චාමර සිල්වාගේ තරග තහනම සාධාරණීකරණය කරයි

334
SLC independent

පසුගිය පැය 48ක කාලය තුළ බොහෝ දෙනෙකු අතර කතාබහට ලක්වූ මාතෘකාව වූයේ කළුතර කාය වර්ධන කවය සහ පානදුර ක්‍රිකට් සමාජය අතර පසුගිය ජනවාරි මාසයේ දී පැවති ගෘහස්ථ ක්‍රිකට් තරගයක දී වර්ෂාවෙන් බාධා එල්ල වූ අවසන් දිනයේ දී පන්දුවාර 59ක් තුළ ලකුණු 603ක් සහ කඩුලු 24ක් වාර්තා වීමට අදාළව මුදලට තරග පාවාදීමේ චෝදනා මූලික කරගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව දෙනු ලැබූ තීරණය යි.

තරග පාවාදීමක් හෙළි වේ; චාමරට දඬුවම්

2016/17 තරග වාරයේ දී පළමු පෙළ කණ්ඩායම් 2කට අදාළව මුදලට තරග පාවාදීමේ චෝදනාවන් විමර්ශනය…

එම අදාළ තරගයේ පළමු දින දෙක තුළ දී වාර්තා වූයේ පිළිවෙළින් කඩුලු 8කට ලකුණු 362ක් (පන්දුවාරයකට 3.85 බැගින්) සහ කඩුලු 4 කට ලකුණු 207ක් (පන්දුවාරයකට 3.83 බැගින්) පමණි. කඩුලු 05ක් දැවී ලකුණු 171ක් ලබාගෙන සිටි කළුතර කාය වර්ධන කවයේ කණ්ඩායම ලකුණු 197කට සියලු දෙනා දැවී යාමෙන් අනතුරුව ලකුණු 165ක ජයග්‍රාහී ඉලක්කය පානදුර ක්‍රිකට් සමාජ කණ්ඩායම පන්දුවාර 13.4ක දී හඹා යන්නට සමත් විය. එහි දී පන්දු වාරයකට ලකුණු ලබාගැනීමේ වේගය 12.24ක් වශයෙන් සටහන් විය.

“තරග විනිසුරුවරු සහ තීරකවරුත්, ඉන් පසුව වරාය අධිකාරියත් මේ පිළිබඳව පැමිණිලි කළාට පස්සේ අපි පුහුණුකරුවන්ට ද ඇතුළුව පුද්ගලයින් 27 දෙනෙක්ට චෝදනා පත්‍ර යොමු කළා. එම ක්‍රීඩා සමාජ දෙකේ නිලධාරීන් පැමිණිල්ලට අදාළ වුනේ නැහැ. ඒ අනුව ස්වාධීන කමිටුවේ අවසන් තීරණයට අනුව අදාළ ක්‍රීඩකයින් සියලු දෙනාම ක්‍රිකට් ක්‍රීඩාවට අගෞරව කිරීම නිසා වැරදිකරුවන් ලෙස තීරණය වුනා. මේ සිදුවීමට මුදල් සම්බන්ධ වුනා කියලා සාක්‍ෂි නැහැ. ඒ නිසා මේක මුදලට තරග පාවාදීමක්වත්, දූෂණයට අදාළ සිදුවීමක් වත් නෙමෙයි.”  

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තරගාවලි කමිටුවේ සභාපති බන්දුල දිසානායක මහතා පවසා සිටියේ ය.

මෙම සිදුවීමට සම්බන්ධ ප්‍රසිද්ධම සහ අත්දැකීම් බහුලම ක්‍රීඩකයා වන්නේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම අවසන් වරට 2011 වසරේ දී නියෝජනය කරනු ලැබූ චාමර සිල්වා යි. ඔහු පානදුර ක්‍රිකට් සමාජයේ නායකයා මෙන්ම පුහුණුකරු ලෙස ද කටයුතු කළ අතර ඒ අනුව ඔහු සමඟින් කළුතර කාය වර්ධන කවයේ නායක මනෝජ් දේශප්‍රිය හට වසර 2ක තරග තහනමක් පැනවෙන ලදි.

