නැගී එන ක්‍රීඩකයින්ගේ ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට

9107
Emerging Cup Finals Sri Lanka Vs Pakistan

පිත්තත් පන්දුවත් එක ලෙස හුරු ප්‍රතිභාපුර්ණ ක්‍රීඩක සංචිතයකින් සැදුම් ලත් ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම අද (03) බංගලාදේශයේ සහුර් අහමඩ් චෞද්‍රි ක්‍රීඩාංගණයේ දී ප්‍රතිවාදී ප්‍රබල පාකිස්තානු කණ්ඩායම පරාජය කරමින් ආසියානු කුසලානය දිනා ගැනීමට සමත් වූහ. තරඟාවලිය පුරාවට ප්‍රගතශීලී ක්‍රීඩා කෞශල්‍යයක් සහ කණ්ඩායම් හැඟීමක් සහිතව ක්‍රීඩා කළ ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමට අනාගතයේ ලක්මව ජයග්‍රහණයන්ගෙන් සැරසිය හැකි දක්ෂ ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ම ඇතුළත් විය.

සඳකැන් සහ ප්‍රියන්ජන් නිසා එක්දින ශූරතාවය කොළඹට

දිවයින පුරා විසිරී පැතිරී සිටි එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ දස්කම් පාන ක්‍රීඩකයන් රැසක් කණ්ඩායම් 24කට ගොනු කරමින් අන්තර් දිස්ත්‍රික් එක්දින ක්‍රිකට් තරගාවලිය මීට සති තුනකට ඉහත දී ආරම්භය දුටුවේය.

ශ්‍රී ලංකා නායක ඇන්ජෙලෝ පෙරේරාගේ සුරතේ රැඳි කාසිය පාකිස්තානු නායකයාට ජයග්‍රහණය ගෙන දෙමින් පෙරලී යද්දී ඔහුගේ තීරණය බවට පත්වූයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමයි. නමුත් අවසන් පූර්ව තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සත්කාරක බංගලාදේශ පිතිකරුවන්ට එල්ල කල දැඩි තර්ජනය පිළිබඳ සලකා බැලීමේ දී පාකිස්තානු නායකයාගේ මෙම තීරණය තරමක් ආන්දෝලනයට තුඩුදෙන තීරණයක් බවට පත්විය. කෙසේ නමුත් පාකිස්තානු පිතිකරණ බල ඇණිය ශක්තිමත් කිරීමට බිලාල් අසීෆ්, හැරිස් සොහෙල් සහ මොහොමඩ් රිස්වාන් වැනි ජාතික කණ්ඩායම නියෝජනය කළ පරිණත ක්‍රීඩකයින් රැසක් සිටීම පාකිස්තානු කණ්ඩායම ප්‍රථමයෙන් පිතිකරණය තෝරා ගැනීමට හේතු සාධක වන්නට ඇත.

නමුත් එම සාධක පිළිබඳව අනියත බියක් ඇති කර නොගත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් පකිස්තානු ඉනිම ලකුණු 133කට පමණක් සීමා කිරීමට සමත් විය. ඒ සඳහා ප්‍රථම වෙඩිමුරය එල්ල වූයේ කලින් තරගයේ දී කඩුලු ත්‍රිත්වයක් ද දවා ගනිමින් සුපිරි දක්ෂතා ප්‍රකට කල අසිත ප්‍රනන්දුගෙනි. ඔහු ලකුණු 5ක් ලබාගෙන සිටි ඉම්රාන් බට්ව වේලාසනින්ම ක්‍රීඩා පිටියෙන් ඉවත් කිරීමට සමත් විය. අසිත ලබාදුන් එම ආරම්භය ශ්‍රී ලංකා පිළේ වාසියට හරවා දුන් දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක චාමික කරුණාරත්න සහ වමත් වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු සමරකෝන් පාකිස්තානු කණ්ඩායමේ දෙවැනි, තෙවැනි සහ සිව්වැනි කඩුලු අඩු ලකුණු සංඛ්‍යාවක් තුලදී දවා ගැනීමට සමත් වූහ. ඒ අතරට ප්‍රබල වමත් පිතිකරුවෙකු වන හැරිස් සොහේල්ගේ කඩුල්ල ද අන්තර්ගත වීම ශ්‍රී ලංකා පිළට සැනසුමක් ගෙනදුන් කරුණක් විය.

පාකිස්තානු ඉනිමේ මුල්පෙළ කඩුලු 4ක් ලකුණු 42ක් තුලදී බිඳ වැටුනු මොහොතේ පිටියේ රැඳෙමින් සිටි නායක මොහොමඩ් රිස්වාන් සහ කුෂ්දිල් ෂාහ් පන්දුවාර 10ක් පමණ කඩුල්ලේ රැඳී සිටිමින් තම කණ්ඩායම වැටී සිටි අගාධයෙන් ගොඩ ගන්නට ප්‍රබල වෙහෙසක් දැරූහ. පිතිකරුවන්ට එතරම් උචිත නොවූ චිතගොං තණතීරුවේ සුපරික්ෂාකාරී පිතිකරණයක යෙදුනු ඔවුන් පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 32ක ප්‍රමාණයක් එක් කළහ.

