සුලෝහිත හොකි තරගයට ආනන්ද-නාලන්ද සහෝදරයෝ සූදානම්

656

පාසල් හොකී ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ නොමැකෙන සන්ධිස්ථාන රැසක් සනිටුහන් කිරීමට සමත්වූ පාසල් ද්විත්වයක් ලෙස කොළඹ ආනන්ද හා නාලන්ද විදුහල් දැක්විය හැක. ඒ අන් දෙයක් නිසා නොව ලාංකේය පාසල් ද්විත්වයක් විසින් පවත්වන ප්‍රමුඛතම සහෝදරත්ව හොකී තරග ඉතිහාසයකට ඔවුන් උරුමකම් කියන නිසාය. එහි 16 වැනි අදියර මෙවර ද එළඹෙන 15 වන දා කොළඹ ඇස්ට්‍රෝ ටර්ෆ් ජාත්‍යන්තර හොකී ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

100 වැනි ස්ටබ්ස් පළිහ රාජකීයයන්ගේ භාරයට

ශ්‍රී ලංකාවේ පැරණිතම පාසල් බොක්සිං තරගාවලිය සේ සැලකෙන ස්ටබ්ස් පළිහ සඳහා වන බොක්සිං තරගාවලියේ අවසන්..

ආනන්ද – නාලන්ද හොකී තරගයේ ඉතිහාසය 1990 වසර දක්වා දිවයයි. එවකට ආනන්ද කණ්ඩායමේ නායකයා වූ තරූෂ ජයසිංහ හා නාලන්ද කණ්ඩායමේ නායක දිනෙත් වික්‍රමසිංහ යන ක්‍රීඩකයන්ගේ නායකත්වය යටතේ පළමු ආනන්ද-නාලන්ද හොකී තරගය පැවැත්විය. එහි ජයග්‍රහණය හිමි කර ගැනීමට නාලන්ද විදුහල සමත් විය.

මෙම පාසල් ද්විත්වය අතර මේ වන විට වාර්ෂික සහෝදර හොකී තරග 15ක් පවත්වා ඇති අතර එයින් වැඩි ගෞරව දිනාගෙන ඇත්තේ තරග 10ක් ජයගෙන ඇති නාලන්ද කණ්ඩායමයි. ආනන්ද විද්‍යාල කණ්ඩායම තරග 4ක් පමණක් ජයගෙන ඇති අතර පාසල් ද්විත්වය අතර පැවැත්වූ එක් තරගයක් පමණක් මේ වන විට ජය පැරදුමෙන් තොරව නිමාවට පත්වී ඇත.

කොළඹ නාලන්ද විද්‍යාල හොකී කණ්ඩායම 1993, 1994, 1995, 1999, 2000, 2001 හා 2004 වර්ෂ හීදී පැවැත්වූ සුලෝහිත හොකී තරගය ජයග්‍රහණය කර ඇති අතර ආනන්ද විද්‍යාල කණ්ඩායම 1990, 1992, 1996, 1997 හා 1998 වර්ෂ හිදී මෙම තරගය ජයගෙන ඇත. 2004 වර්ෂයෙන් පසුව ආනන්ද-නාලන්ද සුලෝහිත හොකී තරගය පැවැත්වූයේ 2014 වර්ෂයේ දී වන අතර එහි ද ජයග්‍රහණය හිමි කර ගැනීමට ද සමත් වූ නාලන්ද කණ්ඩායම ඉන් නොනැවතී 2015 හා 2016 දී ද ජයග්‍රහණය ඔවුන් සතු කර ගැනීමට සමත් විය.

අවසන් වරට පැවති ආනන්ද-නාලන්ද සුලෝහිත හොකී තරගයේ දී කොළඹ ආනන්ද විද්‍යාල කණ්ඩායමට නායකත්වය ලබා දුන්නේ මයංග තන්තිරිගේ වන අතර නාලන්ද කණ්ඩායමට නායකත්වය ලබා දුන්නේ චාමර විමුක්ති ය. එහි දී ගෝල 3-2ක් ලෙස ජයග්‍රහණය හිමි කර ගත්තේ නාලන්ද විද්‍යාල කණ්ඩායමයි.

16 වැනි වාර්ෂික ආනන්ද – නාලන්ද සහෝදරත්ව හොකී තරගය මෙම මස 15වන ඉරු දින කොළඹ ඇස්ට්‍රෝ ටර්ෆ් ජාත්‍යන්තර හොකී ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇත. මෙවර ආනන්ද විදුහල් කණ්ඩායමේ නායකත්වය උදුල රත්නායක විසින් දරණ අතර බෝධික ඩයස් නාලන්ද කණ්ඩායමේ නායකත්වය හොබවයි.

ශ්‍රී ලංකා හොකී කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් මෙවර පාසල් ද්විත්වය නියෝජනය කරන අතර ආනන්ද විද්‍යාල කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන නායක උදුල රත්නායක, පසිඳු ජයසේකර, සනුල් සේනාරත්න, සේනිය වික්‍රමසිංහ යන ක්‍රීඩකයින් ද, නාලන්ද විද්‍යාලයීය නායක බෝධික ඩයස්, ජීවන් එදිරිසිංහ, හේලිත පතිරණ, රවිඳු පැහැසර යන ක්‍රීඩකයන් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් ලෙස හැදින්විය හැක.

