“Messi උසස්, නමුත් Maradona වෙනම ලෝකයක”

146
Messi

Lionel Messi සහ Diego Maradona අතර සංසන්දනයකට පිළිතුරු ලබා දෙමින් ඉතාලියේ හිටපු පාපන්දු ක්‍රීඩක Fabio Cannavaro පවසා සිටින්නේ ඔවුන් දෙදෙනා අතරින් Maradona ඉදිරියෙන් සිටින බවයි. 

ආජන්ටිනාවෙන් බිහි වූ සුපිරි පාපන්දු ක්‍රීඩකයින් දෙදෙනෙක් වන Messi සහ Maradona අතරින් හොඳම ක්‍රීඩකයා කවුරුන් ද යන විවාදය මේ වන විට වසර ගණනාවක් පැරණි එකක් වන අතර ඊට අදාළව බොහෝ පාපන්දු විශ්ලේෂකයින්, විචාරකයින්, පුහුණුකරුවන්, ක්‍රීඩකයින් මෙන්ම පාපන්දු ලෝලීන් ද විවිධ පරස්පර මත මෙම කාලය පුරාවට ඉදිරිපත් කර ඇත. 

කෙසේ නමුත් පසුගිය දා මේ පිළිබඳ සිය මතය ප්‍රකාශ කර සිටි ඉතාලියේ හිටපු සුපිරි පාපන්දු ක්‍රීඩක Cannavaro පවසා සිටින්නේ Messi ඉතා විශිෂ්ට පාපන්දු ක්‍රීඩකයෙක් වුවත් Maradona ඔහුට වඩා ඉදිරියෙන් සිටි බවයි. 

Cannavaro සිය පාපන්දු දිවියේ ආරම්භක වසර කිහිපයේ දී ඉතාලියේ ම Napoli පාපන්දු සමාජය නියෝජනය කළ සමයේ ඔහුට Maradona සමඟ එකම කණ්ඩායමේ ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වූ අතර එහි දී Maradona විසින් ඔවුන්ගේ කණ්ඩායම Serie A ලීග් ශූරතාවයන් දෙකක් කරා රැගෙන යන්නට විශාල දායකත්වයක් දෙනු ලැබීය. 

වසර කිහිපයකට පසුව Cannavaro ස්පාඤ්ඤයේ Real Madrid පාපන්දු සමාජය වෙත කණ්ඩායම් මාරුවක් ලබා ගැනීමෙන් අනතුරුව එහි දී අවස්ථා රැසක දී ඔහුට FC Barcelona කණ්ඩායම නියෝජනය කළ Messiට එරෙහිව ක්‍රීඩා කරන්නට ද අවස්ථාව හිමි විය. 

ඒ අනුව Maradona සහ Messi දෙදෙනාගේම දක්‍ෂතාවයන් ක්‍රීඩා පිටියේ දී ම අත්විඳ ඇති ක්‍රීඩකයෙක් ලෙස Cannavaro පවසා සිටින්නේ ඔවුන් දෙදෙනා ම පාපන්දු ක්‍රීඩාව තුළ බිහි වූ අතිවිශිෂ්ට ක්‍රීඩකයින් ලෙස ඉතිහාසයට එක්වනු ඇතත් එහි දී Maradona යම්තාක් දුරකට Messiට වඩා ඉදිරියෙන් සිටින බවයි. 

“මම Messiට ගොඩක් ගරු කරනවා. අලුත් පරම්පරාවට නම් ඔහු පාපන්දු ඉතිහාසය තුළ බිහි වූ දක්‍ෂතම ක්‍රීඩකයින් අතරින් කෙනෙක්. නමුත් Maradona ඊට වඩා වෙනස්. මොකද ඒ දවස්වල පාපන්දු ක්‍රීඩාව වුනත් මීට වඩා වෙනස්. ඔහුගේ ප්‍රතිවාදීන් හැමතිස්සේම තරගවල දී ඔහුව ඉලක්ක කරගෙන පා පහරවල් එල්ල කළා. නමුත් හැමවෙලේම ඔහු පන්දුව ඔහුගේ පාලනයේ තියාගන්න සමත් වුනා. Maradona කියන්නේ ලේසියෙන් යටත් නොවුණ ක්‍රීඩකයෙක්. 

Messi කියන්නෙත් විශිෂ්ට ක්‍රීඩකයෙක් තමයි. ඒත් Maradona ගත්තොත් ඔහු හරියට වෙනත් ලෝකයකින් ආපු ක්‍රීඩකයෙක් වගේ. මම කවදාවත් ඔහුව වෙන ක්‍රීඩකයෝ එක්ක සංසන්දනය කරන්නේ නැහැ. මම කවදාවත් Pele ක්‍රීඩා කරනවා දැක්කේ නැහැ. ඒත් මම Maradona ක්‍රීඩා කරනවා දැක්කා. වසර 7ක් පුරාවට ඔහුගේ හැම තරගයක්ම මම බැලුවා. 

ඒ අනුව Maradona කියන්නේ විශිෂ්ටතම ක්‍රීඩකයින් අතරින් කෙනෙක් විතරක් නෙමෙයි. ඔහු තමයි පාපන්දු ඉතිහාසය තුළ බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩකයා.”

තවත් කියවන්න;

මෙහි දී Maradona විසින් ආජන්ටිනා ජාතික පාපන්දු කණ්ඩායම 1986 වසරේ පාපන්දු ලෝක කුසලාන ශූරතාවය කරා රැගෙන යාමට සමත් වීමත්, Messi තවමත් එරට ජාතික කණ්ඩායම සමඟ කිසිදු ජාත්‍යන්තර තරගාවලියක ශූරතාවයක් දිනා ගැනීමට අසමත්ව සිටීමත් පාපන්දු ලොව සමහරෙක් Maradonaට වැඩි පිළිගැනීමක් ලබා දීමට බොහෝ දුරට ඉවහල් වී ඇත. 

2006 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ශූරතාවය දිනා ගත් ඉතාලි කණ්ඩායමේ නායකත්වය දැරූ Cannavaro පාපන්දු ක්‍රීඩාව තුළ බිහි වූ විශිෂ්ටතම ‘centre-back’ ක්‍රීඩකයින් අතරින් කෙනෙක් ලෙස සිය නාමය ස්ථාපිත කරගන්නට සමත්ව ඇත. .

සිය වෘත්තීය පාපන්දු දිවිය තුළ Napoli, Inter Milan, Juventus හා Real Madrid ඇතුළු ප්‍රමුඛ පෙළේ පාපන්දු සමාජ කිහිපයක් ම නියෝජනය කළ ඔහු එහි දී 1999 UEFA Europa League ශූරතාවය සහ ලීග් ශූරතාවන් කිහිපයක් ද ඇතුළුව තවත් දේශීය තරගාවලි රැසක ශූරතාවන් දිනා ගන්නට සමත්ව ඇත. 

තවදුරටත් සිය පෞද්ගලික දක්‍ෂතාවයන් වෙනුවෙන් ඔහු 2006 වසරේ Ballon d’Or සම්මානයෙන් මෙන්ම FIFA වසරේ හොඳම පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානයෙන් ද පිදුම් ලැබූ අතර ඔහුගෙන් අනතුරුව මේ දක්වා ම එම සම්මාන ද්විත්වයෙන් එකක් හෝ දිනා ගන්නට වෙනත් කිසිදු ආරක්‍ෂක ක්‍රීඩකයෙක් සමත්ව නොමැත.  

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<