FIFA වෙතින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට මිලියන 93ක්

87
FIFA Gives 93 Million to FFSL

‘Coronavirus’ වසංගත තත්වයෙන් පීඩාවට පත්ව සිටින ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවට සම්බන්ධ පිරිස් නඟා සිටුවීම සඳහා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට (FFSL) ඇමෙරිකානු ඩොලර් ලක්‍ෂ 5ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ. 

ඒ අනුව මේ වන විට ව්‍යාප්තව පවතින ‘Coronavirus’ වසංගත තත්වය නිසා අපහසුතා වලට මුහුණ දෙන පාපන්දු ක්‍රීඩාවට සම්බන්ධ පිරිස් වලට සහන සැලසීම සඳහා සිදු කරනු ලබන සහනාධාර සැලැස්මේ පළමු පියවර යටතේ මෙම මුදල ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට පිරිනැමෙනු ඇත. 

මේ පිළිබඳව තහවුරු කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් FIFA දැනුවත් කර සිටියේ;

“මෙම වැඩපිළිවෙළ හරහා ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක පමණ සම්පූර්ණ මුදල් ප්‍රමාණයක් ලොව පුරා ඇති රටවල් 211ක ජාතික පාපන්දු පාලන ආයතන සඳහා බෙදාහැරෙනු ඇත. 

මෙම ක්‍රියාදාමය හරහා ‘Forward 2.0’ වැඩසටහන යටතේ සාමාජික සංගම්වල මෙහෙයුම් වියදම්වලට අදාළ ඉතිරි හිමි මුදල් සියල්ල 2019 සහ 2020 වසර සඳහා සම්පූර්ණ වශයෙන් නිකුත් කිරීමට නියමිත ය. විශේෂයෙන් 2020 වසරේ මෙහෙයුම් වියදම් සඳහා වන දෙවන වාරිකය ජූලි මාසයේ දී අදාළ සාමාජික සංගම් වෙත නිකුත් කිරීමට නියමිතව තිබුනත් එය වහාම නිකුත් කිරීමට දැන් කටයුතු සිදුකෙරෙනු ඇත.

සාමාන්‍ය තත්වයන් යටතේ FIFA හි සාමාජික සංගම් සඳහා මෙම සම්පූර්ණ මුදල පිරිනැමීමට නම් ඔවුන් නියමිත නිර්ණායකයන් සපුරාලීම අවශ්‍ය වන නමුත් එම සෑම සාමාජික සංගමයකටම අදාළව පාපන්දු ක්‍රීඩාව සුරක්‍ෂිත කිරීම සඳහා කරනු ලබන සහය ලබා දීමක් වශයෙන් මෙම මුදල් දැන් පිරිනැමීමට කටයුතු කෙරෙනු ඇත. 

මෙම මූල්‍ය ආධාරය අදාළ සාමාජික සංගම් විසින් ඔවුන්ගේ කාර්ය මණ්ඩලය සහ වෙනත් තෙවැනි පාර්ශව කෙරෙහි ඇති මූල්‍ය හෝ මෙහෙයුම් වගකීම් සපුරාලීම වැනි ‘COVID-19’ හරහා ඇතිවූ මූල්‍යමය ගැටලු අවම කරගැනීම සඳහා යොදාගත යුතුය. මෙම මුදල් භාවිතය සම්බන්ධව ‘Forward 2.0’ හි රෙගුලාසි වල දක්වා ඇති සම්මත යුතුකම් සහ වගකීම් සම්පූර්ණ වශයෙන් තවදුරටත් බලපැවැත්වෙනු ඇති අතර ඊට අමතරව ඒවා නියමිත විගණන පරීක්‍ෂණ මෙන්ම වාර්තාවන් ලබා දීමේ වැඩපිළිවෙළවලට ද යටත් වේ.”

ඒ අනුව මෙම වැඩපිළිවෙළ යටතේ FFSL වෙත පළමුව ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 5ක මුදලක් (රුපියල් 93,260,000) පිරිනැමෙනු ඇති අතර අනතුරුව නියමිත නිර්ණායකයන් සපුරා ලීමට සමත් වුවහොත් තවත් ඩොලර් ලක්‍ෂ 5ක මුදලක් ද ඔවුන් වෙත පිරිනැමෙනු ඇත. කෙසේ නමුත් FIFA විසින් නිකුත් කරනු ලැබූ ඉහත මාධ්‍ය නිවේදනයේ දැක්වෙන පරිදි මෙම මුදල් යොදාගත හැක්කේ පාපන්දු සම්මේලනයේ දෛනික කටයුතු, පරිපාලන කටයුතු සහ මෙහෙයුම් වියදම් සඳහා පමණි. 

මේ පිළිබඳව විමසීමට ThePapare.com අපි FFSL සභාපති අනුර ද සිල්වා සම්බන්ධ කර ගත් අතර ඒ අනුව ඒ පිළිබඳව අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ;

“අපි ආරම්භ කරපු ‘COVID-19’ සහන සැලසීමේ ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකානු ඩොලර් ලක්‍ෂයක මුදලක් අනුමත කරන්න කියලා අපි FIFA එකෙන් ඉල්ලා සිටියා. ඒ අනුව අපි මෙම මුදල් මෙම වසංගත තත්වය හමුවේ අපහසුතා වලට ලක්වෙලා ඉන්න FFSL හි සාමාජික ලීග් තරගාවලි, පාපන්දු සමාජ, ක්‍රීඩකයින්, තරග විනිසුරුවන්, පුහුණුකරුවන් වගේම ජාතික කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රීඩකයින් සහ හිටපු විනිසුරුවන් සඳහා ද සහය දක්වන්න යොදා ගන්නවා.

‘COVID-19’ සහන සැලසීමේ ව්‍යාපෘතියට අදාළව සියලුම අනුබද්ධ සහ සක්‍රිය පාපන්දු ලීග වලට 2019 වසරේ දී FFSL මඟින් පවත්වනු ලැබූ තරගාවලිවලට ඔවුන් දැක්වූ සහභාගීත්වය හෝ 2019 වසරේ තරගාවලි වලට සහභාගී වීම සඳහා සුදුසුකම් සපුරා ගැනීම (පසුගිය වසරේ සිදු වූ පාස්කු දින බෝම්බ ප්‍රහාර සහ පසුව පැවති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් අපිට සමහරක් තරගාවලි ආරම්භ කරන්න හැකියාවක් ලැබුණේ නැහැ) මත පදනම්ව අපි ඔවුන්ට ඒ අදාළ මුදල් ලබා දෙන්න කටයුතු කරනවා.

අපි එම පාපන්දු ලීගවලට පියවර දෙකක් යටතේ සහය දැක්වීම සිදු කරනවා. ඒ අනුව පළමු මුදල් නිකුත් කිරීම මේ මාසේ 12 හෝ 13 දින සිදු කරලා පසුව දෙවන පියවර යටතේ මුදල් නිකුත් කිරීම මේ මාසේ අග හෝ ලබන ජුනි මාසේ මුල සිදු කරනවා.

2019 FA Cup තරගාවලියට අදාළව සියලුම පාපන්දු ලීගවලට පළමු වටය ඔවුන්ගේ ඒ ලීගය තුළම පවත්වා එය 2019 වසර සඳහා වන ඔවුන්ගේ පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය ලෙස සලකන්න කියලා අපි උපදෙස් ලබා දීමක් සිදු කරපු නිසා 2019 වසරේ එම FA Cup තරගාවලියේ සහභාගීත්වය පදනම් කරගෙන අපි මෙම මුදල් ලබා දීමේ නිර්ණායකයන් සකස් කරනවා. 

ඊට අමතරව 2018/19 ‘Dialog’ ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ මෙන්ම 2018/19 පළමු කාණ්ඩයේ ක්‍රීඩා කළ සියලුම පාපන්දු සමාජ වලට ද මුදල් වෙන්කිරීමක් සිදුකරනවා. 

තවත් කියවන්න;

ඒ අනුව එක් පාපන්දු ලීගයකට රුපියල් 100,000 සිට 300,000 දක්වා වන පරිදි සමස්ත පාපන්දු ලීග 54කට, ‘Dialog’ ශූරයින්ගේ කුසලාන තරගාවලියේ පාපන්දු සමාජ 17ට රුපියල් 300,000 බැගින් සහ පළමු කාණ්ඩයේ පාපන්දු සමාජ සඳහා 150,000 බැගින් මුදල් පිරිනැමීම සිදු කෙරෙනවා. ඊට අමතරව අපි හිටපු ජාතික ක්‍රීඩකයින්ට, පුහුණුකරුවන්ට වගේම තරග විනිසුරුවන්ටත් සහය දැක්වීමක් සිදු කරනවා.

2019 වසරේ කාන්තා ජාතික සංචිතයට වගේම වයස අවුරුදු 19න් පහළ සංචිතයටත් ඔවුන්ගේ පවුල් සඳහා අවශ්‍ය සහය දැක්වීමක් කරන්න අපි මුදල් පිරිනැමීමක් සිදුකරනවා. ඊට අමතරව මහජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන පරිත්‍යාගයක් ලෙස අපි ජාතික ‘COVID-19’ අරමුදලට ද යම් මූල්‍යමය දායකත්වයක් සිදු කිරීමට කටයුතු කරනවා.”

ඒ අනුව සමස්තයක් ලෙස FFSL විසින් පාපන්දු ලීග, ‘Dialog’ ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ සහ පළමු කාණ්ඩයේ සියලුම පාපන්දු සමාජ මෙන්ම ක්‍රීඩකයින් (වත්මන් සහ හිටපු) පුහුණුකරුවන් සහ තරග විනිසුරුවන්ට සහය දැක්වීම සඳහා ඇමෙරිකානු ඩොලර් ලක්‍ෂයක (රුපියල් 18,652,000) මුදලක් යෙදවීමට සැලසුම් කර ඇති නමුත් එම මුදල ඒ අදාළ සියලුම පාර්ශව සඳහා නිසි පරිදි අවශ්‍ය සහයෝගය දැක්වීමට ප්‍රමාණවත් වනු ඇත්දැයි යන ගැටලුව අප හමුවේ පැන නැඟී ඇත. 

(ඇමෙරිකානු ඩොලර් 1 = රුපියල් 186.92, 2020 මැයි මස 10 වන දිනට අනුව)

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<