“පාපන්දු ලෝක කුසලානය තිබෙන්නේ වෙනත් ග්‍රහ තාරකාවක ද?”

FIFA World Cup 2022

458

කටාර් දේශයේ දැන් පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සම්බන්ධයෙන් චීනයේ රාජ්‍ය මාධ්‍ය විශාල අවධානයක් යොමු කර තිබුනත්, උත්සවශ්‍රීයෙන් පිරුණු ඒ තරගවලින් තමන් ඉවත් කර තිබීම පිළිබඳව චීන ජනතාව ඉච්ඡාභංගත්වයට පත්ව සිටිනවා.

චීනයේ ජාතික පාපන්දු කණ්ඩායම මේ තරගාවලියට සුදුසුකම් නොලැබීමේ පසුබිමක කටාර් හි මුහුණු ආවරණ නොමැතිව ඉමහත් සන්තෝෂයෙන් එකට රංචු ගැසී ප්‍රීතිප්‍රමෝදයෙන් පසුවන ක්‍රීඩාලෝලීන්ගේ දර්ශන දැක චීන ජනතාව වේදනාවට පත්ව සිටින්නේ තරග නැරඹීම පිණිස එක්රොක් නොවන ලෙසට චීන රජය විසින් ඔවුන් අධෛර්යයට පත්කර ඇති බැවින්.

චීන රජය විසින් පවත්වා ගෙන යන උපායශීලී COVID මර්දන ක්‍රියාවන් පිළිබඳව මාර්ග ගතව පැමිණිලි කිරීම සඳහා බොහෝ දෙනා ලෝක කුසලාන පාපන්දු තරගාවලිය යොදා ගෙන තිබෙනවා. චීනය කොඩිඩ් සම්පූර්ණයෙන් ම රහිත ප්‍රතිපත්තියක් පවත්වා ගෙන යන අතර මේ නිසා වයිරසයේ එක සිදුවීමක් හෝ වාර්තා වුවහොත් එය පැතිරීම වළක්වා ලීම පිණිස ඔවුන් මුළු ප්‍රජාව ම සිරකර වසා දමමින් සිටිනවා.

මාස හයකට පසුව මුහුණ දීමට සිදු වූ දරුණුතම COVID පැතිරීමට වර්තමානයේ මුහුණ පා සිටින චීනය ගෙවුණු සති කිහිපය තුළ ප්‍රදේශ ගණනාවක් වසා දමා තිබෙන්නේ ඒ කාලයේ පැය 24ක් ඇතුළත සෑම ප්‍රාදේශීය මට්ටමේ කලාපයකින්ම 28,000කට වැඩි COVID රෝගීන් වාර්තා වීම නිසා.

පාපන්දුව චීනයේ ඉතාමත් ජනප්‍රිය ක්‍රීඩාවක්. ඒ ක්‍රීඩාවට ආදරය කරන කෙනෙකු ලෙසින් ප්‍රසිද්ධ Xi Jinping ජනාධිපතිවරයා චීනය ලෝක පාපන්දු කුසලානය දිනා ගනු දැකීම තමාගේත් රටේත් සිහිනය බව මීට පෙර ප්‍රකාශ කර තිබෙනවා.

මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ජාතික රූපවාහිනිය වන CCTV මගින් ලෝක කුසලාන පාපන්දු තරග විකාශය කෙරෙන අතර තරගාවලියේ චීනයේ “නියෝජනය” විස්තාරණය කිරීම සඳහා රාජ්‍ය මාධ්‍ය උත්සාහ කරනවා. කටාර් දේශයේ බස් රථවල සිට ලුසේල් ක්‍රීඩාංගණය දක්වා වන චීනයේ නිෂ්පාදන පිළිබඳව මෙන් ම කටාර් ලෝක කුසලාන ක්‍රීඩාංගණවල වායු සමීකරණ පද්ධති පවා ඔවුන්ගේ නියෝජනයක් බවට මතක් කරමින් The Global Times වාර්තා පළ කර තිබෙනවා.

