ලසිත් කෘෘස්පුල්ලේගෙන් තුන් ඉරියව් දක්ෂතා

Major Club Limited Over Tournament 2022

679

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ක්‍රිකට් තරගාවලියේ අද (13) පැවති Ace Capital සහ SSC අතර තරගයේ දී තුන් ඉරියව් දක්ෂතා දැක්වීමට ලසිත් කෘෘස්පුල්ලේ සමත් වුනා.

දොඹගොඩ යුද හමුදා ක්‍රීඩා පිටියේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 39ක ජයග්‍රහණයක් ලබා ගත් Ace Capital ක්‍රීඩකයෝ ලැබූ එම ජයත් සමඟින් A කාණ්ඩයෙන් පෙරමුණ ගැනීමට ද සමත් වුනා.

ජයග්‍රාහී Ace Capital නියෝජනය කරන කෘෘස්පුල්ලේ පිතිකරුවෙක් ලෙසින් පිටියට පිවිස පන්දු 104කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 86ක් ලබා ගත් අතර දකුණතින් පිට දඟපන්දු යවමින් ලකුණු 37කට කඩුලු 3ක් දවා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ එක්දින පිටියේ හොඳම පන්දු යැවීමයි.

කාසියේ වාසිය දිනා ගත් Ace Capital ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් ලකුණු 172ක් ලබා ගත්තා. එම ඉනිම වෙනුවෙන් ලසිත්ට අමතර ව සකුණ ලියනගේ පන්දු 94කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 50ක් ලබා ගත්තා. එය ඔහු මෙම තරගාවලියේ රැස් කරන ලද තෙවැනි අර්ධ ශතකයයි.

ලකුණු 48කට කඩුලු 5ක් දැවී ඉතා අසීරු තත්ත්වයක සිටි Ace Capital ගොඩගැනීමේ විරුවන් වූයේ ලසිත් සහ සකුණ. ඔවුන් දෙදෙනා 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 111ක සබඳතාවක් ගොඩ නැගුවා.

ඔවුන්ට අමතර ව අමිත දාබරේ ලකුණු 12ක් ලබා ගත් අතර අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ඉලක්කම් දෙකේ ලකුණු සංඛ්‍යාවකට පැමිණිමට SSC පන්දු යවන්නෝ ඉඩ ලබා දුන්නේ නැහැ.

SSC කණ්ඩායම වෙනුවෙන් හොඳම පන්දු යැවීම වාර්තා කළ කවිශ්ක සේනාධීර ලකුණු 20කට කඩුලු 4ක් දවා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරග 5ක හොඳම පන්දු යැවීමයි. ඊට අමතර ව සම්මු අශාන් කඩුලු 3ක් සහ සසික ඩිල්ශාන් කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි SSC කණ්ඩායම ලකුණු 133කට සීමා කිරීමට Ace Capital පන්දු යවන්නෝ සමත් වුනා. එහි දී දකුණතින් වේගපන්දු යවන නිම්සර අතරගල්ල තම පළමු පෙළ එක්දින තරගවල හොඳම පන්දු යැවීම වාර්තා කරමින් ලකුණු 14කට කඩුලු 4ක් දවා ගත්තා.

SSC වෙනුවෙන් ආරම්භක පිතිකරු චමිඳු වික්‍රමසිංහ පන්දු 62කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 43ක් ලබා ගත්තා.

Ace Capital – සියලුම දෙනා දැවී 172 (44.1) ලසිත් කෘaස්පුල්ලේ 86, සකුණ ලියනගේ 50, සම්මු අශාන් 3/20, සසික ඩිල්ශාන් 2/45, කවිශ්ක සේනාධීර 4/20

SSC – සියලුම දෙනා දැවී 133 (34.2) චමිඳු වික්‍රමසිංහ 43, ක්‍රිශාන් සංජුල 19, චානක දේවින්ද 2/25, ලසිත් කෘෘස්පුල්ලේ 3/37, නිම්සර අතරගල්ල 4/14

මේ අතර රජය මගින් අද බස්නාහිර පළාතට පැන වූ ඇඳිරි නීතිය හේතුවෙන් හෙට (14) පැවැත්වීමට නියමිත ව තිබූ සියලු තරග අවලංගු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා. නැවත තරගාවලිය සක්‍රීය වන දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ. තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<