ධනංජය ද සිල්වා බංග්ලාදේශයට

Dhaka Premier Division ක්‍රිකට් ලීගය 2022

4147

බංග්ලාදේශයේ පැවැත්වෙන Dhaka Premier Division ක්‍රිකට් ලීග් තරගාවලියේ Abahani Limited කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා හෙට (17) බංග්ලාදේශයට පිටත්ව යාමට නියමිතයි.

පසුගිය මාර්තු 15 වැනිදා ආරම්භ වුනු Dhaka Premier Division ක්‍රිකට් ලීග් තරගාවලියේ මූලික වටය මේ වන විට අවසන් වී තිබෙනවා. කණ්ඩායම් 11ක් තරග වදිනු ලබන මේ තරගාවලියේ මූලික වටය අවසානයේ තරග 10න් 7ක් ජයගෙන ප්‍රසාද ලකුණු 14ක් ද සමඟ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දිනා ගැනීමට Abahani Limited සමත්ව සිටිනවා.

ඒ අනුව මෙහි පළමු ස්ථාන 6 අතර සිටින Sheikh Jamal Dhanmondi Club, Abahani Limited, Legends of Rupganj, Prime Bank Cricket Club, Rupganj Tigers Cricket Club සහ Gazi Group Cricketers යන කණ්ඩායම් මෙහි සුපර් ලීග් තරග වටය සඳහා සුදුසකම් ලබා ගත්තා.

ලීග් ආකාරයට පැවැත්වෙන මේ තරගාවලිය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය දිනා ගන්නා කණ්ඩායමට තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට හැකියාව ලැබෙනවා.

ඒ අනුව ධනංජය ද සිල්වා හට Mosaddek Hossainගේ නායකත්වයෙන් යුත් Abahani Limited වෙනුවෙන් සුපර් ලීග් තරග වටයේ තරග 5ක් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙන අතර එම තරග මේ මස 18 වැනිදා සිට 27 වැනිදා දක්වා බංග්ලාදේශයේ දී පැවැත්වීමට නියමිතයි.

මීට අමතරව කුසල් මෙන්ඩිස් ද Mohammedan Sporting Club නියෝජනය කරමින් මේ තරගාවලියේ තරග දෙකකට ක්‍රීඩා කළා. මෙන්ඩිස් එහි මූලික වටයේ අවසන් තරගයේ දී Legends of Rupganj කණ්ඩායමට එරෙහිව ශතකයක් ලබාගෙන තරගයේ වීරයා බවට පත්වෙමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළා.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිත ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ තරග දෙකක් මැයි මාසයේ දී පැවැත්වෙන අතර එම තරගාවලියට පෙර මෙන්ඩිස් සහ ධනංජය හට බංග්ලාදේශයේ පැවැත්වෙන මේ List A තරගාවලිය සඳහා සම්බන්ධ වීමට හැකි වීම තරගාවලියට පෙර ඔවුන්ගේ පෙර සූදානම වෙනුවෙන් ඉතාමත් වටිනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<