තරගාවලියේ සමාරම්භක උත්සවයේ දී චීන ජාතික කොඩි රැගෙන යන්නන් සහ තරගාවලියට පැමිණි අමුත්තන් පිලිගැනීම සඳහා යෝධ පැන්ඩලා දෙදෙනෙක් පැමිණි ආකාරය පිළිබඳවත් ඔවුන් CCTV වැනි ක්‍රමවේදයන් හරහා ප්‍රචාරය ක‌ර තිබෙනවා.

එහෙත් ලෝක කුසලානය සම්බන්ධ චීනයේ උත්සවවලට කොවිඩ්-19 විසින් බාධා පමුණුවා ඇති බව පැහැදිලියි. රෝගය පැතිර යාමේ ප්‍රතිඵලයක් ලෙසින් චීනයේ ප්‍රධාන නගරවල අත්‍යවශ්‍ය නොවන වෙළඳ කටයුතු නැවත වතාවක් වසා දමා තිබෙන අතර තමන්ගේ ගමන් බිමන් සීමා කරන ලෙසට ජනතාවට බල කර තිබෙනවා.

යාමට අවන්හල් නැති තැන සමහර ක්‍රීඩාලෝලීන් ඔවුන්ගේ පවුලේ අය සමඟ නිවසේ රැඳී තරග නැරඹීම තෝරා ගෙන තිබෙන බවත්, අනෙක් අය තරග නැරඹීම සඳහා වන කඳවුරු ස්ථාන කරා යන බවත් Global Times පුවත් පත  ප්‍රකාශ කරනවා.

තරගාවලිය සියැසින් දැක බලා ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයින් සඳහා වන කටාර් සහ චීනය අතර ගුවන් ගමන් ද නොසෑහෙන පරිදි සීමා කර තිබෙනවා.

මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලිය දෙස බලා සිටින චීන ජාතිකයන් බොහෝ දෙනෙකුට දැනෙන්නේ දැඩි හුදකලා බවක්.

COVID නැත්තටම නැති – zero COVID – යන රටේ ප්‍රතිපත්තීන් පිළිබඳව ප්‍රශ්න කරමින් සහ චීනයත් කටාර් මෙන් “එක ම ග්‍රහ වස්තුවේ” සිටිනවා ද කියා අසමින් ලියන ලද විවෘත ලිපියක් පුවත් බලධාරීන් විසින් කපාකොටා වෙනස් කිරීමට පෙර WeChat mobile messenger ඔස්සේ වේගයෙන් පැතිර ගියා.

මේ වසරේ ලෝක කුසලාන පාපන්දු තරග නරඹන විට තමන් සෙසු ලෝකයෙන් බෙදා වෙන්කර තිබෙන බවක් හැඟෙන්නේ යැයි කියන චීන වැසියන්ගේ ප්‍රකාශවලින් Twitter ආකාරයේ සමාජ මාධ්‍ය ජාලයක් වන Weibo ජාලය පිරී තිබෙනවා.

මුහුණු ආවරණ නොපැළඳ හෝ මෑතක දී කරන ලද COVID-19 පරීක්ෂණයක කිසිම සාක්කියක් හෝ ප්‍රදර්ශනය නොකරමින් එකට රොද බැඳ ගෙන සිටින සිය දහස් ගණන් ජනයා දැකීම තමන්ට “ඇදහිය නොහැකි” සත්‍යයක් වී තිබෙන අයුරු පිළිබඳව සමහරු කතා කරමින් සිටිනවා.

