ඕස්ට්‍රේලියානු කණ්ඩායමට මරණ තර්ජන එල්ල කළ පුද්ගලයාට වැඩ වරදී

275
Pakistan police arrest man for threatening to conduct terror attack

නිමාව දුටු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරය අතරතුර දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඉලක්ක කර ගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක් සැලසුම් කළා යැයි සැක පිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්ත පොලිසිය පියවර ගෙන තිබේ.

වසර 24ක දීර්ඝ නිහැඬියාවකින් අනතුරුව ඕස්ට්‍රේලියානු කණ්ඩායමක් පාකිස්තානයේ තරග සංචාරයක නියැලී තිබුණේ දෙරට අතර ක්‍රිකට් ඉතිහාස පොතේ නව පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කරමිනි. මෙම තරග සංචාරය ටෙස්ට්, එක්දින සහ T20 යන තරග ආකෘති ත්‍රිත්වයෙන්ම සැදුම්ලත් පූර්ණ සංචාරයක් ලෙස ක්‍රියාත්මක විය.

මෙම තරග සංචාරය සඳහා එක්වීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම එකඟතාව පළකිරීමත් සමඟම ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශාල ගැටලුවක් පවතින බවත්, ඔවුන් යම්හෙයිකින් ලාහෝර් නුවර වෙත ළඟා වුවහොත් ත්‍රස්ත ප්‍රහාරයකට හසුව විශාල අනතුරකට මුහුණ පෑමේ දැඩි අවදානමක් පවතින බවත් කියමින් තර්ජනාත්මක දුරකථන ඇමතුමක් ඕස්ට්‍රේලියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය වෙත ලැබී තිබුණි.

ඉන් අනතුරුව මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කිරීම සඳහා පාකිස්තාන බුද්ධි අංශ ඒජන්සි කිහිපයක් විසින් විශේෂ මෙහෙයුම් කිහිපයක් දියත් කිරීමට ක්‍රියා කොට තිබුණි.

පන්ජාබ් ප්‍රාන්ත පොලිස් නිලධාරි Mubashir Maken මහතා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ දී අදාළ දුරකථන ඇමතුම ලබා ගත් පුද්ගලයාගේ අනන්‍යතාව හෙළිදරව් කර ගැනීමට ඔවුන් සමත් වූ බවත්, ලාහෝර් නුවරට කිලෝමීටර් 200ක් පමණ එපිටින් පිහිටා ඇති Toba Tek Singh ප්‍රදේශයේ දී Irfan Naseer නැමති අදාළ සැකකරුවා පොලිස් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත්ය.

“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අදාළ සැකකාර පුද්ගලයාට එරෙහිව නඩුවක් ගොනු කිරීමට අපි දැනටමත් කටයුතු කරලා තියෙනවා. ඔහුගේ ජංගම දුරකථනයේ අන්තර්ජාල දත්ත උපයෝගී කරගෙන ඔහු ඉන්නා ස්ථානය හඳුනා ගන්න අපිට පුළුවන්කම ලැබුණා. අපි දැන් විශේෂයෙන්ම අවධානයක් යොමු කරලා තියෙනවා මේ පුද්ගලයා මොනයම් හරි තහනමට ලක් කළ අන්තවාදී කල්ලියක් එක්ක සබඳතා පවත්වනවා ද කියන එක ගැන සොයා බලන්න.”

මීට අමතරව ඕස්ට්‍රේලියානු සංචිතයේ සමඟ එක්ව සිටි තුන් ඉරියව් ක්‍රීඩක Ashton Agar හට ද සමාජ මාධ්‍ය ජාල ගිණුමක් ඔස්සේ අවස්ථා කිහිපයක දී ම මරණ තර්ජන එල්ල වී තිබුණ අතර පසුව අනාවරණය වූයේ ඒවා ව්‍යාජ Instagram ගිණුම් යොදා ගනිමින් සිදු කර ඇති බවයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<