අපි පහුගිය කාලෙ පැරැදුණා තමයි ඒත් උඩට එන්න බැරිකමක් නෑ

418
Graham-Ford-Sri-LankaHead Coach

සත්කාරක ඉන්දියානු කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර ඊයේ නාග්පූර් හිදී පැවැති තරගයෙන් 6 වැනි විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වූ අතර වත්මන් විස්සයි-20 ලෝක ශූර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන ප්‍රථම තරගය ලෙස ඇෆ්ගනිස්ථාන් කණ්ඩායම හෙට හමුවන්නේ මෙහි ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩංගණයේදීය.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට සහභාගී වූ පුහුණු තරග දෙකෙන්ම පරාජයට පත්වූ අතර ඊයේ පස්වරුවේ කොල්කටා නගරයේ ජාවද්පූර් යුනිවර්සිටි ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුවීම් වල නිරත වූ අවස්ථාවේදී ප්‍රධාන පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් පවසා සිටියේ තරග පරාජය වුවද දිනෙන් දින කණ්ඩායමේ ප්‍රගතියක් දැකිය හැකි බවයි.

පාකිස්ථානයට එරෙහිව කොල්කටාහි ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේදී පැවැති 2 වැනි පුහුණු තරගයේදී එය වඩාත් තහවුරු බව කී ශ්‍රී ලංකා පුහුණුකරුවා ” අපි ප්‍රතිවාදීන් හොඳින් පාලනය කරමින් ඔවුන් පන්දුවාර 16ක් අවසානයේ ලකුණු 106කට සීමා කළා. එහෙත් අපේ පිතිකරණයේදී ඒ ලබා ගත් රිද්මය අපට රඳවා ගන්න අපහසු වුණේ ඩිල්ෂාන් ඉක්මනින්ම දැවී ගිය නිසයි. නමුත් චන්දිමාල් හා තිරිමාන්න එක්ව පන්දුවාර 10ක් අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී මාවතකට ගෙනාවා. එහෙත් ඊළඟ පන්දුවාර පහේදී ලකුණු 36කට කඩුලු 5ක්ම බිඳ වැටුණ නිසයි අපි පරාජයට පත්වුණේ‘” යනුවෙන් පැවැසීය.

කෙසේ වෙතත් මෙම අවධිය වන විට තම කණ්ඩායම සමහර කණ්ඩායම් වලට වඩා පසුපසින් සිටින බව තේරුම් ගෙන සිටින බවත් එහෙත් ඉක්මනින්ම එවන් කණ්ඩායම් අභිභවා යන්නට තම කණ්ඩායමට නොහැකි යැයි ඉන් අදහස් නොකරන බවත් පැවැසූ පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් මහතා ඕනෑම තරගයක පන්දුවාර 20ක් පමණක් නොව තරගයේ පන්දුවාර 40 කෙරෙහිම එකම ආකාරයෙන් අවධානය යොමු කරමින් ක්‍රීඩා කළ යුතු බවද අවධාරණය කළේය. ලෝක කුසලානයට පැමිණ සිටින සෑම කණ්ඩායමක්ම අවතක්සේරු කළ නොහැකි සේම ඉතා කැපවීමෙන් ක්‍රීඩාකරන දක්‍ෂ කණ්ඩායමක් බව පැවැසූ ශ්‍රී ලංකා පුහුණුකරුවා ” විස්සයි-20 ක්‍රිකට් කියන්නෙ ඉක්මනින්ම වෙනස් වන තරග රටාවක්. ඒ බව හොඳින් තහවුරු කරමින් 2 වැනි පුහුණු තරගයේ අවසන් පන්දුවාර 4දී පාකිස්ථානය පීඩනය අපේ පැත්තට දැම්මා. එනිසා තමන්ට ඇති අත්දැකීම් උපයෝගී කරගෙන ලැබෙන සෑම අවස්ථාවකින්ම ප්‍රයෝජන ගන්න ක්‍රීඩකයන් දැනගන්න ඕන” යැයිද අදහස් දැක්විය.

තවද ලසිත් මාලිංග ගැන අදහස් දැක්වූ ශ්‍රී ලංකා පුහුණුකරුවා කියා සිටියේ ඔහු සැබැවින්ම තරග දිනවන්නකු බවයි. පසුගිය ආසියානු කුසලාන තරගාවලියේදී එක් තරගයකට ක්‍රීඩා කරමින් දැක්වූ ඔහුගේ දස්කම් ගැනද කතා කළ ෆෝඩ් ” මාලිංග කණ්ඩායමේ සිටීමෙන් සෑහෙන යහපත් බලපෑමක් තියෙනවා. මම හිතන්නේ ඔහුට යළි කණ්ඩායමට එකතු වෙලා සුපුරුදු දස්කම් පෙන්වන්න අවස්ථාව ලැබෙනවා කියලයි. නව නායකයා ලෙස මැතිව්ස් පත්වුණත් ඔහුට ඒක එතරම් ප්‍රශ්නයක් වේවි කියල මම හිතන්නෙ නැහැ. හේතුව ඔහු අනෙක් තරග ආකෘතිවලදී බොහෝ කාලයක් කණ්ඩායමේ නායකත්වය දරල තියෙනවා. නායකත්ව නොදැරූ කාලයේදී පවා ජේ‍යෂ්ඨ ක්‍රීඩකයකු ලෙසත් ඔහුගෙන් තරුණ ක්‍රීඩකයන්ට බොහෝ වැදගත් තොරතුරු ලැබුණා” යනුවෙන්ද වැඩිදුරටත් කීය.