු වාර්තාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහ අයි. සී. සී (ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය) වෙත ලබා දීමට. තරගයේ යම් වරදක් සිදු වුනා නම් එම වාර්තාවේ අනිවාර්යයෙන්ම සඳහන් කළ යුතුයි. නමුත් තරග තීරකවරයා එම වාර්තාව තවමත් යවලා නැහැ. ක්‍රීඩාංගණයේ තත්ත්වය පිළිබඳ වාර්තාවෙත් සඳහන් කරලා තියෙන්නේ ක්‍රීඩාංගණය තරගයක් පවත්වන්න ඉතා සුදුසු මට්ටමක තිබුණා කියලයි. විනිසුරුවන් පවා වාර්තාව අත්සන් කරලා තියෙනවා. නමුත් තරග තීරකවරයා පසු දිනයක් හෝ සඳහන් කිරීමෙන් තොරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යැවූ ලිපියකින් තමයි කියන්නේ තරගයේ අසාමාන්‍ය සිදුවීම් තිබුණු බව. විනිසුරුවන් දෙදෙනාත් තරග දිනයේ ලබා දෙන වාර්තාවේ කිසිවක් සඳහන් නොකර පසුදින (ජනවාරි 26) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විද්‍යුත් තැපැල් පණිවිඩයක් යවමින් තමයි තරගයේ අසාමාන්‍ය සිදුවීම් තිබුණු බව වාර්තා කරන්නේ.

තරග පාවාදීමක් හෙළි වේ; චාමරට දඬුවම්

2016/17 තරග වාරයේ දී පළමු පෙළ කණ්ඩායම් 2කට අදාළව මුදලට තරග පාවාදීමේ චෝදනාවන් විමර්ශනය කිරීමට පත් කරනු ලැබූ පරීක්ෂණ කමිටුව විසින් සිය තීරණය අද ප්‍රකාශයට පත්කරන ලදි.

1924 වසරේ ආරම්භ වී දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන පානදුර ක්‍රීඩා සමාජය කිසිම දිනක ක්‍රීඩාවේ ජීව ගුණය විනාශ කිරීමට සම්බන්ධ වී නොමැති බවත්, මෙම සිදුවීම තම ක්‍රීඩා සමාජයේ කීර්තිනාමය විනාශ කිරීමේ සැලැස්මක් බවත් පානදුර ක්‍රීඩා සමාජයේ ලේකම් රුවන් සමරනායක මහතා පවසයි.

අපි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කාරුණික ඉල්ලීමක් කරනවා. අපේ ක්‍රීඩකයන් ටික නිදහස් කරන්න, අපේ කපපු ලකුණු ටික ලබා දෙන්න, අපේ ශූරතාව නැවත ලබා දෙන්න මේ පිළිබඳ අපි ක්‍රිකට් ආයතනයෙන් ලිඛිත ඉල්ලීමක් කරනවා. ඒකට ප්‍රතිචාර නොදක්වුවොත්  එහාට යා යුතු වනවාමයි. එසේ වුනොත් නීතියේ පිළිසරණ අපි පතනවා. සමරනායක මහතා පැවසීය.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙවර තරගාවලියේ තවත් තරග කිහිපයකම මෙම තරගයට සමාන ලකුණු වේගයක් පවත්වාගත් අවස්ථා දක්නට ලැබෙන බවයි. කෙසේ වෙතත් මෙම තරගයේ දී පිතිකරුවන් ඉහළ ලකුණු වේගයක් රඳවා ගනිද්දී පවා පන්දු රකින්නන් සියලු දෙනාම පාහේ පිතිකරු ආසන්නයේ පන්දු රැකීමට යෙදවීම පිළිබඳ මාධ්‍යවේදීන් සිදු කළ ප්‍රශ්න කිරීමට සමරනායක මහතා පිළිතුරු දුන්නේ ඇයි කොහේ හරි තියනව ද එහෙම බෑ කියලා. තරග නීති රීතිවල තියනව ද, අයි සී සී නීතිවල තියනව ද එහෙම බෑ කියලා නුවෙනුයි.

මෙම ආන්දෝලනාත්මක තරගයේ අවසන් දිනය තුල දී කණ්ඩායම් දෙකේ ඉනිම තුනක් පන්දුවාර 60ක් තුල ක්‍රියාත්මක වූ අතර එහි දී ලකුණු 600කට අධික ප්‍රමාණයක් වාර්තා විය. එම අසාමාන්‍ය තත්ත්වය පිළිබඳ විමර්ශනය කිරීමට පත් කළ විමර්ශන කමිටුවේ තීරණය ලෙස දැනුම් දී තිබෙන්නේ කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයන් මෙම තරගය තුල ක්‍රීඩාවේ ජීව ගුණයට විරුද්ධ වන ආකාරයෙන් ක්‍රීඩා කිරීම හේතුවෙන් අවිචාරයාත්මකව (Misconduct) ක්‍රීඩා කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවේ 30 වන පරිච්ඡේදය යටතේ එල්ල වූ චෝදනාවට වරදකරුවන් බවයි.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට