“Messi, Ronaldo හා Neymar ඔක්කොටම වඩා මම දක්ෂයි”

151
neymar-messi-ronaldo

බ්‍රසීලයේ හිටපු පාපන්දු ක්‍රීඩක Edilson ඔහුගේ හැකියාවන් සහ දක්ෂතාවයන්, වර්තමානයේ ප්‍රබලම ක්‍රීඩකයින් ලෙස සැලකෙන Messi, Ronaldo සහ Neymarට වඩා ඉහළ තලයක පැවති බව පවසා ඇත. 

1993 වසරේ සිට 2002 වසර කාලය දක්වා බ්‍රසීල ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කළ Edilson da Silva, 2002 වසරේ දී පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කළ බ්‍රසීල කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කරනු ලැබීය. ඒ අනුව ඔහු Neymarට වඩා දස්කම් වලින් සමන්විත වූ ක්‍රීඩකයෙකු බවත්, ඔහු පාපන්දු දිවිය තුළ ලබාගත් ජයග්‍රහණ Lionel Messi සහ Cristiano Ronaldoටත් ඉහළින් පවතින බවත් පසුගියදා අදහස් දක්වමින් ඔහු පවසා ඇත. 

සිය වෘත්තීය පාපන්දු දිවිය තුළ Edilson පාපන්දු සමාජ රැසක් නියෝජනය කර ඇතත් එහිදී බ්‍රසීලයේ Palmeiras සහ Corinthians කණ්ඩායම් නියෝජනය කරමින් එම කණ්ඩායම් සමඟ ලීග් කිරුළු 2 බැගින් ද ඊට අමතරව තවත් දේශීය ශූරතාවයන් කිහිපයක් ද දිනා ගැනීමට ඔහු සමත් වී ඇත. 1994 වසරේ දී පෘතුගාලයේ Benfica පාපන්දු සමාජය විසින් ඔහුව තාවකාලික පදනමක් යටතේ කණ්ඩායමට එක්කර ගනු ලැබූ අතර එහිදී ඔහු ක්‍රීඩා කළ වසරක පමණ කාලය ඔහුගේ පාපන්දු දිවියේ යුරෝපය තුළ කණ්ඩායමක් නියෝජනය කරමින් ඔහුට ක්‍රීඩා කිරීමට ලැබුනු එකම අවස්ථාව ද විය. 

ඒ අනුව ඔහු ක්‍රීඩා කළ කාලය තුළ එක් වසරක දී හෝ ඔහුව වසරේ හොඳම පාපන්දු ක්‍රීඩකයාට හිමි Ballon dOr සම්මානය සඳහා නිර්දේශ නොවූ අතර එවන් පසුබිමක් තුළ ඔහු විසින් මෙවන් ප්‍රකාශයක් සිදුකිරීම කාටත් පුදුම සහගත කරුණක් විය හැකිය. 

එහිදී සිය පාපන්දු සමාජ ක්‍රීඩා දිවිය එතරම් සාර්ථක එකක් නොවුනත් ඔහු බ්‍රසීල ජාතික කණ්ඩායම නියෝජනය කරමින් 2002 වසරේ පාපන්දු ලෝක කුසලානය දිනා ගැනීමට සමත් වූයේ පාපන්දු ලොව වටිනාම කිරුළට හිමිකම් කියමිනි. එහිදී Ronaldo Nazario, Ronaldinho සහ Rivaldo වැනි ප්‍රබල ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් සංචිතයක් තුළ ක්‍රීඩා කරමින් Edilson විසින් ලෝක කුසලානයක හිමිකරුවෙකු වීම ඔහුගේ පාපන්දු දිවිය තුළ කැපී පෙනෙන්නට විය. 

ඒ අනුව Messi, Ronaldo, සහ Neymar විසින් විශිෂ්ට දක්ෂතා දක්වමින් සම්මාන රැසක් දිනා ගැනීමට සමත්ව සිටියත් මේ වන විට ඔවුන් කිසිවෙකු පාපන්දු ලෝක කුසලාන තරගාවලියක ශූරතාවය දිනා ගැනීමට සමත්ව නොමැත. විශේෂයෙන් මෙහිදී Messi සහ Ronaldo විසින් පිළිවෙලින් Ballon d’Or සම්මාන 6 සහ 5 බැගින් දිනාගෙන ඇතත් ඔවුන් මේ දක්වා පාපන්දු ලෝක කුසලානයක් දිනා ගැනීමට අසමත්ව තිබීම ඔවුන්ගේ පාපන්දු දිවි වල විශාල අඩුපාඩුවක් බවට පත්ව ඇත. 

මෙම කරුණ සැලකිල්ලට ගනිමින් Edilson පසුගියදා බ්‍රසීලයේ TV Bandeirantes නාලිකාව වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ ඔහුගේ ලෝක කුසලාන පදක්කම මත ඔහු Messi සහ Ronaldoට වඩා ඉහළින් පසුවන බවත්, සිය උපරිම දක්ෂතා වල සිටි සමයේ ඔහු Neymarට වඩා දක්ෂ ක්‍රීඩකයෙකු වූ බවත් ය. 

“මම හොඳටම ක්‍රීඩා කරපු කාලේ මම Neymarට වඩා හොඳට ක්‍රීඩා කළා. ඔහුට මට වඩා දක්ෂ ක්‍රීඩකයෙකු වෙන්න ඕනේ නම් ඔහුට පාපන්දු ලෝක කුසලාන තරගාවලියක් ජයග්‍රහණය කරන්න වෙනවා.” 

“මට හොඳ පෞරුෂයක් තියෙනවා. Messiටත් මට වඩා දක්ෂ ක්‍රීඩකයෙකු වෙන්න නම්, ඔහුටත් ලෝක කුසලානයක් ජයග්‍රහණය කරන්න වෙනවා.” 

“Ronaldo ගත්තොත් ඔහුට තියෙන්නේ ජවය විතරයි. ඒ වගේම ඔහු පාද දෙකෙන්ම හොඳට ක්‍රීඩා කරනවා. නමුත් මම ඔහුට වඩා හැකියාවන් තිබුන ක්‍රීඩකයෙක්.” 

තවත් කියවන්න; 

Edilson සිය පාපන්දු දිවිය තුළ ගෝල 182ක් පමණ වාර්තා කරගැනීමට සමත්ව ඇතත් ඔහු සිය පාපන්දු දිවිය තුළ අඛණ්ඩව දක්ෂතා අතර රැඳී සිටින්නට සමත් වූයේ නැත. ඔහු ක්‍රීඩා කළ කාලය තුළ බ්‍රසීල ජාතික කණ්ඩායමට පිවිසීමට තිබූ දැඩි තරගකාරීත්වය හමුවේ ඔහුට එහිදී ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබුනේ තරග 21කට පමණක් වන අතර එහිදී ද ඔහු වාර්තා කරගන්නට සමත්ව ඇත්තේ ගෝල 6ක් පමණි. 

2002 වසරේ පාපන්දු ලෝක කුසලාන තරගාවලිය තුළ ජපානය සහ දකුණු කොරියාවට එරෙහි තරග ද්විත්වය ආරම්භ කිරීමට ඔහුට අවස්ථාව හිමි වූ අතර තවද Costa Rica සහ තුර්කිය සමඟ පැවති තරග ද්විත්වය ආදේශක ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කිරීමට ඔහුට අවස්ථාව හිමිවිය. එමෙන්ම එහිදී ජර්මනිය සමඟ ගෝල 2-0ක් වශයෙන් බ්‍රසීල කණ්ඩායම ජයග්‍රහණය කළ අවසාන මහා තරගයේ දී එකඳු මිනිත්තුවක් හෝ ක්‍රීඩා කිරීමට Edilson හට අවස්ථාවක් නොවීය. 

කෙසේ නමුත් එහිදී බ්‍රසීලය ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම හරහා Edilson හට ද ඊට අදාළ පදක්කම හිමිවීමත් සමඟ ඔහු ද ලෝක කුසලාන ජයග්‍රාහයකයෙකු බවට පත්විය. 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<