කොදෙව්වන් මෙල්ල කරන්න පාකිස්තාන නායකයා සූදානම්

129

2019 ලෝක කුසලාන ක්‍රිකට් වසන්තය ඊයේ (30) ආරම්භ විය. පළමු තරගය ලෙස එංගලන්තය දකුණු අප්‍රිකාව සමඟින් තරග වැදුණු අතර පළමු තරගයේ දී ම ලකුණු 300 සීමාව පසුකර යාමට එංගලන්තය සමත් වූයේ උත්කර්ෂවත් ලෝක කුසලානයක පෙර නිමිති පහල කරමිනි.

දෙවන තරගය අද (31) බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි. පාකිස්තානය 2017 ශූරයින්ගේ කුසලාන තරගාවලිය එංගලන්තයේ දී ජයග්‍රහණය කළ අතර එම තරගාවලියේ අත්දැකීම් ප්‍රයෝජනයට ගනිමින් ප්‍රහාරාත්මක කොදෙව්වන් මෙල්ල කිරීමට ඔවුන් උත්සාහ කරනු ඇත.

ගමේ ක්‍රිකට් පිටියේ සිට ලෝක කුසලානයට ගිය පාකිස්තානයේ ඛාන්

ඕනෑම ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ බලාපොරොත්තුව……..

ලෝක කුසලාන තරගාවලියට පෙර පාකිස්තාන කණ්ඩායම මුහුණ දුන් තරග 10ම පරාජය වීමට පාකිස්තානයට සිදු වූ අතර එහි දී ඕස්ට්‍රේලියාව හමුවේ ලද 5-0ක පරාජය හා එංගලන්තය හමුවේ ලද තරග 4-0 පරාජය ද ඇතුළත් වේ. මෙවර ලෝක කුසලානයට පෙර පැවති පුහුණු තරගයේ දී පාකිස්තානය ඇෆ්ගනිස්තානය හමුවේ පරාජය වීම දැඩි අවධානයට යොමු විය.

තම කණ්ඩායම 2017 ශූරයින්ගේ කුසලාන තරගාවලියට පෙර ද මෙවන් අසීරු අවස්ථාවක සිටි බවත්, එම තරගාවලියේ දී මෙන් තම කණ්ඩායම හොඳින් ලෝක කුසලානයට අවතීර්ණ වනු ඇතැයි පාකිස්තාන නායක සෆ්‍රාස් අහමඩ් තම විශ්වාසය පලකර තිබේ.

“අපි 2017 ශූරයින්ගේ කුසලානය ආදර්ශයට අරන් සෙල්ලම් කරනවා. අපි ඒ වෙලාවෙත් පරාජය වෙමින් ඉඳලා තමයි හරිම වෙලාවට ජයග්‍රහණය කළේ.” බටහිර ඉන්දීය කොදෙව් තරගය පැවැත්වීමට නියමිත නොටින්හැම් හිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෆ්‍රාස් පවසා සිටියා.

එම ශූරයින්ගේ කුසලාන තරගාවලියට පෙර පාකිස්තාන කණ්ඩායම ඕස්ට්‍රේලියාව හමුවේ 4-2ක් ලෙස පරාජය වී සිටි අතර තරගාවලියේ පළමු තරගයේ දී ඉන්දියාව විසින් පාකිස්තානය ලකුණු 124කින් පරාජය කිරීම දැඩි පීඩනයක් එල්ල කිරීමට හේතු විය.

පසුව පාකිස්තාන විසින් දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව හා එංගලන්තය පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ අතර අවසන් තරගයේ දී ඉන්දියාව ලකුණු 180කින් පරාජය කරමින් ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

“කණ්ඩායම හොඳ මානසිකත්වයකින් ඉන්නවා. මේ ලැබූ පරාජයන් අමතක කරලා ලෝක කුසලානයට සහභාගි වෙනවා. මම හිතන්නේ ප්‍රේක්ෂකයන්ට බලා ගන්න පුළුවන් වෙයි අපි හොඳින් සෙල්ලම් කරනවා.”

2015 ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කළ පාකිස්තාන කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙක් පමණක් මෙවර ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන අතර ඒ සෆ්‍රාස් අහමඩ් හා වමත් පිතිකරු හැරිස් සොහේල් ය.

ස්ටෝක්ස් හා ආචර්ගෙන් එංගලන්තයට ජයග්‍රාහී ආරම්භයක්!

පාකිස්තාන සුපිරි වේගපන්දු ‍යවන්නෙකු වන මොහොමඩ් අමීර් පිළිබඳව තමන් බලාපොරොත්තු තබාගෙන සිටින බව සෆ්‍රාස් පවසා ඇත. මොහොමඩ් අමීර්ට තරග පාවා දීමක් නිසාවෙන් 2011 හා 2015 ලෝක කුසලාන ක්‍රීඩා කිරීමට නොහැකි විය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ වේගවත් පිතිහරඹය මෙල්ල කිරීමේ හැකියාව අමීර්ට ඇතැයි සෆ්‍රාස්ගේ විශ්වාසයයි. ක්‍රිස් ගේල් හා ශායි හෝප් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රබලතම ක්‍රීඩකයන් ලෙස සැලකේ.

“අපි දන්නවා අමීර්ට කරන්න පුළුවන් දේවල්. අමීර් දන්නවා එයාගේ වගකීම මොකක්ද කියලා. එයා එයාගේ පන්දු ‍යැවීම දියුණු කරගෙන කඩුලු ලබා ගනීවි. ”

මොහොමඩ් අමීර් ලෝක කුසලානය සදහා නම් කළ පාකිස්තාන සංචිතයට පෙර ඇතුළත් කර නොතිබූ අතර පසුව ඔහු සංචිතය ඇතුළත් කරනු ලැබීය.

මොහොමඩ් අමීර් පාකිස්තාන වෙනුවෙන් වැදගත් කාර්‍යභාරයක් ඉටු කිරීමට නියමිත නමුත් ඔහු තම සුපුරුදු රිද්මය ලබා නොගැනීම පාකිස්තානයට හිසරදයක් වනු ඇත. ඉන්දියාව සමඟ පැවති ශූරයින්ගේ කුසලාන අවසන් තරගයෙන් පසුව පාකිස්තාන වෙනුවෙන් තරග 15කට ක්‍රීඩා කර ඇති අමීර් එහි දී ලබාගෙන ඇත්තේ කඩුලු 5ක් පමණි. අවසන් තරගයේ ලබා ගත් කඩුලු 3 ද එයට ඇතුළත් වේ.

පාකිස්තානය හා කොදෙව් කණ්ඩායම අතර ලෝක කුසලාන තරග ඉතිහාසය පාකිස්තානයට එතරම් සතුටුදායක නොවේ. කොදෙව් කණ්ඩායම සමඟින් ලෝක කුසලාන තරග 10කට මුහුණ දී ඇති පාකිස්තානය එයින් ජයග්‍රහණය කර ඇත්තේ තරග 3ක් පමණි. 2015 ලෝක කුසලාන තරගාවලියේ දී ඔවුන් කොදෙව් කණ්ඩායම හමුවේ ලකුණු 150කින් පරාජය විය.

ඇන්ඩ්‍රේ රසල් එම තරගයේ දී ලකුණු 42ක් වාර්තා කළේ පන්දු 13ක් පමණක් වැය කරමිනි. හයේ පහර 4කින් වර්ණවත් වූ ඔහුගේ ඉනිමෙන් පසුව ඔහු පාකිස්තානයේ කඩුලු 3ක් දවා ගැනීමට ද සමත් විය.

පසුගිය අඟහරුවාදා නවසීලන්තය සමඟින් පැවති පුහුණු තරගයේ දී රසල් පන්දු 25කින් ලකුණු 54ක් වාර්තා කළ අතර ශායි හෝප් එහි දී ශතකයක් වාර්තා කිරීමට සමත් විය. පළමු ඉනිම සඳහා කොදෙව් කණ්ඩායම ලකුණු 421ක් ලබා ගැනීමට ද සමත් විය.

ගේල් භීතිකාව ආයෙත්

ක්‍රිකට් පිටියේ දැවැන්තයා ලෙස විරුදාවලිය ……..

කොදෙව් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන කාලෝස් බ්‍රැත්වේයිට් තම කණ්ඩායමට ලකුණු 500 සීමාව පසු කළ හැකි බව ද පවසා ඇත.

“ඔබලා මගෙන් අහන්නේ අපිට ඒක කරන්න පුළුවන් ද කියලා නම්, ඔව් අපිට එක කරන්න පුළුවන්” බ්‍රැත්වේයිට් පවසා තිබේ.

“නමුත් සැබෑ තරගවල දී අද තරගයේ දී වගේ 10, 11 වගේ ක්‍රීඩකයන් නෑ. ඒ නිසා ඉලක්කය ගැන එතරම් අනාවැකි කිව නොහැකි.”

කොදෙව් කණ්ඩායමට ලෝක කුසලානයට සුදුසුකම් ලැබීම සඳහා පසුගිය වසරේ දී සිම්බාබ්වේහි පැවති සුදුසුකම් ලැබීමේ වටයට ක්‍රීඩා කිරීමට සිදු විය.

ලෝක කුසලානයට පෙර ශ්‍රේණිගත කිරීම් හි පෙරමුණේ පසුවන එංගලන්තය සමඟින් පැවති තරගාවලියේ දී කොදෙව් කණ්ඩායම තරග 2-2ක් ලෙස ජය පරාජයකින් තොරව තරගාවලිය නිමා කළ නමුත් බංග්ලාදේශය සමගින් පැවති තුන්කොන් තරගාවලියේ අවසන් තරගය පරාජය වීමට ඔවුන්ට සිදු විය.

2019 ලෝක ක්‍රිකට් වසන්තයේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

AFP ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<