මෙහෙම බව දන්නවා නම් එන්නෙත් නෑ – හතුරුසිංහ

Ireland vs Bangladesh 2023

27999

අයර්ලන්තය සමඟ පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නිසි පරිදි සූදානම් වීමට තම කණ්ඩායමට ඉඩ අවකාශය නොලැබුණු බව බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා විසින් පවසනවා.

දෙරට අතර එක්දින ක්‍රිකට් තරගාවලිය අද (9) එංගලන්තයේ Chelmsford ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිත අතර, බංග්ලාදේශය තරගාවලිය වෙනුවෙන් එංගලන්තය බලා පිටත් වුනේ මෙම මස 2 වැනිදායි. නමුත් පැවති අයහපත් කාලගුණ තත්වය නිසා සැලසුම් කර තිබූ පරිදි ඔවුන්ට පුහුණුවීම් වල නිරත වීමට අවකාශය හිමි වුනේ නැහැ.

එමෙන් ම පසු ගිය 5 වැනිදා බංග්ලාදේශයට සහභාගී වීමට තිබූ එක ම පුහුණු තරගයත් වර්ෂාවට සේදී ගියා.

ICC සුපර් ලීග් තරගාවලියට නියමිත අවසන් එක්දින ක්‍රිකට් තරගාවලිය මෙය වන අතර, අයර්ලන්ත පාර්ශවයෙන් ගත් කල මෙම තරගාවලිය ජයග්‍රහණය කිරීම මෙවර ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සෘජු සුදුසුකම් ලබා ගැනීමට ඇති එක ම මාර්ගය ලෙස හඳුන්වා දිය හැකි. නමුත් මේ වන විටත් ලෝක කුසලානය වෙනුවෙන් සුදුසුකම් ලබා ඇති බංග්ලාදේශයට මෙය තවත් එක් එක්දින ක්‍රිකට් තරගාවලියක් පමණක් වනු ඇති.

එමෙන් ම මෙම තරගාවලිය පැවැත්වීමට සූදානම් කර ඇත්තේ එංගලන්තයේ වන අතර, බංගලාදේශ පුහුණුකරු හතුරුසිංහ මහතා විසින් එම තීරණය පිළිබඳ ව මෙසේ සිය අදහස් පළ කර තිබුණා.

“අපි අයර්ලන්තයට එරෙහිව එංගලන්තයේ දී ක්‍රීඩා කිරීම නිතර සිදු නොවෙන තරමක් විශේෂ අවස්ථාවක්.

මේ තමයි පළමු අවස්ථාව, අපිට කාටවත් බනින්න බැහැ. මේක හොඳ සූදානමක් නොවෙන නිසා ම, අපි මේක දැන ගෙන හිටියා නම් මේ වගේ කාලසටහනක් සඳහා එකඟ නොවෙන්න ඉඩ තිබුණා. අපි මේකෙන් ඉගෙන ගන්නවා.”

තම කණ්ඩායමට පුහුණු වීම් සඳහා අවශ්‍ය තරම් කාල වේලා නොලැබීම පිළිබඳ කනස්සල්ලක් ඔහුගේ ප්‍රකාශයේ ගැබ් වී තිබුණා.

නමුත් මෙවර ලෝක කුසලානය පැවැත්වෙන ඉන්දියාවට සාපේක්ෂව මෙම ක්‍රීඩාංගණවල තත්වය තරමක් වෙනස් නිසා ම මෙය මෙවර ලෝක කුසලානය වෙනුවෙන් සූදානම් වීමේ අවස්ථාවක් කර නොගන්නා බවත් හතුරුසිංහ විසින් අවධාරණය කළා.

එමෙන් ම තරගාවලිය වෙනුවෙන් නම් කළ බංගලාදේශ සංචිතයේ සිටින නවකයින්ට මෙම තරගාවලිය හොඳ අත්දැකීමක් වනු ඇති බව සඳහන් කළ හතුරුසිංහ වැඩිදුරටත් සඳහන් කළේ Shakib Al Hassan සහ Mehedy Hasan වැනි තුන් ඉරියව් ක්‍රීඩකයින් සිය කණ්ඩායම සමඟ සිටීම මහත් වාසනාවක් බවයි.

තරගාවලිය පිළිබඳ සියලු ම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<