නමුත් මෙම අවස්ථාවේදී පන්දුව අතටගත් ශෙහාන් ජයසූරිය තම පන්දු යැවීමේ හැකියාව පෙන්වමින්  පිට පිටම පන්දුවාර දෙකකදී මොහොමඩ් රිස්වාන් සහ කුෂ්දිල් ෂාහ් පිටියෙන් ඉවත් කිරීමට සමත් විය. පාකිස්තානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ලෙස මොහොමඩ් රිස්වාන් අද ලකුණු 26ක් රැස්කල අතර කුෂ්දිල්ගේ පිත්තෙන් ලකුණු 20ක් ගලා ආවේය. පාකිස්තානු ලකුණු පුවරුව එක් අවස්ථාවකදී කඩුලු 7කට ලකුණු 85ක් ලෙස දිස්වූ අතර හමඩ් අසාම් (25) සහ උසාමා මීර් (26) යන පසුපෙළ පිතිකරුවන් දෙදෙනාට ස්තූති වන්නට ඔවුන්ට ලකුණු 133ක් රැස්කර ගැනීමට හැකිවිය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දකුණතින් පිට දඟ පන්දු යවන ක්‍රීඩක ශෙහාන් ජයසූරිය ලකුණු 22කට පාකිස්තානු පිතිකරුවන් තිදෙනෙකු ක්‍රීඩාගාරයට හරවා යැවීය. මීට අමතරව පාකිස්තානු ඉනිමේ මුල්පෙළ බිඳ දැමීමට චාමික කරුණාරත්න (2/20) ප්‍රමුඛ වේග පන්දු යවන්නන් තිදෙනා පෙරමුණ ගත් අතර පසුපෙළ පිතිකරුවන්ව වේලාසනින් දවා ගැනීමට යොවුන් ක්‍රීඩක වනිඳු හසරංගගේ පන්දු යැවීම බෙහෙවින්ම ඉවහල් විය. ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට සාර්ථක වීම සඳහා පන්දු රකින්නන් අද තම උපරිම හැකියාවන් පෙන්වූ අතර ක්‍රිකට් තරගයකදී කලාතුරකින් දැකිය හැකි ආකාරයේ අති විශිෂ්ට උඩපන්දු දෙකක් අද ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැකගනු දැකගන්නට ලැබුණි.

මෙම ලකුණු සංඛ්‍යාව හඹායාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක් නිරූපනය වුනු අතර තවමත් 19 වැනි වියේ පසුවන අවිශ්ක ප්‍රනාන්දුගේ පිත්තෙන් පාකිස්තානු වේග පන්දු යවන්නන්ට ප්‍රථම ප්‍රභාරය එල්ල විය. ලකුණු 17ක් ලබා සිටියදී පොයින්ට් කලාපයට ලබාදුන් උඩපන්දුවක් නිසා දැවී ගිය නමුත් ඔහු ඒ වනවිට එල්ල කර තිබූ හතරේ පහර 4 අනාගතයේ ශ්‍රී ලංකාවෙන් බිහිවන ප්‍රවේගකාරී පිතිකරුවෙකුගේ සලකුණු පෙන්නුම් කළේය.

එක් අවස්ථාවකදී ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල්පෙළ කඩුලු 5ක් ලකුණු 98ක් තුලදී බිඳ වැටුනද ඔවුන් කිසි විටෙකත් තරඟයේ මුල් අවස්ථාවේදී දැක්වූ ප්‍රවේගකාරී ක්‍රීඩා රටාව වෙනස් නොකළහ. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ලෙස දකුණත් පිතිකරු සදීර සමරවික්‍රම දර්ශනීය හතරේ පහර 8ක් සමගින් ලකුණු 45ක් රැස් කළ අතර වනිඳු හසරංග සහ කිත්රුවන් විතානගේ ශ්‍රී ලංකාව වෙනුවෙන් තරගය නිමා කිරීමේ කාර්‍යභාරය මැනවින් ඉටුකර දුන්හ.

ඒ අනුව පන්දුවාර 23යි පන්දු 5ක් ගතවෙද්දී ලකුණු 134ක් ලබා ගනිමින් නැගී එන ක්‍රීඩකයින්ගෙ ආසියානු කුසලානය ලක්මවට දිනා දෙන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හැකිවිය. අවසන් තරඟයේ වීරයා සම්මානය ශෙහාන් ජයසූරියට හිමිකරගත් අතර තරඟාවලිය පුරාවට විශිෂ්ට පිතිකරණයක යෙදෙමින් ලකුණු 338ක් රැස්කල යොවුන් ක්‍රීඩක චරිත් අසලංක තරඟාවලියේ වීරයාට හිමි සම්මානය ඉසිලීය.

පාකිස්තානු නැගී එන කණ්ඩායම – සියල්ලන්ම දැවී ලකුණු 133 (පන්දුවාර 42.1)
මොහොමඩ් රිස්වාන් 26, උසාමා මීර් 26, හමඩ් අසාම් 25, කුෂ්දිල් ෂාහ් 20, බිලාල් අසීෆ් 11, ශෙහාන් ජයසූරිය 3/22, වනිඳු හසරංග 2/13, චාමික කරුණාරත්න 2/20.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම – කඩුලු 5ක් දැවී ලකුණු 134 (පන්දුවාර 23.5)
සදීර සමරවික්‍රම 45, වනිඳු හසරංග 22*, කිත්රුවන් විතානගේ 20*, අවිශ්ක ප්‍රනාන්දු 17, සමීන් ගුල් 2/33, සෆාර් ගොහාර් 1/20, උසාමා මීර් 1/22.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට