හැරී කේන් සමඟින් දශක පහක ශාපයට අභියෝග කරන එංගලන්තය

1469
@AFP PHOTO

1966 දී ලෝක ශූරයින් වූ, 1990 දී ලෝක කුසලානයක අවසන් පූර්ව වටයට පිවිසුණු එංගලන්ත පාපන්දු කණ්ඩයමේ මෙවර ලෝක කුසලාන සුදානම කෙබඳු ද? ලොව විශිෂ්ටතම පාපන්දු ලීගයක හිමිකරුවන් වන එංගලන්තයේ සූදානම සොයා ගිය ගමනකි මේ.

ඉතිහාසයේ මතක ; FIFA පාපන්දු ලෝක කුසලානය (1930 – 1938)

ලොව වැඩිම පිරිසකගේ අවධානය දිනා ගන්නා පාපන්දු ලෝකයේ පාපන්දු මෞලි මංගල්‍යය..

තරුණ සංචිතයක් සමඟ ‘ත්‍රිත්ව සිංහයින්’ සිය 15 වන ලෝක කුසලානය සඳහා රුසියාව කරා පියාසර කරන අතර ප්‍රිමියර් ලීග් තරගාවලිය හා ඉන් පිටත දස්කම් දැක්වූ තරුණ ක්‍රීඩකයින් රැසක් කණ්ඩායමට එක් කර තිබීම විශේෂත්වයක්.

එංගලන්තයේ ලෝක කුසලාන ගමන්මග

1966 දී එංගලන්තයේ පැවති ලෝක කුසලාන තරගාවලියේ දී සත්කාරකයින් වීමේ වාසිය ලබා ගනිමින් සුප්‍රසිද්ධ වෙම්බ්ලි ක්‍රීඩාංගණයේ දී බටහිර ජර්මනිය, අමතර කාලයේ දී පරාජය කරමින් FIFA ලෝක කුසලානය තමන් සතු කර ගැනීමට ඔවුන් සමත් විය.

1950 – පළමු වටය
1954 – අර්ධ අවසන් පූර්ව වටය
1958 – පළමු වටය
1962 – අර්ධ අවසන් පූර්ව වටය
1966 – ශූරයින්
1970 – අර්ධ අවසන් පූර්ව වටය
1974 – සුදුසුකම් ලබා ගැනීමට අසමත් විය
1978 – සුදුසුකම් ලබා ගැනීමට අසමත් විය
1982 – පළමු වටය
1986 – අර්ධ අවසන් පූර්ව වටය
1990 – අවසන් පූර්ව වටය
1994 – සුදුසුකම් ලබා ගැනීමට අසමත් විය
1998 – දාසය දෙනාගේ වටය
2002 – අර්ධ අවසන් පූර්ව වටය
2006 – අර්ධ අවසන් පූර්ව වටය
2010 – දාසය දෙනාගේ වටය
2014 – පළමු වටය

1954 දී උරුගුවේ විසින් එංගලන්තය අර්ධ අවසාන පූර්ව වටයෙන් ඉවතට ඇද දැමූ අතර බ්‍රසීලය 1962 දී එංගලන්තයට එම ඉරණම ම  අත්කරදෙන ලදි. 1966 බටහිර ජර්මනිය පරාජය කරමින් එංගලන්තය ලැබූ ලෝක කුසලාන ජය අමතක නොකළ ජර්මන් ක්‍රීඩකයින් 1970 දී සිය පලිගැනීම සාර්ථක කර ගනිමින් එංගලන්තය ඉවතට ඇද දැමීමට සමත් විය.

1966 ලෝක කුසලාන ශූරයින් – FIFA.com

1986 දී සුපිරි ක්‍රීඩක ඩියෙගෝ මැරඩෝනා එංගලන්තයට අඳුරු මතක එක් කළ අතර 1990 දී නැවතත් ජර්මන් ක්‍රීඩකයෝ එංගලන්තයේ ලෝක කුසලාන ගමන දඬුවම් පහර එල්ල කිරීමෙන් අනතුරුව අවසන් පූර්ව වටයෙන් අවසන් කිරීමට සමත් විය.

සුදුසුකම් ලැබීම

ලෝක ශ්‍රේණිගත කිරීම්වල 15 වැනි ස්ථානයේ සිටින එංගලන්ත කණ්ඩයම සිය සුදුසුකම් ලැබීමේ තරග දහයම අපරාජිතව අවසන් කිරීමට සමත් විය. තරග අටක් ජය ගත් ඔවුන් තරග දෙකක් ජය පරාජයෙන් තොරව අවසන් කළ අතර එම තරග මාලාව පුරා දෙවතාවක් පුහුණුකරුවන් මාරු කිරීමට ඔවුන්ට සිදු වූ අතර අවසානයේ සිය කළමනාකරු ලෙස ගැරත් සවුත්ගේට් පත්කර ගැනීමට ඔවුන් ක්‍රියා කළෝය.  

කණ්ඩයමේ ආක්‍රමණශීලී ඉදිරිපෙළ ක්‍රීඩකයින් පිළිබඳ ප්‍රශ්නාර්ථයක් මතු කරමින් බලාපොරොත්තු වූ තරම් දස්කම්වලට පිවිසීමට ඔවුන් අසමත් වූ අතර ගෝල 18කින් පමණක් ඔවුන් සෑහීමට පත්වද්දී අනෙක් එංගලන්ත පසුපෙළ ක්‍රීඩකයින් සිය සුපුරුදු රිද්මයට ක්‍රීඩා කරමින් අනෙක් කණ්ඩායම්වලට රැස්කර ගැනීමට ඉඩ ලබා දුන්නේ ගෝල තුනක් පමණි.

ස්ලෝවේනියාව, ස්ලෝවැකියාව, ලිතුවේනියාව, මෝල්ටා හා ස්කොට්ලන්තය සමඟ තේරීම් තරගාවලියේ දී එංගලන්තය ක්‍රීඩා කළ අතර ප්‍රබල එංගලන්ත පසුපෙළ ආරක්ෂක ක්‍රීඩකයින්ගෙන් මිදී ස්කොට්ලන්ත කණ්ඩායම ගෝල 2-1ක වාසියක් ලබා ගැනීමට සමත්වුවත්, හැරී කේන්ගේ අවසාන මිනිත්තුවේ ගෝලය එංගලන්තයේ අපරාජිත වාර්තාව සුරැකීමට සමත් විය.   

2018 දී එංගලන්තය නෙදර්ලන්තය හා ඉතාලිය සමඟ සුහද තරග සඳහා සහභාගී වූ අතර එහි දී නෙදර්ලන්තය හමුවේ ගෝල 1-0ක ජයක් හා අනෙක් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ඔවුන් සමත් විය. ලෝක කුසලානයට පෙර අවසාන වරට සිය කණ්ඩයම ස්ථාවර කර ගැනීම සඳහා එංගලන්තය නයිජීරියාව හා කොස්ටා රිකා ව සුහද තරගවල දී හමු වනු ඇත.

කළමනාකරු හා ක්‍රීඩා රටාව

2016 නොවැම්බර් මාසයේ එංගලන්ත කණ්ඩයමේ පුහුණු තනතුර හිමිවුවත් වැඩබලන පුහුණුකරු ලෙස 2016 ඔක්තෝබර් මාසයේ සිට කටයුතු කළ ගැරත් සවුත්ගේට්, හිටපු එංගලන්ත පසුපෙළ ආරක්ෂක ක්‍රීඩකයෙකු මෙන්ම එංගලන්ත නායකයෙකු ද වෙනවා. 1998 ප්‍රංශයේ හා කොරියාවේ හා ජපානයේ 2002 පැවති සුදුසුකම් ලැබීමේ තරගාවලි ජය ගනිමින් එංගලන්ත කණ්ඩයමට ලෝක කුසලානයට සුදුසුකම් ලබා දීමටත් ඔහුගෙන් මහත් මෙහෙයක් ඉටු වුනා.

ගැරත් සවුත්ගේට්

ජෝයි ගෝමෙස් හා ලිවර්පූල් ක්‍රීඩක ඔක්ස්ඩෙල් – චම්බර්ලින් හට ලෝක කුසලානය අහිමිවීමත්, ඇඩම් ලලනා හට එතරම් තරග ක්‍රීඩා කිරීමට නොලැබීමත් යන හේතු මත රුසියාවට යන ආක්‍රමණශීලී මැදපෙළ පිළිබඳ තවමත් ස්ථිර යමක් කිව නොහැකියි.  

නමුත් සවුත්ගේට් 4-4-2 ආකෘතියට ක්‍රීඩා කිරීමට රුචිකත්වයක් දක්වන අතර ඇතැම් අවස්ථාවල දී ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු මැද පෙළට එක් කරමින් 4-2-3-1  ආකෘතියට ද එංගලන්ත කණ්ඩයම ක්‍රීඩා කරයි.

වාසි ද? අවාසි ද?

එංගලන්තයේ ශක්තිය වේගවත් තරුණ ඉදිරිපෙළ හා ආරක්ෂාකාරී ලෙස ක්‍රීඩා කළ හැකි මැද පෙළයි. නමුත් අත්දැකීම් නොමැතිකම ඔවුන්ට ගැටලුවක් වනු නොඅනුමානය. යුරෝපා තේරීම් තරගවල දී පීඩනය සමග ක්‍රීඩා කිරීමේ දී එංගලන්තය බොහෝ දුර්වලතා පෙන්වූ අතර මෙය බොහෝ එංගලන්ත ක්‍රීඩකයින්ගේ පළමු ලෝක කුසලානය වනු වීම තත්වය තවත් දරුණු කිරීමට හේතුවක්.

බෙල්ජියම, ටියුනීසියාව හා පැනමාව සමග කාණ්ඩ අදියරේ දී එංගලන්තය තරග වදින අතර සවුත්ගේට් ගේ ක්‍රීඩකයින් එංගලන්ත ප්‍රේක්ෂකයින්ට අනවශ්‍ය භයානක පුදුම කිරීමක් ලබා නොදෙමින් කාණ්ඩය ජය ගැනීමට වගබලාගත යුතුමය.

රුසියාවට පායන එංගලන්ත තරු

‘අංග සම්පූර්ණ ක්‍රීඩකයෙකු’ ලෙස සිනේඩින් සිඩෑන්ගෙන් පැසසුම් හිමි කර

ගත් ටොටන්හැම් ප්‍රහාරක ක්‍රීඩක හැරී කේන් එංගලන්තයේ ප්‍රධානතම තුරුම්පුව වන අතර සුදුසුකම් ලැබීමේ තරග හයකට සහභාගී වෙමින් ගෝල පහක් වාර්තා කිරීමට ඔහු සමත්වීම විශේෂත්වයක්.

හැරී කේන්

2017 ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ගෝල තිහකට වඩා රැස්කළ කේන් අංක එකේ ප්‍රහාරකයා ලෙස ක්‍රීඩා කරනු ඇති අතර රහීම් ස්ටාර්ලින් සහ මාර්කස් රෑශ්ෆොර්ඩ් ඔහුගේ දෙපසින් සිට ඔහුට පන්දුව යොමු කරනු ඇත. 4-4-2 තරග ආකෘතියේ දී ජේමි වාර්ඩි හා ඩැනී වෙල්බෙක් ද ඔහුගේ සහයට එනු ඇත.

ස්ටාර්ලින්, මැන්චෙස්ටර් සිටි කණ්ඩයම වෙනුවෙන් සාර්ථක තරග වාරයක් ක්‍රීඩා කළ අතර ප්‍රතිවාදී කණ්ඩයම් ඔහු දෙසත් සිය අවධානය යොමු කරනු ඇත. ගෝල රැස් කිරීමේ මෙන්ම සහය ලබා දීමේ ද එක ලෙස දක්ෂතා පෙන්වා ඇති ඔහුගේ වේගය ප්‍රතිවාදීන්ට හිසරදයක් වන නමුත් දැල වෙතට සාර්ථකව ගෝලය යොමු කරමින් අවස්ථාවන් අපතේ නොයවමින් ලද අවස්ථාව සාර්ථකව අවසන් කිරීමට ඔහු තවත් උනන්දු විය යුතුයි  

ජෝර්දාන් හෙන්ඩර්සන් නායකයාගේ අත් පටිය පළඳින අතර ඔහුගේ සහයට යොවුන් ක්‍රීඩක ඩෙල් අල්ලීගේ සහය හිමි වනු අතර ජර්මනියේ ජෝෂුවා කිම්මික් මෙන් එංගලන්තයේ දිදුලන යොවුන් තරුව ඩෙල් අල්ලී ය.

ජෝර්දාන් හෙන්ඩර්සන්

එරික් ඩෙයාර් ද ටොටන් හැම් කණ්ඩයම වෙනුවෙන් සාර්ථක තරග වාරයක් ක්‍රීඩා කළ අතර ඉදිරිපෙළ ක්‍රීඩකයින් වන කේන් හා අල්ලී හට සහය දීමට ඔහු පළමු තරගයේ සිටම සවුත්ගේට් ගේ ක්‍රීඩකයින් ලැයිස්තුවට ඇතුලත් වනු ඇත.

පරිණත පසුපෙළ ආරක්ෂක වළල්ල ගැරී කාහිල් හා ඈෂ්ලි යන්ග් ගෙන් සමන්විත වන අතර මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩයමේ ඔවුන් දෙදෙනා හට මැන්චෙස්ටර්  සිටි කණ්ඩයමේ කයිල් වෝකර් හා ජෝන් ස්ටෝන්ස් එක්වනු ඇත.

මූලික සංචිතය

ගෝල රකින්නන් – ජැක් බට්ලන්ඩ්, ජෝර්දාන් පික්ෆොර්ඩ්, නික් පෝප්.

පසුපෙළ – ට්‍රෙන්ට් ඇලෙක්සැන්ඩර්-අර්නෝල්ඩ්, ගැරී කාහිල්, ෆේබියන් ඩෙල්ප්, ෆිල් ජෝන්ස්, හැරී මගියුරේ (Harry Maguire), ඩැනී රෝස්, ජෝන් ස්ටෝන්ස්, කිරන් ට්‍රිප්ලර්, කයිල් වෝකර්, ඈෂ්ලි යන්ග්.

මැදපෙළ – ඩෙල් අල්ලී, ජෝර්දාන් හෙන්ඩර්සන්, ජේසේ ලින්ගාර්ඩ්, රුබන් ලොෆ්ටස්-චීක්.

ඉදිරිපෙළ – හැරී කේන්, මාර්කස් රෑශ්ෆොර්ඩ්, රහීම් ස්ටර්ලින්, ජේමි වර්ඩි, ඩැනී වෙල්බෙක්

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<