තරග පාවාදීමක් හෙළි වේ; චාමරට දඬුවම්

1206

2016/17 තරග වාරයේ දී පළමු පෙළ කණ්ඩායම් 2කට අදාළව මුදලට තරග පාවාදීමේ චෝදනාවන් විමර්ශනය කිරීමට පත් කරනු ලැබූ පරීක්ෂණ කමිටුව විසින් සිය තීරණය අද ප්‍රකාශයට පත්කරන ලදි.

කළුතර කාය වර්ධන කවය (Kalutara Physical Culture Club) සහ පානදුර ක්‍රිකට් සමාජය යන ක්‍රීඩා සමාජ දෙක අතර පැවති තරගයක දී, වර්ෂාවෙන් බාධා එල්ල වූ අවසන් දිනයේ දී, පන්දුවාර 59ක් තුළ ලකුණු 603ක් සහ කඩුලු 24ක් වාර්තා වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලදි.

ධවාන්ට එක්දින තරගාවලියේ පළමු තරග 3 අහිමි වේ

වත්මන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවේගකාරී ආරම්භක පිතිකරුවෙකු වන ශිකර් ධවාන්, ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිත තරග 5කින් යුතු එක්දින තරගාවලියේ පළමු තරග 3ට සහභාගී නොවන බව වාර්තා වේ.

තරගයේ පළමු දින දෙක තුළ දී වාර්තා වූයේ පිළිවෙළින් කඩුලු 8කට ලකුණු 362ක් (පන්දු වාරයකට 3.85 බැගින්) සහ කඩුලු 4කට ලකුණු 207ක් (පන්දු වාරයකට 3.83 බැගින්) පමණි. කඩුලු 05ක් දැවී ලකුණු 171ක් ලබාගෙන සිටි කළුතර කණ්ඩායම ලකුණු 197කට සියලු දෙනා දැවී යාමෙන් අනතුරුව ලැබුණු ලකුණු 165ක ජයග්‍රාහී ඉලක්කය, පානදුර ක්‍රිකට් සමාජ කණ්ඩායම පන්දුවාර 13.4ක දී හඹා යන්නට සමත් විය. එහි දී පන්දු වාරයකට ලකුණු ලබා ගැනීමේ වේගය 12.24ක් වශයෙන් සටහන් විය.

තරගය ජනවාරි මස 23 වන දා සිට 25 වන දා දක්වා මග්ගොන සරේ විලේජ් ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.  

මෙම සිදුවීමෙන් අනතුරුව ශ්‍රී ලංකා වරාය අධිකාරි ක්‍රිකට් සමාජය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැමිණිල්ලක් කරමින් සඳහන් කළේ, මෙම කණ්ඩායම් දෙක අතර තරගය අතරතුර දී පැවති අමුතුම ආකාරයේ පන්දු රැකීමේ උපක්‍රම පිළිබඳව ඔවුන් සතුව ඡායාරූප සාක්‍ෂි ද පවතින බවයි.  

ඒ අනුව මෙම ක්‍රීඩා සමාජ දෙකේම සියලුම ක්‍රීඩකයින්ට සහ පුහුණුකරුවන්ට සියලුම ක්‍රිකට් ක්‍රියාකාරකම්වලට අදාළව වසරක තහනමක් පැනවීමට තීරණය කෙරුණු අතර කණ්ඩායම් දෙකේ නායකයින් දෙපළ වන චාමර සිල්වා (පානදුර) සහ මනෝජ් දේශප්‍රිය (කළුතර) හට එම තහනම (ක්‍රීඩා කිරීම, පුහුණු කිරීම සහ පරිපාලනය ඇතුළුව) වසර 2ක කාලයක් සඳහා වලංගු වනු ඇත.

චාමර සිල්වා ඔහු අසනීප බව පවසමින් තරගයේ 3 වන දිනය සඳහා සහභාගී වී නොමැත.

ඉහළ දස්කම් දැක්වූ මැදපෙළ පිතිකරුවෙක් වන චාමර සිල්වා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 11කට, එක්දින තරග 75කට සහ පන්දුවාර විස්ස තරග 16කට ක්‍රීඩා කර ඇත.

එමෙන්ම එම අදාළ තරගය සහ එහි තීරණය බල ශූන්‍ය කර, ඒ අනුව නියමිත පරිදි තරගාවලියේ ලකුණු වගුව/ ප්‍රසාද ලකුණු සටහන වෙනස් කිරීමට ද තීරණය කර ඇති අතර තවදුරටත් එම ක්‍රීඩා සමාජවලින් තරග ගාස්තුව අය කර ගැනීමට සහ ඔවුන්ට රුපියල් ලක්‍ෂ 05ක දඩ මුදලක් පැනවීමට ද තීරණය කර ඇත.

කෙසේ නමුත් මෙම ක්‍රීඩා සමාජ දෙක වැරදිකරුවන් වී ඇත්තේ මුදලට තරග පාවාදීම සම්බන්ධයෙන් නොවන අතර ඔවුන් වැරදිකරුවන් වී ඇත්තේ විෂමාචාරය සහ ක්‍රීඩාවේ ජීවගුණයට පටහැණිව කටයුතු කිරීම සම්බන්ධයෙන් ය.    

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට