ආබාධ සහිත Archer වෙනුවට Jordan IPL පිටියට

IPL 2023

132
Chris Jordan replaces injured Jofra Archer

මෙවර IPL තරගාවලියේ පැවැත්වීමට නියමිත සෙසු තරග සඳහා එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක Chris Jordan සහභාගි කර ගැනීමට Mumbai Indians තීරණය කර තිබෙනවා.

ඔහුව Mumbai Indians කණ්ඩායමට එකතු කරගෙන තිබෙන්නේ ආබාධයකට ලක්ව නැවතත් එංගලන්තය බලා පිටත් වන Jofra Archer වෙනුවෙනුයි. Mumbai Indians විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ, ආබාධ සුව වීමේ පුනරුත්තාපන ක්‍රියාවලිය වෙනුවෙන් Archer ඊයේ (9) නැවතත් සිය මව්රට බලා පිටත්ව ගිය බවයි.

පසුගිය කාලසීමාව පුරාවට අඛණ්ඩව ආබාධ රැසකට මුහුණු දුන් Archer නැවතත් ජාත්‍යන්තර පිටියට පැමිණියේ මේ වසරේ ආරම්භයත් සමඟිනුයි. මෙවර IPL තරගාවලිය සඳහා සිය පූර්ණ දායකත්වය ලබා දීමට අපේක්ෂාවෙන් සිටි 28 හැවිරිදි Archer, Mumbai Indians ක්‍රීඩා කළ සමාරම්භක තරගය සඳහා පමණක් ක්‍රීඩා කළත් ඉන්පසුව වැලමිට ආශ්‍රිතව හට ගත් ආබාධයක් නිසාවෙන් ඔහුට ක්‍රීඩා කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ.

එම ආබාධයත් සමඟින් වරින් වර ඔහු කණ්ඩායමේ 11 දෙනා අතරට ඇතුළත් වුවත්, පසුව ඔහු සුළු සැත්කමක් සඳහා බෙල්ජියම වෙත පියාසර කළා. එම සැත්කමෙන් පසුව ඔහු නැවතත් එංගලන්තය බලා පිටත්ව යෑමට සූදානමින් පසු වන අතර ඔහුගේ පුනරුත්තාපන කටයුතු එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් කමිටුවේ දැඩි අධීක්ෂණය මත සිදු කෙරෙනු ඇත.

එරට ක්‍රිකට් ආයතනය නිවේදනයක් මගින් සඳහන් කර සිටියේ, Archer නැවතත් සුව අතට හැරි සුපුරුදු දස්කම් අතරට එනු දැකීම සිය අපේක්ෂාව බවයි. එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව තිබුණේ, ඔහුගේ ආබාධය සුව අතරට හැරීම වෙනුවෙන් අවැසි පුනරුත්තාපන කටයුතු සහ විවේකය වෙනුවෙන් ඔහුව නැවතත් එංගලන්තය වෙත ගෙන්වා ගැනීමට ඔවුන් එකඟතාව පල කළ බවයි.

Jordan මින් පෙර Chennai Super Kings, Royal Challengers Bangalore, Punjab Kings සහ Sunrisers Hyderabad කණ්ඩායම් නියෝජනය කර තිබෙන අතර ඔහු අවසන් වරට සහභාගී වූ පසුගිය වසරේ IPL තරගාවලියේ දී නියෝජනය කළේ Chennai Super Kings කණ්ඩායමයි. ඒ අනුව Jordan IPL හි ක්‍රීඩා කරන 5 වැනි කණ්ඩායම Mumbai Indians වන අතර මෙතෙක් IPL තරගාවලි ඉතිහාසයේ තරග 28කට සහභාගී වී ඔහු විසින් දවා ගෙන ඇති කඩුලු ගණන 27ක්.

Jordan ඉන්දීය රුපියල් කෝටි 2කට Mumbai Indians වෙනුවෙන් ගිවිසුම් ගත වී ඇති අතර 5 වතාවත් ශූරතාව දිනූ Mumbai කණ්ඩායමේ පන්දු යැවීමේ අංශය සවිමත් කිරීම ඔහුගේ ප්‍රධානම රාජකාරිය වනු ඇත.

මෙවර IPL තරගාවලියේ සියලු තරග ThePapare.com ඔස්සේ සජීව ලෙස නැරඹීමට හැකියාව තිබෙන අතර තරගාවලියේ උණුසුම සඳහා රැඳෙන්න ThePapare.com සමඟින්ම.

Cricbuzz ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<