“කටාර් ක්‍රීඩාංගණවල ලෝක කුසලාන තරග නරඹන්නන්ට සමාජ දුරස්ථභාවය පවත්වා ගෙන යාම සඳහා එකිනෙකාගෙන් වෙන් කරන ලද ආසන පනවා නැහැ. සුදු සහ නිල් වෛද්‍ය ඇඳුම් ඇඳගෙන සිටින කිසිම කෙනෙක් ක්‍රීඩා පිටිය මායිමේ පෙනෙන්නට නැහැ. අපේ මේ ග්‍රහ තාරකාව ඇත්තට ම වෙන් කරන ලද අසම්බද්ධ එකක් බවට පත්වෙලා.”

ලෝකයේ එක පැත්තක ලෝක කුසලාන පාපන්දු තරගාවලිය නමැති සැණකෙළිය තිබෙනවා. දවස් පහකට ප්‍රසිද්ධ ස්ථානවලට යන්න එපා කියන නීති අනෙක් පැත්තේ තියෙනවා,” යැයි කෙනෙක් පවසනවා.

ලෝක කුසලානයේ දසුන් සහ චීනයේ සිටින අය මුහුණ දෙන තත්ත්වයන් මෙසේ ඉතාමත් වෙනස් වන්නේ කෙසේ ද කියා තම දරුවන්ට තේරුම් කර දීම බොහෝ බැරෑරුම් කාරණයක් වූ බව සමහරු පවසනවා.

COVID-19 තවමත් ‘දරුණු ගෝලීය හදිසි තත්ත්වයක්’ ලෙසට ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුන්වා දෙමින් සිටිය දී විදෙස් දේශයන් ඔවුන්ගේ රටවල් විවෘත කිරීම පිළිබඳව විවේචනය කරන පුද්ගලයන් බොහෝ දෙනෙකු ද චීනයේ සිටිනවා.

කෙසේ වෙතත්, චීනයේ දැන් ක්‍රියාත්මක වන මේ ක්‍රියාමාර්ගයන්හි අවසානයක් පෙනෙන්නට නැහැ. ජනතාව සැලකිලිමත් නොවුනොත් වසංගතය පාලනය කිරීම පිණිස මීට වඩා දැඩි පියවර ගන්නා බවට එරට ජාතික සෞඛ්‍ය කොමිසම අනතුරු අඟවා තිබෙනවා.

ප්‍රධාන නගරවල දේශීය රජයන් මහා පරිමාණයේ වෛද්‍ය පරීක්ෂණ සහ ගමන් බිමන් තහනම් නැවත හඳුන්වා දී තිබෙන්නේ ජනතාව තම තමන්ගේ නිවෙස්වල රැඳී සිටීමට උත්සාහ කළ යුතු බවට ප්‍රකාශ කරමින්.

එහෙත් වසර තුනක එවැනි ක්‍රියාමාර්ගවලින් පසුව බලාපොරොත්තු සුන් වූ තත්ත්වයට චීන ජනතාව පත්ව සිටින අතර එහි ප්‍රතිඵලයක් ලෙසිනුයි පසුගිය මාසයේ Guangzhou සහ Zhengzhou යන නගර දෙකේ ම විරෝධතා පැවතියේ.

විරෝධතාකරුවන් Guangzhou නගරයේ තිබෙන COVID පාලන බාධක ඉරා දමන අයුරු දිස්වන ඡායාරූප සමාජ මාධ්‍යවල වේගයෙන් සංසරණය වී තිබෙනවා.

මේ අතර, රජයේ දැඩි lockdown ප්‍රතිපත්ති ක්‍රියාවට නංවා තිබිය දීත් මාස හයකට පසුව චීනය ඔවුන්ගේ පළමු COVID -19 මරණවලට මුහුණ දී සිටින බවත් මීට අමතරව ජනතාව දහස් ගණනින් වසංගතයට ගොදුරු වෙමින් සිටින බවත් BBC අළුත් ම වාර්තාවල සඳහන්.

චීනය ඔවුන්ගේ COVID මර්දන උපායයන් පිළිබඳව නැවත සිතා බැලිය යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ප්‍රකාශ කර තිබෙනවා.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<