“මෙහි දී ඉදිරිපත් කරන ලද ලියකියවිලි වලට අනුව චාමර සිල්වා තරගයේ අවසන් දිනයේ දී නායකයාගේ වාර්තාව අත්සන් කරන්න හිටිය නැති බව හොඳටම පැහැදිලියි. නමුත් ඊයේ වෙනකන් ඔහුගේ පැත්තෙන්  තීරණය සම්බන්ධයෙන් කිසිදු නිදහසට කරුණක් ඉදිරිපත් වුනේ නැහැ. අපි විමර්ශනයේ දී ඔහුව සැලකිල්ලට ගත්තෙත් අනෙක් ක්‍රීඩකයින්ව සැලකිල්ලට ගත්ත ආකාරයටමයි. අපි එහි දී තරගයේ අවසන් දිනය ගැන විතරක් නෙමෙයි සැලකිල්ලට ගත්තේ. අපි මුළු තරගයම සැලකිල්ලට ගත්තා. එහි දී ඔහු දින 3ක තරගයක් ක්‍රීඩා කළ කණ්ඩායමක නායකයෙක්. ඒ වගේම තහනමට ලක්වුණ ඕනෑම ක්‍රීඩකයෙක්ට හෝ පුහුණුකරුවෙක්ට ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අභියාචනයක් ඉදිරිපත් කරන්න හැකියාව තියෙනවා.”

විමර්ශන කමිටුවේ සභාපති අසේල රැකව මහතා මෙහි දී අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

එමෙන්ම එම අදාළ තරගය සහ එහි තීරණය බල ශුන්‍ය කරන බවත්, අදාළ ක්‍රීඩා සමාජ දෙකටම රුපියල් ලක්‍ෂ 05 ක දඩ මුදලක් පනවන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහි දී තවදුරටත් ප්‍රකාශ කළේය. ඒ අනුව ප්‍රිමියර් ලීග් තරගාවලියේ B කාණ්ඩයේ නව ලකුණු පුවරුව තවමත් ප්‍රකාශ කර නොමැති නමුත් මෙම තීරණයට අනුව බොහෝ දුරට පානදුර ක්‍රිකට් සමාජය එහි දෙවන ස්ථානය දක්වා පසුබසිනු ඇත. ඒ අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඉහළ කාණ්ඩයට උසස් වීමක් ලබාගනු ඇති අතර කළුතර කාය වර්ධන කවය පහළ කාණ්ඩය දක්වා පහත් කෙරෙනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම සිදුවීමට අදාළ තීරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව චාමර සිල්වා හට සහාය දැක්වීම සඳහා බොහෝ දෙනා එක්විය. එහි දී ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙක් වන මහේල ජයවර්ධන ‘twitter’ පණිවිඩයක් නිකුත් කරමින් පවසා සිටියේ;

“මේක සාධාරණය වෙන්නේ කොහොමද? මුදලට තරග පාවාදෙන්නේ නැතුව ඒකෙන් ඉවත්වෙන ක්‍රීඩකයාට වසර 2ක තරග තහනමක්. චාමර කියන්නේ මාත් සමඟ ක්‍රීඩා කරපු අවංකම ක්‍රීඩකයින් අතරින් කෙනෙක්. ක්‍රීඩා සමාජවල නිලධාරීන් කව්රුහරි මේකට අනුබල දුන්නා නම් ජීවිතාන්තය දක්වා ඔවුන්ගේ ක්‍රිකට් තහනම් කරලා අපි උදාහරණයක් වෙන්න ඕනේ.”

තවදුරටත් චාමර සමඟින් ජාතික කණ්ඩායම කණ්ඩායම නියෝජනය කළ රසල් ආර්නල්ඩ් ද ‘twitter’ පණිවිඩයක් නිකුත් කරමින් පවසා සිටියේ;

“චාමර සිල්වා ගැන ඉතාමත් කණගාටුයි. මම ඔහුට ගොඩක් ගෞරව කරනවා. මේ සිදුවුණ දේ ගැන හිතාගන්න අමාරුයි.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට <<