Shorifulගේ ආබාධයේ අලුත්ම තත්වය

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය 2022

251

බංග්ලාදේශ වේගපන්දු යවන ක්‍රීඩක Shoriful Islam හට ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය පළමු තරගයේ සිට ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා.

Shoriful ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගය සදහා වන බංග්ලාදේශ සංචිතයට නම් කර ඇතත්, ශාරීරික යෝග්‍යතාවය සුදුසු මට්ටමක පවතින්නේනම් පමණක් ඔහුට පළමු තරගය සඳහා ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වන බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබුණේ.

ඔහු උදරය ආශ්‍රිත අසනීප තත්ත්වයකින් පසු වූ අතර, ඒ අනුව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය ඔහුව මෑතකදී වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුව වෙත ද පිටත් කර යැවීමට කටයුතු කළා. එහිදී Shoriful හට ශල්‍යකර්මයකට මුහුණ දීමට සිදු වනු ඇති බවට අනුමාන කර තිබූ බැවිනුයි ඔහුට පළමු ටෙස්ට් තරගය අහිමි වීමේ අවධානමක් මතුව තිබුණේ.

කෙසේ නමුත් සිංගප්පූරුවේ දී වෛද්‍යවරුන් සඳහන් කර ඇත්තේ ඔහුට මෙම අවස්ථාවේ දී ශල්‍යකර්මයකට ලක් වීමට අවශ්‍යතාවයක් නොමැති බවයි. ඒ අනුව Shoriful හට ශ්‍රී ලංකාට එරෙහි පළමු ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වනු ඇති.

මේ අතර, වේග පන්දු යවන ක්‍රීඩක Taskin Ahmed එළඹෙන 4 වැනිදා එංගලන්තය වෙත පිටත්ව යාමට නියමිතව ඇති බව ද සඳහන්. ඒ, ඔහුගේ උරහිසක ඇතිව තිබෙන ආබාධ තත්ත්වය සඳහා වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහායි.

මෙම ආබාධය නිසා Taskin හට ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද අහිමි වී තිබෙනවා. දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය මැයි 15 වනදා ද, දෙවැනි ටෙස්ට් තරගය මැයි 23 වනදා ද ආරම්භ වීමට නියමිතයි.

මෙම ටෙස්ට් තරගාවලිය ICC ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට ද අයත් වෙනවා. තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 8 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත අතර ඒ සඳහා තරග වදිනු ලබන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය තවමත් නම් කර නැහැ.

තරගාවලියේ කාලසටහන

  • දෙදින පුහුණු තරගය – මැයි 11 සහ 12 – M.A.Aziz Stadium, Chattogram
  • පළමු ටෙස්ට් තරගය – මැයි 15 සිට 19 දක්වා – ZACS, Chattogram
  • දෙවැනි ටෙස්ට් තරගය – මැයි 23 සිට 27 දක්වා – SBNCS, Dhaka

තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<