ජ්‍යේෂ්ඨයින් කණ්ඩායමේ වගකීම ගන්නවා – ශ්‍රී ලංකා සහය පුහුණුකරු

ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

4920

නව ප්‍රධාන පුහුණුකරු Chris Silverwood යටතේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින් වගකීමක් සහිතව ක්‍රීඩා කරන බව සහය පුහුණුකරු නවීඩ් නවාස් පවසා සිටිනවා.

ඕස්ට්‍රේලියාව සමඟ පැවති දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය අවසානයේ දී දිනේෂ් චන්දිමාල් ලකුණු 118ක් ලබා නැවත ක්‍රීඩාගාරයට  පැමිණි විට ඔහුගේ වගකීම තවමත් අවසන් නැති බව පුහුණුකරු පැවසූ බවත්, ඉන් නව ජවයක් ලැබූ චන්දිමාල් ලකුණු 206ක් දක්වා ඔහුගේ ඉනිම රැගෙන ගිය බවත් සහය පුහුණුකරු පවසා තිබුණා.

සිය මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කළ ප්‍රභාත් ජයසූරිය එම තරගයේ දී ඉහළ දස්කම් දක්වන්නට සමත් වුනේ තරගය පුරාවට ඕස්ට්‍රේලියා කඩුලු 12ක් දවා ගනිමිනුයි.

චන්දී ශතකය වාර්තා කරලා දිනය ඉවර වෙලා අවාම මම කිව්වා , ‘චන්දි මට අවශ්‍යයි ඔයාගේ ක්‍රීඩා දිවියේ හොඳම ලකුණු ගණන මේ තරගයේ දී බලන්න’, ඔහුගේ කලින් වැඩිම ලකුණු ගණන තිබුණේ ලකුණු 165ක්. අපි ඉලක්ක කළා එය පසුකර යන්න. ඔහු ලකුණු 165 පසු කර ගියාම ආයේ ඔහුව නවත්වන්න කාටවත් බැරි වුනා”, ශ්‍රී ලංකා සහය පුහුණුකරු නවීඩ් නවාස් Cricbuzz වෙත අදහස් දක්වමින් පවසා සිටියා.

ඔහු තවදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ Silverwoodගේ පුහුණු කාර්ය මණ්ඩලය ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින්ට කණ්ඩායමේ විශාල තැනක් ලබා දෙන බවයි. “අපි ඔවුන්ට කිව්වා ඔවුන්ට තමා කණ්ඩායම අයිති කියලා. ඔබ දන්නවා ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් ලොකු සේවයක් ඉටු කරලා තියෙනවා. ඔවුන් කණ්ඩායමේ අයිතිය අරගෙන පසුව හිතනවා, ‘මේ මගේ කණ්ඩායම, මම මේ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන්න ඕනේ’ කියලා.”

තරගාවලියට ප්‍රථම ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ද Cricbuzz සමඟ අදහස් දක්වමින් පවසා සිටියේ ඔහු ජ්‍යේෂ්ඨයින් ගැන තමන්ගේ විශ්වාසය තබන බවයි. සහය පුහුණුකරු පවසා සිටියේ නව ප්‍රධාන පුහුණුකරු Silverwood අත්දැකීම් බහුල ක්‍රීඩකයින් සමඟ හොඳ විශ්වාසයක් ගොඩනගා ගන්නා බවයි.

ශ්‍රී ලංකාව තුළ පවතින වත්මන් තත්වය නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් තවත් මහන්සි වී ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රීඩා කරන බව ද සහය පුහුණුකරු නවාස් පවසා සිටියා.  “හැමෝම දන්නවා මේ වන විට ලංකාවේ තත්වය. අපි කතා කළා කණ්ඩායම එක්ක හොඳ දෙයක් කරලා ජනතාවගේ මුහුණේ සිනහවක් දකින්න.”

කණ්ඩායමේ මීළඟ අභියෝගය ගැන ඔහු මෙලෙස අදහස් දක්වා සිටියා. “පාකිස්තානය ශක්තිමත් කණ්ඩායමක්. අපි ඔවුන්ව බැරෑරුම් ලෙස ගන්නවා. මොකද මේ තරගාවලියත් ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්”, නවීඩ් පවසා සිටියා.

Cricbuzz ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<