ජාතික කණ්ඩායම මෙන්ම කොළඹ දිස්ත්‍රික් පාසල් හොකී කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් ද කණ්ඩායම් ද්විත්වයට මෙවර ශක්තියක් ගෙන ඒමට සූදානම්ව සිටී.

මෙවර පැවැත්වීමට නියමිත 16 වැනි ආනන්ද-නාලන්ද සුලෝහිත හොකී තරගයේ ආනන්ද විද්‍යාල කණ්ඩායමේ නායක උදුල රත්නායක ThePapare.com වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ තම කණ්ඩායම මෙවර තරගය සඳහා මනාව පෙර පුහුණුවීම්වල නිරත වෙමින් කැපවීමෙන් යුතුව තරගය ජය ගැනීමට සූදානමින් සිටින බවත් මෙවර ආනන්ද මාතාවට 16 වැනි සුලෝහිත හොකී තරගයේ ජයග්‍රහණයේ ගෞරවය ගෙන ඒමට තමන් ප්‍රමුඛ කණ්ඩායම දැඩි අධිෂ්ඨානයෙන් යුතුව ක්‍රීඩා කරන බවත්ය. තවද සියලුම සහෝදර ආනන්දීයන්ට හා නාලන්දීයන්ට මෙම තරගය නැරඹීමට ඔහු ආරාධනා කර සිටියේය.

ආනන්ද විද්‍යාල හොකී කණ්ඩායමේ වත්මන් පුහුණුකරු වන දුශාන්ත පෙරේරා මහතා තම කණ්ඩායම පිළිබඳව අප සමඟ අදහස් දක්වමින් පවසා සිටියේ තම කණ්ඩායම අත්දැකීම් හා දක්ෂතාවලින් පරිපූර්ණ ක්‍රීඩකයන් සිටින කණ්ඩායමක් බවත් මෙවර තරගය ඔවුන් සාර්ථකව අවසන් කරනු ඇතැයි ඔහු විශ්වාස කරන බවත්ය.

නාලන්ද විද්‍යාල කණ්ඩායමේ නායකත්වය දරණ බෝධික ඩයස් ද ThePapare.com අප සමඟ අදහස් දැක්වීමක නිරත වූ අතර ඔහු පවසා සිටියේ පසුගිය වර්ෂ ත්‍රිත්වයේ දී ලෙසම මෙම වර්ෂයේ දී ද අනෙක් කණ්ඩායමට අභියෝගයක් වෙමින් ජයග්‍රහණය සිය පාසලට රැගෙන ඒමට තමන් ප්‍රමුඛ කණ්ඩායම මනා සූදානමකින් සිටිනා බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වීමට අප සමඟ එක් වූ නාලන්ද හොකී කණ්ඩායමේ වත්මන් පුහුණුකරු වන චාමික ලැනරෝල් මහතා සඳහන් කර සිටියේ තම කණ්ඩායම ජයග්‍රාහී මානසිකත්වයෙන් යුතුව මෙම තරගය සඳහා මනා සූදානමින් පසුවන බවයි.

16 වැනි ආනන්ද-නාලන්ද සුලෝහිත හොකී තරගය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත කණ්ඩායම් ද්විත්වය පහත වේ.

ආනන්ද විද්‍යාල කණ්ඩායම

  • උදුල රත්නායක (නායක)
  • අවිශ්ක චිරන්තන (උපනායක)
  • කෝලිය ජයකොඩි
  • වින්දුල තිලාන්
  • පසිඳු ජයසේකර
  • සනුල් සේනාරත්න
  • නිරෝධ ලියනාරච්චි
  • චමෝද් ගුණසේකර
  • හරින්සූ බණ්ඩාර
  • ඔසාන් ලියනගේ
  • සන්දිල් රන්තිලාරච්චි
  • යොවින්දු බානුල
  • දිලූෂ මිහිරංග
  • ගේෂෝන් ප්‍රනාන්දු
  • මාලක රන්දෙන්
  • උදුල අබේසේකර
  • ගයාන් සස්මිත
  • ඔෂාන් රවිශේක
  • සංකජ රණතුංග
  • ජනුර සෙනුල

නාලන්ද විද්‍යාල කණ්ඩායම

  • බෝධික ඩයස් (නායක)
  • ගිහාන්ත කවිශ්ක (උප නායක)
  • චින්තන අකලංක
  • රවිඳු පැහැසර
  • සූධාර සචින්ත
  • හේලිත පතිරණ
  • හේමාල් තෙපොළිය
  • ඉන්ධීර බණ්ඩාර
  • ජිවන්ත පසන්
  • ඒශාන් ධනුජය
  • කාවින්ද්‍ය හෙට්ටිආරච්චි
  • කලන රාජිත
  • ඔනෙල නිරුත්
  • චමෝද්‍ය උත්පල
  • තනූෂ සන්දීප
  • මහින්ස වාසල
  • හසිදු නිම්සර
  • කළණ මධුවන්ත
  • සුගන්ෂ සපුමල්
  • මොවින්දු එනුක

16 වන ආනන්ද-නාලන්ද සහෝදරත්ව හොකී තරගයේ සියලු තොරතුරු ThePapare.com හරහා ඔබ වෙත ගෙන ඒමට අපි සූදානම්.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<